මැයි 4 අරලියගහ මන්දිරයේ සෙල්ලම් පාර්ලිමේන්තුවට ජවිපෙ නෑ - ජවිපෙ නායක

 මැයි 4 අරලියගහ මන්දිරයේ සෙල්ලම් පාර්ලිමේන්තුවට ජවිපෙ නෑ - ජවිපෙ නායක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මෙි හතරවන දාට ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 පාර්ලිමේන්තුවට කැඳවා ඇතත් ජනතා විමුක්ති පෙරමුණ ඒ ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

මේ පිළිබඳ ව අදහස් දක්වන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක  පවසන්නේ ඒ අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවූ සෙල්ලම් පාර්ලිමේන්තුවක් බව ය.

මේ අතර පක්ෂ නායකයා ලෙස අගමැති ට මේ සම්බන්ධව විශේෂ ලිපියක් යැවීමට ද  ඔහු කටයුතු කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණ සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ, කොරෝනා ව්‍යසනයට මුහුණ දීමට හා පීඩාවට පත් ජනතාවට සහන සැපයීම පිළිබඳ සාකච්ඡා කිරීමට නම් කළයුතු හොඳම දේ වන්නේ ජනාධිපතිගේ හා අගමැතිගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින් සියලු දෙනා කැඳවා අදාළ කාර්යය සඳහා ඔවුන්ගේ සහය ලබාගැනීම බවයි.

''මීට පෙර අගමැතිවරයා ලෙස ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් කැඳවූ පක්‍ෂ නායකයින්ගේ සාකච්ඡාවට අප පක්‍ෂය සහභාගී වූ බවද එහිදී අප පක්‍ෂයේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ බවද මෙහිලා සඳහන් කරමු.'' යයි එම ලිපියේ  සඳහන් වේ.

 එම ලිපියේ මෙසේද දැක්වේ.

''අනෙක් අතට අප්‍රේල් 30වැනිදාට පසු රාජ්‍ය මුදල් වියදම් කිරීමට බලයක් නොමැති බවට අදහසක්ද පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3ක් තුළ අභිනව පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි වීම මගින් මතුවන ව්‍යවස්ථාමය ගැටලුවක් පිළිබඳවද සමාජය තුළ මේ වනවිට සාකච්ඡාවක් මතුවී තිබේ. පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු 225ම අරලියගහ මැදුරට කැඳවනු ලබන්නේ ඉහත ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට නම් එවැනි සාකච්ඡාවකින් ව්‍යවස්ථාමය ගැටලුවකට විසඳුම් ලබාගත හැකි වන්නේ නැත.

ජවිපෙ විකල්ප දෙයි !

එබැවින් මෙම රැස්වීම කැඳවන්නේ ඉහත ගැටලුව සඳහා නම් ඒ සඳහා ගත යුතු නිවැරදි පියවර වන්නේ,

ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවට අනුව හදිසි තත්වයක් තුළ පාර්ලිමේන්තුව යළි කැඳවීම හෝ නොඑසේ නම්, 

මෙවැනි තත්වයක් තුළ ගත හැකි ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම බව අපි දැඩිව විශ්වාස කරමු.

එසේ නොමැතිව ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකිරීම මගින් ආණ්ඩුව විසින්ම නිර්මාණය කරමින් තිබෙන අර්බුදය පිළිබඳව හිටපු මන්ත්‍රීවරු දැනුවත් කිරීම ප්‍රතිඵලදායක නොවන බව අප විශ්වාස කරන හෙයින් මැයි 04 වන දිනට කැඳවා ඇති රැස්වීමට මා ඇතුළු අප පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු සහභාගී නොවන බව මෙයින් දන්වා සිටිමු.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න