සුනාමි සහනාධාර හොරකම්කළ පාර්ශවය එයින් නිදහස් කිරීම ගැන අගවිනිසුරු ජනතාවගෙන් සමාව ඉල්ලු සහ එවැනි පැටිකිරියක් ඇති අය මෙදා කොවිඩ් සඳහා ලැබෙන විශාල මුදල හොරකම් නොකරනු ඇතැයි සිතනවා නම් ම් ඒ මනුස්සයා කිසිම බුද්ධියක් නැති මොලයක් පාවිච්චි කරලා හිතන්න බැරි නොම්බර එකේ මෝඩයෙක් විය යුතු බව හිටපු අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කල අතර එහිදී වැඩිදුරටත් දැක්වූ අදහස් පහත දැක්වෙයි.
වර්ථමාන රටේ තත්වය ගැන කතා කරනකොට කොරෝනා වෛරසය මේ ලෝකයටම ඇති කරලා තියෙන තත්වය ගැන අපි කවුරුත් දන්නවා. මෙවැනි තත්වයක් තුළ අපේ රටේ දේශපාලකයන් බොරු කිය කිය ජනතාවගෙන් කොරෝනා වෛරසය හංගන්න උත්සාහ කෙරුවට වෛරසහ හංගන්න බැරිවෙලා තියෙනවා. මෙයින් ජනතාව ආරක්ෂා කිරීමට රජයට විශාල වගකීමක් තියෙනවා. නමුත් අපි මුල සිටම දැක්කා මේ රටේ පාලකයා නිවැරදි තීන්දු ගත්තේ නැහැ. ලෝකයේ රටවල් මේ වෛරසයේ තියෙන භයානකත්වය තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙනකොට අපේ පාලකයා අපේ ජනතාවගෙන් 28 දෙනෙකුට මේක ආසාදනය වෙලා තියෙන අවස්ථාවකත් මේක මිහිළුවකට අරන් තමයි කතා කරේ. ඔහු මෙය ත්‍රස්ථවාදය සමග සන්සන්දනය කරලා තමයි කතා කරේ. ඒ කියන්නේ ඔහු මේ වෛරසය ගැන සහ ත්‍රස්ථවාදය යන දෙකම ගැන තේරුම් අරගෙන නැහැ කියන එකයි. 70 දෙනෙකුට පමණ හැදුනට පසුව තමයි ඇඳිරිනීතිය ගේන්න රට ලොක්ඩවුන් කරන්න තීරණය කරේ. එතකොට තත්වය බරපතල වෙලා ඉවරයි. අපේ රට කුඩා රටක්. අපේ රටට 25 ක් 75 ක් ආසාදිතයන් ඉන්නවා කියන එක ලොකු ප්‍රශ්නයක්.
රෝසිට කඩේ යන ලෙඩක් !
අපේ අහේතුවට කණගාටුවට කරුණක් මම දැක්කා මේ ඊයේ පෙරේදා කොළඹ පුරපතිනිය රූපවාහිනියට ඇවිල්ලා කියනවා මේ රටේ පාලකයා දුර දක්නා නුවනින් ක්‍රියාත්මක වුණ නිසා මේ තත්වය පාලනය වුණා කියලා. මේ පුරපතිනිය එක්සත් ජාතික පක්ෂයේ ජනතාවගේ ඡන්දවලින් එම පුටුවේ වාඩි වුණේ. මේක පක්ෂ පාට භේදයකින් තොරව මුහුණ දෙන්න ඕනේ අවස්ථාවක්. ඉස්සරත් ඔය පුටුවේ ඉඳගත්ත කෙනාට ඔය අසනීපෙ තිබුණා. මම හිතන්නේ ඔය පුටුවේ ඉඳගත්තම හරි දේ කතා කරන්නේ නැතුව ජනාධිපතිට කඩේ යන ලෙඩේ හැදෙනවා.
