පීබීගේ නිර්ලැජ්ජිත වැඩක් : වැටුප් කප්පාදුවට එරෙහිව ජනාධිපතිට තවත් ලියුමක් !

පීබීගේ නිර්ලැජ්ජිත වැඩක් : වැටුප් කප්පාදුවට එරෙහිව ජනාධිපතිට තවත් ලියුමක් !
ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර ගේ ලිපිය පදනම් කරගෙන රාජ්‍ය ආයතන ගණනාවක සේවක වැටුප් කපා ගනිමින් ඇති නමුත් එහිදී  රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර සේවක සේවිකාවන්ගේ වැටුප් බලහත්කාරයෙන්  කප්පාදු නොකිරීමට වගබලා ගන්නා ලෙස ජනාධිපතිට දන්වා ඇත.
 
රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය විසින් මේ සම්බන්ධව  ලිඛිත දැනුම්දීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සිදුකර ඇති අතර එය මාධ්‍ය වෙතත් නිකුත්කර තිබේ. 
 
"ජනාධිපති ලේකම්වරයා සිය පුද්ගලික ඉල්ලීම ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක් පාවිච්චි කිරීමත්, එහි පිටපත් නීතිපතිවරයා සහ විගණකාධිපතිවරයා වෙත යොමු කිරීම හරහාත් එක් පැත්තකින් ආයතන ප‍්‍රධානීන්ට බලපෑමත් සහ අනෙක් පැත්තෙක් රාජ්‍ය නිලධාරීන් හට එහි නීත්‍යානුකූලවත් ඇති බවට කූට ප‍්‍රයෝගයක් කර ඇත්තේ ඉතාම නිර්ලජ්ජිත අයුරින් ජනාධිපති ලේකම් වරයා තම බලතල අවභාවිතාවේ යොදවමිනි." ලෙසින්ද අදාළ ලිපියේ අවධාරණයෙන් දක්වා තිබේ.
රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

ජනමාධ්‍ය නිවේදනයයි.

2020. 05. 14.

ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපති තුමණි,

කළමණාකාර සේවා නිලධාරීන්ගේ වැටුප් කප්පාදුව සම්බන්ධවයි !

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයන් යොදාගනිමින් ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා විසින් අග‍්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම්, සියලූ අමාත්‍යාංශ ලේකම්, පළාත් සභා ලේකම් පාලාත් පාලන ආයතන ලේකම්වරුන් ඇතුලූ සියලූ ආයතන ප‍්‍රධානීන් අමතා සියලූ රාජ්‍ය සේවකයින්ට සිය මැයි මස වැටුප අඩ මසක වැටුප හෝ දිනක වැටුප රජයට පරිත්‍යාග කරන ලෙස පුද්ගලික ඉල්ලීමක් කර ඇත්තේ එහි පිටපත්, නීතිපතිවරයා සහ විගණකාධිපතිවරයා වෙතද නිකුත් කරමිනි.

ජනාධිපති ලේකම්වරයා සිය පුද්ගලික ඉල්ලීම ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක් පාවිච්චි කිරීමත්, එහි පිටපත් නීතිපතිවරයා සහ විගණකාධිපතිවරයා වෙත යොමු කිරීම හරහාත් එක් පැත්තකින් ආයතන ප‍්‍රධානීන්ට බලපෑමත් සහ අනෙක් පැත්තෙක් රාජ්‍ය නිලධාරීන් හට එහි නීත්‍යානුකූලවත් ඇති බවට කූට ප‍්‍රයෝගයක් කර ඇත්තේ ඉතාම නිර්ලජ්ජිත අයුරින් ජනාධිපති ලේකම් වරයා තම බලතල අවභාවිතාවේ යොදවමිනි.

විශේෂයෙන්ම අප කළමණාකරන සේවාවේ නිලධාරීන් යනු රාජ්‍ය සේවාව තුල පරිපාලනමය කටයුතුවලදී විශාල වැඩ කොටසක් අඩු වැටුපකට ඉටුකරන කණ්ඩායමකි. මේ වන විට එකී වැටුපින් මාසයක් ගෙවා ගැනීම යනු අතිශය දුෂ්කර කටයුත්තක් වී ඇත. තවද පසුගිය අපේ‍්‍රල් 08 වැනිදායින් පසු අප නිලධාරීන් මේ වනතෙක් කිසිදු ආදායම් මාර්ගයක් නොමැත්තේ අප රාජ්‍ය සේවාවේ නිරත වන්නන් නිසාවෙනි. වෙනදා පොලී රහිතව ලැබෙන උත්සව අත්තිකාරම් මුදලද මෙවර අහිමි වීම තුල ඔවුන් තවත් පීඩාවට පත්ව ඇත. එවන් තත්වයක් තුල ඔවුන්ගේ වැටුපෙන් කිසියම් හෝ මුදලක් බලහත්කාරයෙන් කප්පාදුවකට සැරසෙන්නේ නම් එය ඔවුන් දැවැන්ත පීඩාවකට ලක්කරන්නාක් මෙන්ම එය නීති විරෝධී ක‍්‍රියාවක් බැව් අප තරයේ අවධාරණය කරමු.
 
කෙසේ වෙතත් ජනාධිපති ලේකම්වරයාගෙන් මෙම ලිපිය පාදක කරගනිමින් සමහර ආයතන ප‍්‍රධානීන් විසින් බලහත්කාරය යොදවමින් අප සේවාවේ නිලධාරීන්ගේ වැටුප් කප්පාදු කිරීමට කටයුතු සිදු කෙරෙමින් ඇති බැව් රට පුරාම විවිධ ආයතනවල අප සේවාවේ නිලධාරීන් අප වෙත දැනුවත් කර ඇත.

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් කප්පාදු කිරීමේ නීති විරෝධී කටයුත්තක් සඳහා උනන්දුවන ආණ්ඩුව, කැබිනට් නොවන රාජ්‍ය අමාත්‍යවරුන්ට ඔවුන්ගේ මැතිවරණ කටයුතු ප‍්‍රවර්ධනය සඳහා සහන පැකේජයක් දෙමින් මිලියන ගණනින් මුදල් අනුමත කිරීමට අමාත්‍ය මණ්ඩල සංදේශ අනුමත කර ඇති බවට මාධ්‍ය වාර්තා පල කර තිබුනේ රට පත්ව ඇති ව්‍යසනයේදී පාලකයින් ලෙස ලබාදිය යුතු ආදර්ශය කිසිවෙකුටවත් එකග විය නොහැකි අයුරිනි.

මේ වන විට අපට ලැබී ඇති තොරතුරු අනුව සබරගමුව පළාත් සභාව නැගෙනහිර පළාත් සභාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතන තුල මේ වන විට බලහත්කාරයෙන් වැටුප් කප්පාදුවට අදාල කටයුතු සිදුකෙරෙමින් ඇති බැව් අපට වාර්තා වී ඇත.

එබැවින් මේ සම්බන්ධව ඔබතුමන්ගේ දැඩි අවධානය යොමුකරවන අතර අප සේවාවේ කිසිදු නිලධාරියකුගේ බලහත්කාරයෙන් වැටුප් කප්පාදු නොකරන ලෙස අදාල ආයතන ප‍්‍රධානීන් දැනුවත් කරන ලෙස ඉතා  ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමි.

ස්තූතියි.

මෙයට,
චන්දිම විමලසුරේන්ද්‍ර
ප‍්‍රධාන ලේකම්
සංගමයේ නියමය පරිදි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න