Language Switcher

V2025

මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි ? රුපියලත් අවධානමේ !

මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ආණ්ඩුව වෙත බාර දී ඇති බව දැනගන්නට තිබේ.

පෞද්ගලික හේතු මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීන්දු කර ඇති බවද වාර්තා වේ.

ජනාධිපතිවරයා පෙරේදා (16) දිනයේදී මහබැංකු නිලධාරීන් කැදවා ආර්ථිකය ගොඩනැංවීම සදහා වහාම මහබැංකුවේ යෝජනා ඉදිරිපත් කරන ලෙස දැඩි දෝෂාරෝපණයක්ද එල්ල කළේය.

(මුලාශ්‍රය -මව්රට )

රුපියල අවධානමේ !

මේ අතර බරපතල ලෙස කඩා වැටී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම සඳහා තමන් යෝජනා කරන පියවර නොගෙන නිදා වැටී සිටින බවට රටේ ඉහලම බැංකු නිලධාරීන්ට ජනාධිපතිවරයා දැඩි ලෙස දෝෂාරෝපනය කළ දිනම මහ බැංකුව විසින් බිලියන 115 ක් මුදා හැරීමට ගත් තීරණය රුපියල අවප්‍රමාණ වීම ඇතුළු අනිටු පල විපාක ගෙන දෙනු ඇති බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.

වාණිජ බැංකු විසින් මහ බැංකුවේ අනිවාර්යයෙන් තැන්පත් කර තිබිය යුතු මුදල සියයට හතරේ සිට සියයට දෙක දක්වා වන ලෙස ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) පහත හෙලීම තුළින් ණය දීම පහසු කරනු පිණිස රුපියල් බිලියන 115 ක් මුදා හැරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූනි මස 16 දා තීරණය කර තිබේ.

“එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙයි,” යනුවෙන් මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ කේන්ද්‍රීය ස්ථානය විසින් මෙම තීන්දුව ගනු ලැබුවේ ණය ලබාගෙන ආර්ථිකය නගා සිටුවීම සඳහා රුපියල් කෝටි 150,000 ක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම ඉටු නොකරන බව පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් ඇතුළු ඉහල නිලධාරීන් කැඳවා කෝපයෙන් යුතුව බැන වැදීමෙන් අනතුරුවය.

“ඉතාමත් කෙටි කාල සීමාවක් තුල” මහබැංකුව විසින් ගන්නා ලද පියවර අගය කරමින් නිවේදනයක් නිකුත් කරන ජනාධිපතිවරයා පවසා ඇත්තේ මේ මුදල් ව්‍යාපාරිකයන් අතට පත් කිරීම සඳහා අලුතින් ණය ලබාදීමේ වැඩසටහන් සකස් කරන බවයි.

නරක ප්‍රතිපල උදා කරනු ඇති බවට අනාවැකියක් !

ජනාධිපති වරයාගේ වාග් ප්‍රහාරයෙන් බිය වැදී මහ බැංකුව මෙලෙස ආර්ථිකය සම්බන්ධ තීරණ ගැනීමෙන්  නරක ප්‍රතිපල උදා කරනු ඇති බවට මුල් පෙලේ ආර්ථික විශේෂඥයෙක් අනතුරු අඟවා තිබේ.

“තැන්පතුකරුවන්ට අඩුවෙන් ප්‍රතිලාභ ලැබීම, භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර රේට්ටු කඩා වැටීම, එම වෙළෙඳපොළට විදේශීය මුදල් ගලා ඒම අඩු වීම සහ අවප්‍රමාණ වීමෙන් රුපියල තවත් පීඩාවට පත්වීම ආදී ප්‍රතිවිපාක එමගින් වෙනත් ක්ෂේත්‍ර වලට උදා කරනු ඇත,” යි මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර ඇත.