වර්ගවාදීන් විසින් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහර පිළිකුල් - මංගල

වර්ගවාදීන් විසින් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහර පිළිකුල් - මංගල

ඊයේ (09) පෙරවරුවේ කොළඹ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මිනිස් වර්ගවාදයට එරෙහිව සිදුකරන ලද උද්ඝෝෂණයට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් සිය නිල ආරක්ෂක අංශ යොදා සිදු කරන ලද අමානුෂික පහරදීමත් උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමත් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් හිටපු මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර "මේ මොහොතේ ඇමෙරිකා එක්සත් ජනපද පොලිසිය විසින්  ඉතා අමානුෂික වද දීම හරහා පසුගියදා ජෝර්ජ් ෆ්ලොයිඩ් මරා දැමීම හේතුකොට ගෙන ලොව පුරා වර්ගවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අගයන මිනිසුන්ගේ සාමාකාමී උද්ඝෝෂණ සිදුවෙමින් පවති. එසේම වර්ගවාදය පෝෂණය කරන හෝ මිනිස් වර්ගයාගේ සහජීවනය අගය නොකරන මිනිස් ප්‍රතිරූප එවැනි ප්‍රජාතාන්ත්‍රීක මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මර්දනය  කිරීමට කටයුතු කරමින් ද සිටින බවත් පවසයි.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

ඊයේ දිනයේ මේ ආණ්ඩුව විසින් සිදුකරනු ලැබුවේ ද පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන්ට පහරදීමක් පමණක් නොව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දරුණු පහර දීමකි. එසේම සෑමවිටම වර්ගවාදය ආරක්ෂා කරන්න තමන් කැපවී සිටින බව තහවුරු කිරීමකි. එය මේ ආණ්ඩුවේ උපන්ගෙයි ගතිලක්ෂණයක් බව පැහැදිලිය. 

නීතිය විහිලුවක් කරලා !

පසුගිය කාලය පුරා මේ රටේ නීතිය නැමීමක් පිළිබඳ මතවාදයක් සිය ප්‍රචාරණ ව්‍යපෘතියක් ලෙස භාවිත කළ රාජපක්ෂවරු බලයට පැමිණි පසු මේ රටේ නීතිය විහිළුවක් බවට පත්කර ඇත. රාජපක්ෂවරුන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් පමණක් නීතිය යොදාගනිමින් සිටී. එය කොවිඩ් 19 වෛරසයට මුවා වෙමින් නීතිය භාවිත කළ ආකාරය විමසා බැලීමෙන් පමණක් වුව පැහැදිලි කරගත හැක. 

එක් වරෙක පවුලේ කිසිවකුට සිය ඥාතියාගේ ‘මරණය‘ බලන්නවත් අවසර නොදුන් ආණ්ඩුව තවත් විටෙක උත්වශ්‍රීයෙන් රට පුරා ප්‍රදර්ශනය කරමින් ‘මරණය‘ නිර්ලජ්ජිත ලෙස මනාපකරණය කළ අයුරුද කියා පාන්නේ අද නීතිය ඇත්තේ, රාජපක්ෂවරුන්ගේ සාක්කුවේ බවය. එය මේ රටේ සියලු පුරවැසියන් ඉතා හොඳන් දනී.  

කෙසේ වෙතත් කුමන තත්ත්වයක් යටතේ වුවද රටේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් කප්පාදු කිරීමට මේ ආණ්ඩුවට ඉඩදිය යුතු නැත. වර්ගවාදයට එරෙහි වීම වගේම සාධාරණ හා සාමකාමී විරෝධතාවන් පැවැත්වීම ද  පුරවැසි අයිතියක් බව මේ ආණ්ඩුවට නැවත නැවත පැහැදිලි කරදිය යුතු නැත.

අර්බුදය හමුවේ මර්ධනය සිය එකම ආයුධය කරගත් වර්ගවාදී ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී සහජීවනය අගයන සියලු පුරවැසියන් මේ රටේ අනාගතය වෙනුවෙන් එක්විය යුතු මොහොත ආණ්ඩුව විසින් නිර්මාණය කර දෙමින් සිටින බවත් ඒ වෙනුවෙන් එක්සත්ව පෙළගැසිය යුතු බවත් අවධාරණය කරමු.

මංගල සමරවීර       

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න