වැලිකඩ ඝාතනය : නීතියේ සීමාව පැන්නොත් ආයෙත් හිරේ : විත්තිකරුවන්ට අවවාද !

වැලිකඩ ඝාතනය : නීතියේ සීමාව පැන්නොත් ආයෙත් හිරේ : විත්තිකරුවන්ට අවවාද !

නීතියේ සීමාව තුළ රැඳී සිටිමින් කටයුතු නොකරන්නේ නම් දැනට නියම කර ඇති ඇපය අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බවට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවන් වන  මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා යන අයට දැඩිව අවවාද කර ඇත.

එම නඩුව විභාග කරනු ලබන්නේ ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

වැලිකඩ සිරකරුවන් ඝාතන නඩුව ඊයේ  (26) කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක  අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා යන අය දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමෙන් අනතුරුව පිටතට පැමිණ මාධ්‍ය වෙත සිදුකරන ලද ප්‍රකාශ පිළිබඳව අවධානය යොමු කර තිබේ.

එම ප්‍රකාශ තුළින් විත්තිකරුවන් දෙදෙනා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව පෙන්වාදුන් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ හරහා පැමිණිල්ලට දැඩි අගතියක් සිදු වන බවද පෙන්වා දී ඇත.

මෙම ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ අවධාරණය කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, නීතිය මඟින් නියම කර තිබෙන සීමාවන් තුළ සිටිමින් කටයුතු කරන ලෙස විත්තිකරුවන්ට තරයේ අවවාද කර ඇත.

එසේ නොකරන්නේ නම් දැනට නියම කර ඇති ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සිදුවන බවද අධිකරණය විසින් විත්තිකරුවන්ට වැඩිදුරටත් දැඩිව අවවාද කර ඇත.

අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජුලි මස 01 වනදා තෙක් කල් තැබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න