පාසල් විවෘත කිරීමේ වියදමත් මව්පියන්ගේ කර මතට !

පාසල් විවෘත කිරීමේ වියදමත් මව්පියන්ගේ කර මතට !
නැවත පාසල් ආරම්භ කිරීමේදී අත්සේදීම, විෂබීජ හරණය, රෝගී කාමරයක් පවත්වාගෙන යාම, උණ බැලීම වැනි කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමට පාසල් වෙත නියම කරමින් ඒ සඳහා යන පිරිවැයත් මව්පියන් මතට බර පැටවීමට ආණ්ඩුව සූදානම් වන බව වාර්තා වෙයි.
 
ලංකා ගුරු සංගමය විසින් මේ බව අනාවරණය කරමින් නිවේදනයක් නිකුත්කර ඇත.
 
2020.04.29 දිනැතිව 01/2020 අංකයෙන් නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛයෙහි දක්වා ඇත්තේ රජයේ ආයතන නැවත විවෘත කිරීමේදී අවශ්‍ය මුඛ ආවරණ, සනීපාරක්ෂක සේදුම්, විෂබීජ නාෂක, අත්වැසුම් ආදිය රජයේ වියදමින් සැපයීමට කටයුතු කළ යුතුය දෙන බවත් එම නිවේදනයේ සිහිපත් කර ඇත.
 
 තව ද ලක්ෂ 43 ක් පමණ වන පාසල් දරුවන් සහ දෙලක්ෂ හැටදහසක් පමණ වන ගුරු-විදුහල්පත්වරු සඳහා අවශ්‍ය මුඛ ආවරණ ලබාදීමේ වැඩපිළිවෙලක් රජය විසින් සකස් කළ යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.
 
ලංකා ගුරු සංගමය මේ සම්බන්ධව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.
 
පාසල් නැවත ආරම්භ කිරීමේදී පෙර සූදානම් කටයුතු සඳහා දෙමාපියන් වෙත බර පැටවීමෙන් තොරව අවශ්‍ය ප‍්‍රතිපාදන රජය මගින් ලබාදිය යුතුයි !

පාසල් නැවත ආරම්භ කිරීම වෙනුවෙන් ‘‘කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීම සඳහා පාසල් සහ අධ්‍යාපන ආයතන සූදානම් කිරීම’’ මැයෙන් 2020.05.11 දිනැතිව 15/2020 අංකයෙන් අධ්‍යාපන ලේකම්වරයා විසින් චක‍්‍රලේඛයක් නිකුත් කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ  FHB/SHU/COVID Let 2020 දරණ 2020.04.29 දිනැති මාර්ගෝපදේශයට අනුව ඉහත චක‍්‍රලේඛය නිකුත් කරන බව එහි සඳහන් කර ඇත. මෙම චක‍්‍රලේඛවලට අනුව පාසල් ආරම්භ කිරීම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ඇතුළු චක‍්‍රලේඛයේ සඳහන් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් තීරණය කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන දිනයක දී ය.

එසේ තිබියදී මේ වන විට නැගෙනහිර පළාතේ උසස් පෙළ පන්ති මැයි 15 දින ආරම්භ කිරීමත්, මධ්‍යම පළාතේ කුඩා පාසල් ආරම්භ කිරීම සම්බන්ධ වැනි විවිධ තීරණ පළාත් ආණ්ඩුකාරවරු විසින් ගනිමින් තිබීම ඉහත චක‍්‍රලේඛවලට පටහැනි තත්වයකි.

නැවත පාසල් ආරම්භ කිරීමේදී අත්සේදීම, විෂබීජ හරණය, රෝගී කාමරයක් පවත්වාගෙන යාම, උණ බැලීම වැනි කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමට පිරිවැයක් දැරිය යුතුය. එම පිරිවැය පාසල් සංවර්ධන සමිති ගිණුම්වල මෙතෙක් භාවිතා නොකරන ලද අනුමත ව්‍යාපෘති වලින් සපයාගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ චක‍්‍රලේඛයේ දක්වා ඇත. අරමුදල් නොමැති පාසල්වල මෙන්ම සෙසු පාසල්වල ද අනිවාර්යයෙන් ම මෙම පිරිවැය දෙම්පියන් මත පැටවීම වැලැක්විය නොහැක. මේ වන විට ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා හමුවේ මෙය බරපතල ගැටලූවක් වන අතර, මේ වන විට රජයට විදේශ ආධාර ලැබෙන පසුබිමක වහාම මේ සඳහා අවශ්‍ය මුදල් පාසල්වලට ලබාදිය යුතුය.  

2020.04.29 දිනැතිව 01/2020 අංකයෙන් නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛයෙහි දක්වා ඇත්තේ රජයේ ආයතන නැවත විවෘත කිරීමේදී අවශ්‍ය මුඛ ආවරණ, සනීපාරක්ෂක සේදුම්, විෂබීජ නාෂක, අත්වැසුම් ආදිය රජයේ වියදමින් සැපයීමට කටයුතු කළ යුතු බවයි. එවැනි චක‍්‍රලේඛයක් තිබියදී පාසල් විවෘත කිරීමට සූදානම් කිරීමේදී එම ද්‍රව්‍ය සඳහා පාසල් සංවර්ධන සමිති මුදල් භාවිතා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක‍්‍රලේඛයක් නිකුත් කිරීම කුමන පදනමකින් සිදු වන්නේ ද යන්න ගැටලූවකි.

පාසල් නැවත ආරම්භ කිරීමට පෙර ලක්ෂ 43 ක් පමණ වන පාසල් දරුවන් සහ දෙලක්ෂ හැටදහසක් පමණ වන ගුරු-විදුහල්පත්වරු සඳහා අවශ්‍ය මුඛ ආවරණ ලබාදීමේ වැඩපිළිවෙලක් රජය විසින් සකස් කළ යුතුය.

පාසල් ආරම්භ කරන දිනය සෞඛ්‍ය අංශ විසින් ප‍්‍රකාශ කළ පසු ඊට අවශ්‍ය කටයුතු සිදුකිරීමට ගුරුවරු, විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නිලධාරීන් සියලූ දෙනා සූදානමින් සිටින බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය ඒ සඳහා අදාළ ප‍්‍රතිපාදන රජය මගින් ලබාදෙන ලෙස ඉල්ලා සිටී.

මෙයට,

ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න