මාධ්‍යවේදියාගේ තැනට රොබෝවෙක් : මයික්‍රෝසොෆ්ට් වැඩක් !

මාධ්‍යවේදියාගේ තැනට රොබෝවෙක් : මයික්‍රෝසොෆ්ට් වැඩක් !

මයික්‍රෝසොෆ්ට් සමාගම සිය MSN වෙබ් අඩවියේ සේවයේ නිරත ජනමාධ්‍යවේදීන් ගණනාවක් ප්‍රතිස්ථාපනය කිරීමටත් පුවත් වාර්තා තෝරා ගැනීම සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් භාවිත කිරීමටත් සැරසෙන බව එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ මාධ්‍ය වාර්තා කළහ.

ප්‍රවෘත්ති ආයතනවලින් ලැබෙන පුවත් වාර්තා MSN වෙබ් අඩවිය සඳහා සැකසීම මෙන් ම සිරස්තල හා ඡායාරූප තෝරා ගැනීම ආදිය මේ වන විට ඉටුකරනු ලබන්නේ ජනමාධ්‍යවේදීන් විසිනි.

මෙම ප්‍රවෘත්ති සම්පාදන කාර්යය ඉටු කිරීම සඳහා ඉදිරියේදී කෘත්‍රිම බුද්ධිය (Artificial intelligence) භාවිත කෙරෙනු ඇති බව තොරතුරු මාර්ග උපුටා දක්වමින් සියැටල් ටයිම්ස් (Seattle Times) වාර්තා කළේය.

මෙය සිය ව්‍යාපාරය පිළිබඳ කෙරෙන ඇගයීමක අංගයක් බව මයික්‍රෝසොෆ්ට් සමාගම පැවසීය.

"සියලු සමාගම් සේ ම අප ද නිරන්තරයෙන් අපගේ ව්‍යාපාරය පිළිබඳ ඇගයීමක් කරනවා. ඇතැම් තැන්වල ආයෝජන ඉහළ නැංවීම හා වෙනත් අංශවලට යෙදවීම ද කලින් කලට කෙරෙනවා. මේ තීරණ දැනට පවතින වසංගතය නිසා ඇති වුණු ප්‍රතිඵලයක් නොවේ," යැයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේය.

වෙනත් ඇතැම් තාක්ෂණ සමාගම් මෙන් මයික්‍රෝසොෆ්ට් ද සිය වෙබ් අඩවියේ පුවත් පළකිරීම වෙනුවෙන් පුවත් ආයතන වෙත ගෙවීම් කරයි.

එහෙත්, පළකිරීම සඳහා කවර පුවත් වාර්තා භාවිත කරන්නේ ද යන්න හා ඒවා කෙසේ ඉදිරිපත් කළ යුතු ද යන්න තීරණය කිරීම සඳහා ජනමාධ්‍යවේදීන් සේවයේ යොදවා ඇත.

සියැටල් ටයිම්ස් පුවත් පත් වාර්තාවට අනුව ජුනි මාසය අග වන විට 50 ක් පමණ වූ කොන්ත්‍රාත්තු පදනම මත සේවයේ නිරත පුවත් නිෂ්පාදකයින් පිරිසකට සේවය අහිමි වන අතර පූර්ණ කාලීන මාධ්‍යවේදීන් පිරිසක් තවදුරත් රැදී සිටිනු ඇත.

"අප වෙනුවට යන්ත්‍රවලට ක්‍රියා කිරීමට හැකි යැයි සිතනවා නම් එය අධෛර්යයට පත් කෙරන දෙයක්, ඒත් එය දැන් සිදුවෙනවා" යැයි රැකියාව අහිමි වීමට මුහුණ දෙන්නෙක් පුවත්පතට පවසා තිබිණි.

දැඩි කර්තෘ මණ්ඩල මාර්ගෝපදේශන පිළිබඳ කෘත්‍රිම බුද්ධිය පූර්ණ වශයෙන් දැනීමක් නොවිය හැකි යැයි අනතුරු අඟවන රැකියාව අහිමි වූ ඇතැම් ජනමාධ්‍යවේදීහු නුසුදුසු පුවත් වාර්තා පළකිරීමට ඉඩ හැරීමක් මින් සිදුවිය හැකියයි පවසති.

මෙසේ රැකියාව අහිමි වන විසි හත් දෙනෙකු එක්සත් රාජධානියේ පීඒ (PA) මාධ්‍ය ආයතනය විසින් බඳවා ගනු ලැබ ඇති බව ගාඩියන් (Guardian) පුවත් පත වාර්තා කළේය.

"මගේ මුළු කාලය ම ගත කළේ ස්වයංක්‍රීය පද්ධති සහ කෘත්‍රිම බුද්ධිය අපේ රැකියා කෙසේ පවරා ගනීවි දැයි අධ්‍යයනය කරමින්. දැන් ඒක මගේ රැකියාව අරගෙන," යැයි එම පුවත්පත් උපුටා දැක්වූ එක් මාධ්‍යවේදියෙක් සඳහන් කළේය.

පිරිවැය කපා හැරීම සඳහා, රොබෝ ජනමාධ්‍යවේදය වැනි ක්‍රමවේද පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන බොහෝ තාක්ෂණ සමාගම් අතරින් මයික්‍රෝසොෆ්ට් ද එකකි. මෙවැනි ක්‍රමවේදයක් කෙසේ ක්‍රියාත්මක වනු ඇත්දැයි යන්න පිළිබඳ අධ්‍යයනයට ගූගල් සමාගම ද ආයෝජනය කරයි.

(බීබීසී )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න