කළු වෑන් එකකින් පොලිසිය දරුවකු බලෙන් ගෙන ගිහින් !

කළු වෑන් එකකින් පොලිසිය දරුවකු බලෙන් ගෙන ගිහින් !

අවුරුදු දෙක හමාරක් වයසැති කුඩා දරුවකු නිවසේ අනාරක්ෂිතව තනිකොට ඔහුගේ ආරක්ෂාවට සිටි පාසල් සිසු සහෝදරයා බලහත්කාරයෙන් වෑන් රථයක නංවාගෙන යාමෙන් බාල අපචාරයක් කළ බවට පොලීසියට චෝදනා එල්ල වී තිබේ.

සොරකමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය පුද්ගලයකු සොයා ගිය අකුරැස්ස පොලිසියේ නිලධාරීන් නිවසේ නොසිටි ඔහු වෙනුවට ඔහුගේ දාහතර හැවිරිදි පසුවන පුත්‍රයා අකුරැස්ස රැගෙන ගොස් තිබුනේ පසුගිය  ජුනි 3 දිනයි.

තමන්ට  සිදුවු අසාධාරණය සම්බන්ධයෙන් ජුනි 9 අඟහරුවාදා ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිනිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ පියා වන කුරුඳු ව්‍යාපාරික ජයන්ත රූපසිංහ සදහන් කළේ විනාඩි 45 ක් ඇතුලත තමන් නිවසට පැමිණෙන බව පොලීසියට දන්වා විනාඩි පහක් ගත වීමට පෙර තමන්ට නොදන්වා තම දරුවා  වාහනයක නංවා රැගෙන ගොස් ඇති බවයි.

පොලිසියෙන් තර්ජන :

තමන් නිවස කරා ආපසු   එන අතරමගදී පොලිසිය තම පුතු රැගෙන ගිය කළු පැහැති කේ.ඩී.එච් වර්ගයේ වෑන් රථය නවත්වා ගැනීමට හැකි වු බව පවසන ජයන්ත රූපසිංහ අවධාරණය කරන්නේ එහිදී සොරකම් කරන ලද කුරුඳු ආපසු  නොදෙන්නේනම් පිය පුතු දෙදෙනාම රැගෙන යන බවට පොලීසිය තර්ජනය කළ බවයි.

"මගෙන් ඇහුවා මොකද කියන්නේ ඔබතුමා අකුරැස්ස ප්‍රදේශයෙන් ගෙනාපු හොර කුරුඳු වගයක් අරන් තියනවා. කුරුඳු දෙනවද නැත්නම් තාත්තයි පුතයි දෙන්නම දාගෙන යන්නද ඇහුවා."

පොලීසිය සමග ආපසු නිවසට පැමිණි  තමන් කුරුදු මිලදී ගත් බිල් පත් පරීක්ෂා කර ජුනි 1 දින මිලදී ගෙන තිබු කුරුඳු කිලෝ 12 ක් පොලීසියට ලබා දී සිය දරුවා නිදහස් කරගත් බව ජයන්ත රූපසිංහ එහිදී සදහන් කළේය.

පොලීසිය නිවසින් පිටව ගිය පසු නිවසේ සවිකර තිබු ආරක්ෂිත දර්ශන පරීක්ෂා කළ විට දැකගත් දරුවන්ට සිදුවූ අඩන්තේට්ටම් පිළිබඳව ජයන්ත රූපසිංහ එහිදී වැඩි දුරටත් සදහන් කළේය.

"මම ගෙදරින් යනකොට මගේ නෝනයි මේ ළමයි තුන් දෙනයි කටිටියම හිටියා. මම ගියාට  පස්සේ අපේ නෝනා යනවා අවුරුදු 11 දරුවත් එක්ක කඩ පෙලට. ඉතුරු වෙන්නේ අවුරුදු දෙක හමාරේ මේ දරුවයි. අවුරුදු 14 මේ දරුවා විතරයි. ගේට්ටුව වහගෙන දොරවල් ලොක් කරගෙන මේ දෙන්නා කාමරේ නිදාගෙන ඉන්න අවස්ථාවේදී පොලීසියෙන් ඇවිල්ලා ඉස්සරහ ගේට්ටුව කම්බි කොක්කක් වැනි දෙයක්  මගින් විවෘත කරලා එතන තියනවා සවලක්. ඒ සවල ගන්නවා එක පොලිස් නිලධාරියෙක්. යුනිෆෝම් ඇඳලා නෑ සිවිල් තමයි හිටියේ. අනිත් එක්කෙනා එතන අයිනේ තියනවා කුරුඳු පොල්ලක්. ඒ කුරුඳු පොල්ල ගන්නවා. දෙන්නා දෙපැත්තෙන් ගේ වට කරලා මෙයාලා නිදාගෙන ඉන්න කාමරේ ජනේලෙන් එබිලා මෙයාට කැ ගහලා මෙයා බය වෙලා තියෙනවා. සවලයි පොල්ලයි තියන නිසා හොරුයි කියලා තමයි විශ්වාස කරලා තියෙන්නේ."

පොලිස් මාමලාගේ බලහත්කාරය :

නිවසේ  කිසිවකු නොමැති හෙයින් තමාට පොලිසියට යෑමට නොහැකි බව වැඩිමහල්  පුතු  පවසද්දී පොලීසිය හිතක් පපුවක් තොමැතිව සිය කුඩා දරුවා නිවසේ  තනිකර 14 වියැති පුතු බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවයි ජයන්ත රූපසිංහ මාධ්‍යවේදීන් හා කියා සිටියේ.

"පොලිස් මාමේ මට යන්න බෑ. මගේ ගෙදර කවුරුවත් නෑ. මල්ලියි මායි විතරයි ගෙදර ඉන්නේ කියලා. පස්සේ ඒ ගමන කරන වැඩේ ඒ පොලිස් නිලධාරීන් කිසිම හිතක් පපුවක් නැතුව මේ අවුරුදු දෙක හමාරේ දරුවා තනියම ඇදේ නිදාගෙන ඉන්නවා. මෙයා අරන් යනවා කාමරේට. ඇවිල්ලා බලහත්කාරයෙන් ලැස්ති කරලා අරන් යනවා පොලීසියට."

තමා මුහුණ දුන් අත්දැකීම මාධ්‍ය වෙත විස්තර කරමින් දාහතර වියැති පාසල් සිසුවා සදහන් කළේ “ඕයි ඕයි ඉක්මනට ලැස්තිවෙලා එන්න”  කියමින් තමා කැඳවූ පොලිස් නිලධාරීන් කුඩා සොයුරා රැදී සිටි කාමරයේ දොරගුළු ලෑමට පෙර තමා රැගෙන ගිය බවයි.

පවුලේ වැඩිහිටියකු නොමැතිව බාල වයස්කාර දරුවා රැගෙන යන ලද බව පොලිසිය පිළිගනී.

 පොලිස් ප්‍රකාශකගේ අපුරු කතාව :

ඊට හේතුව වශයෙන් පොලිස් ප්‍රකාශක ජාලිය සේනාරත්න පවසා ඇත්තේ වෙනත් පළාතකට ගොස් සිටි තම පියා ඉන්නා ස්ථානය දැන සිටි එකම පුද්ගලයා වන දරුවා රැගෙන ගියේ පියා සොයා ගැනීමට බවයි.

තමන්ට සිදුවු අසාධාරණය ලොව  කිසිදු දරුවකුට අත් නොවේවායි පතන ජයන්ත රූපසිංහ පියා ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ තමන්ට වූ අසාධාරණයට යුක්තියක් ඉටු කරන ලෙසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න