මම මේ වෙලාවේ කතා කරන්න ඕනේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගැන. ඔවුන් මේ අවස්ථාවේදී ඉතාම නිවැරදි ස්ථාවරයක ඉඳගෙන වැඩ කරනවා. ඔවුන්ට අපි ඒ ගෞරවය දෙන්න ඕනේ. මම දැක්කා එහි ලේකම්තුමා ඩොක්ටර් හරිත මහත්මයා ඇතුළු උප ලේකම්තුමා, කියා සිටියා ඔවුන්ගේ උපදෙස් රාජය පිළිගත්තේ නැහැ කියලා. ඔවුන් අපේ රජයේදීත් යම් යම් දේවල්වලට විරුද්ධව කතාකරපු තැන් තිබුණා සයිටම් ප්‍රශ්නයේදි වගේ. මම එතනදිත් ඒගොල්ලො හිටපු ස්ථාවරය පිළිගන්නවා. ඔවුන් හැම අවස්ථාවක හරි ස්ථාවරයේ ඉඳගෙන කතා කරා. මේ අවස්ථාවේදී ඔවුන්ගේ උපදෙස්වලට පිටින් රජයට කඩේ යන අය දෙන උපදෙස් පාලකයා පිළිගන්නා බවක් අපට පෙනී යනවා.
ආණ්ඩුවට ඕන 2/3 අරගන්න !
වර්ථමානයේ මේ පාලකයා ඇතුළු රජයට උවමනාවෙලා තිබෙන්නේ කොරෝනා වෛරසයෙන් ජනතාවගේ ජීවිත බේරාගන්න නෙවෙයි හදිසියේම ඡන්දයක් තියලා තුනෙන් දෙකක බලයක් ලබාගන්න. මෙවැනි භයානක තත්වයක ඔහු ඉස්සෙල්ලාම කරේ ආණ්ඩුව විසුරුවා හැරපු එකයි. කවදා වුණත් ඡන්දයක් තිබ්බානම් එතනින් එහාට අවුරුදු පහක් ඉදිරියට ඒ අයට ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්.
අපිට පාර්ලිමේන්තුවේ ලොකු ශක්තියක් තිබුණා. අපිට බලතන්හාවක් නැහැ. හදිස්සියේ මේ ඡන්දය තියන්න හදන්නේ, ජනාධිපතිතුමාට තේරිලා තියෙනවා ජනතාව රවට්ටලා බලයට ආවාට එතනින් එහාට ඔහු සහ ඔහුගේ ආණඩුවේ අකාර්යක්ෂමතාවය ජනතාව තේරුම්ගනිමින් ඉන්න නිසා. ඉක්මනට ඡන්දයක් තියන්නයි උවමනාව වෙලා තියෙන්නේ. අපි ඡන්දවලට බය නැහැ. අපි විපක්ෂයට කැමැත්තෙන්මයි ගියේ. අපි විපක්ෂයට ගියේ අපේ එක්සත් ජාතික පක්ෂ නායකයට පිට කොන්දක් තිබුණේ නැති නිසා. අනවශ්‍ය වෙලාවක අපිට ඇවිල්ලා විපක්ෂයේ වාඩිවෙන්න සිදුවුණා. අපිට ආණ්ඩුවක් ගෙනියන්න ශක්තියක් තියෙද්දිත්. ජනාධිපතිවරණය පැරදුනා කියලා ආණ්ඩුව පාර්ලිමේන්තුව විපක්ෂයට යාමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ නිසා අපිට බලයට එන්න හදිස්සියකුත් නැහැ. නමුත් අපිට ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා.
රජය මැතිවරණයකට යන්න තියෙන උවමනාව මත අනතුරක් නැහැ කියලා පෙන්නන්න තමයි මැයි මාසේ 4 වැනිදා විශ්වවිද්‍යාල සහ 11 වැනිදා පාසැල් පටන්ගන්නවා කියලා කිව්වේ. එතනින් පෙන්නන්න හැදුවා දරුවන් පාසැල් යනවානම් විශ්ව විද්‍යාලත් ඇරලා නම් ඡන්දයක් තියන්න රජයේ සේවකයන්ටත් වැඩ කරන්න බැරිකමක් නැහැ කියලා. අපේ දරුවන්ගේ ජීවිත අනතුරට හෙළලා හෝ ඡන්දය තියන්න තරම් මේ පාලකයා සහ මේ ආණ්ඩුව ආත්මාර්ථකාමී වුණා. එ්ක ඉතාමත්ම ලැජ්ජාසහගත තත්වයක්. එවැනි මානසිකත්වයකින් යුක්ත පාලකයෙකුට, කට්ටියකට, අපේ ජනතාවගේ අනාගතය භාරදෙන එක නුවණට හුරුයි කියලා මම හිතන්නේ නැහැ. මොකද ඔවුන්ගේ බලලෝබීභාවය ජනතාවගේ ආරක්ෂාව පැවැත්ම අභිභවා යනවා යනවා කියන එක ඒකෙන් හොඳටම ඔප්පු වෙනවා.
