අනුරගේ පෙත්සමට දින නියමවෙයි !

අනුරගේ පෙත්සමට දින නියමවෙයි !

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම විසින් තමන්ට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන නොතීසිය බලරහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජනබලවේගය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 20 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

එම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කර සිටියේ, අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 20 වනදා කැඳවන ලෙසය.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, එහි සාමාජිකයින් වන ඩී.සී. ජයතිලක  සහ චන්ද්‍රා ප්‍රනාන්දු මෙන්ම එම කොමිසමේ ලේකම්වරයා, නීතිපති දප්පුල ද ලිවේරා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර සහ ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති යන අය නම් කර තිබේ.

පෙත්සම්කාර පාර්ශවය  පවසන්නේ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිසම විසින් ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව සාක්ෂි දීම සඳහා තමන්ට මෙම මේ මස 16 වන දා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇති බවය.

අනුර කුමාර දිසානායක  පවසන්නේ , දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලැබූ ජනාධිපති කොමිසම පිහිටුවීමට අදාළ ව ඉකුත් ජනවාරි මස 09 වන දා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව එම කොමිසමට විමර්ශන සිදුකිරීම සඳහා බලය පැවරී තිබෙන්නේ රාජ්‍ය සේවකයින් විසින් ඉදිරිපත් කරන පැමිණිලි පමණක් බවය.

ඒ අනුව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල විභාග කිරීමට එම කොමිසමට බලයක් නොමැති බව පෙන්වා දෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක , ඒ අනුව එම විමර්ශනය සඳහා තමන්ව කැඳවීම සඳහා නිකුත් කර තිබෙන නොතීසිය ද බලරහිත ලියවිල්ලක් බව කියා සිටියේය.

මේ හේතුවෙන් එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස තමන් වෙත නිකුත් කර තිබෙන නොතිසිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින අනුර දිසානායක හිටපු මන්ත්‍රීවරයා  සේනාධිපති විසින් සිදුකරන ලද පැමිණිල්ලට අදාළ ව පවත්වනු ලබන විමර්ශනය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න