පාර්ලිමේන්තුව නොකැඳවීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි පවසමින් ප්‍රවීන දේශපාලන විචාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මහාචාර්ය ඇන්ටන් මීමන, අධ්‍යාපනඥ ටී. එම්. ප්‍රේමවර්ධන, නීතිඥ තිස්ස, වෛද්‍ය එච්. ඩී. එස්. එෆ්. ඩී. හේරත් සහ මාධ්‍යවේදී මහින්ද හත්තක මෙහි සෙසු පෙත්සම්කරුවෝ වෙති.
ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් විසින් මැයි 05 දින පෙත්සම්කරුවන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
මෙම පෙත්සමෙහි සඳහන් වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මාස තුනක් ඉක්මවීමට පෙරාතුව මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුව පිහිටුවිය යුතු වුවත් එය එසේ නොකර ඇතිවා සේ ම උක්ත කාලය ඉක්මවා ගොස් මැතිවරණය පවත්වන දිනය දීර්ඝ කිරීමද ව්‍යවස්ථාවට පටහැනි බවය.
කොවිඩ් 19 වසංගතය නිසා පවතින ජීවිත අවදානම පිළිබඳවත්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ඇති නොහැකියාව පිළිබඳවත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 සහ 126 වගන්ති මඟින් සලසා දී ඇති නීතිමය ප්‍රතිපාදන අනුව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
මෙම පෙත්සම පිළිබඳ විභාගය අවසන් වන තුරු මැතිවරණයට අදාලව නිකුත් කර තිබෙන ගැසට්ටු ක්‍රියාත්මක වීම අත්හිටවුන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(ඒ) හි සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශ කරන ලෙසත් පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා ඇත.

