නුගේගොඩ " සුජාතා " කොරෝනා අස්සේ ගරානාවක..

නුගේගොඩ " සුජාතා " කොරෝනා අස්සේ ගරානාවක..

නුගේගොඩ සුජාතා බාලිකා විදුහලේ පරිපාලකයන් විසින් අනුගමනය කරමින් සිටින ක්‍රියා පිළිවෙතක් හේතුවෙන් එම විදුහලේ ඉගෙනුම ලබන දැරියන්ගේ දෙමව්පියන් දැඩි පීඩනයකට හා අන්ත අසරණ භාවයකට පත් වී ඇතැයි වාර්තා වේ.

රට තුළ මතු වූ කොරෝනා වසංගතය හේතුවෙන් පසු ගිය මාර්තු 11 වැනිදා සිට මේ මොහොත දක්වා පාසල වසා දමා ඇතත්, දරුවන් වෙනුවෙන් සෑම තුන් මසකට වරක්ම අය කර ගනු ලබන මුදල, කඩිනමින් ගෙවන ලෙසට දන්වා ලිඛිත දැනුම් දීම් කීපයක් සියලුම දෙමව්පියන් වෙත යොමු කොට තිබේ.

ගාස්තුව 20,000 සිට ඉහළට....

පළමු වසරේ සිට 13 වසර දක්වා අධ්‍යාපනය ලබන දැරියන් 2000 ක් පමණ සිටින මෙම විද්‍යාලයේ , 1 සිට 5 දක්වා ශ්‍රේණිවල සිසුවියකගෙන් රු. 20,000 ක් අයකරනු ලබන අතර, 6 වන ශ්‍රේණියේ අයෙකුගෙන් රු. 27,500 ක් අය කරනු ලබයි. එතැන් සිට ඉහළ ට යන විට අය කරන මුදල ක්‍රම ක්‍රමයෙන් ඉහළ අගයක් ගනී. පසුගිය ජනවාරී මාසයේ ආරම්භ කළ පාසල් වාරයේ දී මාර්තු අවසානය දක්වා වූ තෙමස සඳහා මුදල් ගෙවා තිබුණු නමුදු, මාර්තු අවසන් වන්නට පෙර , එනම් මාර්තු 11 දා පාසල වසා දැමිණි. පාසලේ අප්‍රේල් නිවාඩුව ආරම්භ වීමට නියමිතව තිබුණේ අප්‍රේල් 8 වැනිදාය.

මාර්තු මස මැද භාගයේ සිටම පාසල් පාළනාධිකාරිය, දෙමව්පියන්ගේ ජංගම දුරකථන වලට යවන ලද පණිවිඩයක් මගින් දැනුම් දී ඇත්තේ, ඉදිරි මාස 3 සඳහා මුදල් කඩිනමින් ගෙවන ලෙසය.

අදාල මුදල් බැංකු ගත කොට ලබා ගන්නා රිසිට් පතේ ඉහළින් දරුවා පාසලට ඇතුළත් කිරීමේ දී ලබා දී ඇති අංකය පැහැදිලි ලෙස සටහන් කොට වට්සැප් කරන ලෙස පාලනාධිකාරිය දන්වා එවා ඇත.

ඉගෙනුම ලබන දරුවන්ගේ ශ්‍රේණි අනුව වට්සැප් කණ්ඩායම් සකසා ඇති නිසා , එක් අයෙකු යවන පණිවුඩය සියලුම අයට දැක ගත හැකිය. මේ තත්ත්වය යටතේ කොපමණ අපහසුකම් මැද වුවත් දරුවා වෙනුවෙන් මුදල් ගෙවීමට දෙමව්පියන් පෙළඹී තිබේ.

මෙම පාසලට දරුවන් ඇතුළත් කර ඇති දෙමව්පියන්, ඉහළ ධනපතියන් නොව මධ්‍යමපාංතිකයෝ වෙති. ඔවුන්ගේ බහුතරය කොරෝනා වසංගතය හමුවේ ආර්ථික වශයෙන් පීඩාවට පත් වී සිටින්නෝ ද වෙති. එවැනි වටා පිටාවක් තුළ අඩුම තරමින් සම්පූර්ණ ගාස්තුවෙන් අඩක් අයකර ගත්තේ නම් එහි යම්කිසි සාධාරණයක් ඇතැයි දෙමව්පියෝ පවසති.

බලධාරීන්ගේ අවධානයට...

මාර්තු 11 සිට මේ දක්වා, වතුර, විදුලිය, සනීපාරක්ෂක වැනි බොහෝ වියදම් පවතින්නේ ඉතාමත් අවම ම්ට්ටමකය. සිදු කළ යුතු ප්‍රධානම ගෙවීම වන්නේ ගුරුවරුන් සඳහා වූ වැටුප පමණි.

මෙම විදුහලේ ගුරුවරුන් එතරම් ඉහළ වැටුපකට හිමිකම් නොකියති. උපරිම ලෙස සැලකුව හොත් ගුරුවරයෙකු මසකට රු. 30, 000 ක් ගන්නේ යැයි ද, එවැනි ගුරුවරුන් 200 ක් සිටිනවා යැයි ද උපකල්පනය කළ හොත්, ඒ සඳහා මසකට වැයවන්නේ ලක්ෂ 60 කි.

පාසලේ දරුවන් 1500 සිටිනවා යැයි ද, එක් දරුවකුගෙන් ලැබෙන්නේ රු. 20, 000 ක් යැයි ද උපකල්පනය කළ හොත් එයින් ලැබෙන මුදල ලක්ෂ 450 කි. සැබැවින්ම ලැබෙන මුදල ඊට වඩා ඉහළය.

කොරෝනා වසංගතයෙන් මුළු රටේම ජනතාව පීඩාවට පත්වී සිටින මෙවන් මොහොතක, සුජාතා විදුහලේ පාලනාධිකාරිය, කිසිදු අනුකම්පාවකින් හා කිසිදු හිරිකිතයකින් තොරව මේ සිදු කරමින් සිටින්නේ පැහැදිලි මංකොල්ලයකි.

පාසල වසා දැමීමෙන් පසුව මෑතක සිට ඔන් ලයින් ක්‍රමයට විෂය මාලාවන් ඉගැන්වීමේ කටයුත්තක් ආරම්භ කර ඇතත්, එකී සේවාව ලබා ගැනීමට බොහෝ දෙමව්පියන්ට මේ දක්වා හැකි වී නැත.

සුජාතා විදුහලේ පරිපාලකයන් විසින් කරනු ලබන මෙම ගසා කෑමෙන් අසරණ භාවයට පත්ව සිටින දෙමව්පියන්ව ඉන් මුදවා ගැනීමට අධ්‍යාපන බලධාරීන් වහාම මැදිහත්විය යුතුව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න