5000 ගන්න විඳින දුකක් !
ඊළඟට ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලියේදී රජය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. රුපියල් 5000 සහන මුදල ලබාගැනීමට ජනතාව කොයිතරම් සටනක් කරනවාද කියලා අපි දකිනවා. ජනතාව ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පවා අමතක කරලා රුපියල් 5000 ගන්න පෝලිම්වල දඟලමින් පොරකනවා. ඒත් ඒක ලබා දෙන්නේ නැහැ. මේක ඇස්බැන්දුමක් වගේ දෙනවා කියලා ප්‍රචාරය කරලා රවටලා ඒක ආණ්ඩුවේ දේශපාලඥයින්ට හොබවන්න ඉඩ දුන්නා. මෙතනත් මුදල් වංචාව අනිවාර්යයෙන්ම ආරම්භ කරලා තියෙන්නේ. අපි දන්නවා මේ වෙනකොට රටවල්වලින් ඩොලර් බිලියන දෙකක් පමණ මුදල් රජයට ලැබිලා තියෙනවා රජයේ අතුරුසම්මත ගිණුම්වලින් අනුමත වුණ මුදල්වල අමතරව. ඩොලර් බිලියන දෙකක් කියන්නේ රුපියල් බිලියන 400ක්. මේ රටේ ඉන්න පවුල් ලක්ෂ 65න් ලක්ෂ 40 ක් පමණ දුප්පත් පවුල්. අතීතයේ වගේම මේ අය ආයිමත් රටේ මුදල් වංචා කරන්න පටන් අරන් තියෙනවා. තමන්ගේ පියාගේ සොහොන හැදීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් මිලියන 90 ක් මුදල් හොරකම් කරපු, ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව හරහා වර්ෂයකට බිලියන 11 ක් රටට ජනතාවට ලැබිය යුතු මුදල් හොරකම් කරපු පුද්ගලයාව මේ රටේ ජනතාව පාලකයා කරලා තියෙනවා නඩුව පැවතෙමින් තියෙද්දි. සුනාමි මුදල් හොරකම් කරපු හැටි රටේ හැමෝම දන්නවා. එවකට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුතුමා ප්‍රකාශ කරා මේ මුදල හොරකම් කරා මේ හොරාට සමාව දීම ගැන මම රටේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා කියලා. එවැනි පැටිකිරියක් තියෙන මිනිස්සු මෙවැනි විශාල මුදලක් ලැබුනම හොරකම් කරන්නේ නැහැ කියලා යම් කෙනෙක් හිතනවා නම් ඒ මනුස්සයා කිසිම බුද්ධියක් නැති මොලයක් පාවිච්චි කරලා හිතන්න බැරි නොම්බර එකේ මෝඩයෙක් වෙන්න ඕනේ.
ඇඳිරි නීතිය ඉවත් කරන පිළිවෙල ගැන පැහැදීමක් නෑ !
ඊලඟට ඇඳිරිනීතිය ඉවත් කරන පිළිවෙල ගැන අපිට පැහැදීමක් නැහැ. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවා ඒ ගැන ප්‍රසිද්ධියේම කියලා තිබුණා. හැඳුනුම්පතේ අංක අනුව ජනතාවට එළියට යන්න දෙනවා කියන එකත් ප්‍රායෝගික නැහැ. ඊගාවට ප්‍රවාහන පහසුකම් වලදී බස්වල වාඩිවෙන්න කියලා තියෙන ක්‍රමය අනුව ලංගමයයි පුද්ගලික බස් අයිතිකරුවන් දුවන්න බැහැ කියලා තියෙනවා පාඩුයි කියලා. මේ වගේ ප්‍රායෝගික නැති හේතුකාරණා කියලා මේගොල්ලො පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා ජනතාවට කරන්න බැරි දේවල් පටවලා. මේවා ගැඹුරින් සොයා බලලා සන්සන්දනය කරලා අධ්‍යයනය කරලා ගන්න තීන්දු තීරණ නෙවෙයි.

