ඇමරිකානු MCC (මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්) ගිවිසුමට අදාල අර්බුදය ඇමරිකාව අමනාප කර නොගන්නා ආකාරයකට කළමණාකරනය කළ යුතු බවට විදේශ අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආර්‍ය්‍යසිංහ විසින් අගමැති මහින්ද රාජපක්ෂට රහස්‍ය ලිපියක් යවා ඇති බව වාර්තා වේ.
MCC ගිවිසුම සමාලෝචන කිරීමට පත්කළ ගුණරුවන්කමිටුවේ ඇමුණුම ප්‍රකාශයට පත් නොකරන ලෙසත් එහි සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.
විදේශ අමාත්‍යංශ ලේකම්වරයා එම උපදේශාත්මක ලිපිය අගමැතිවරයා වෙත යොමුකිරීමේ දී විදේශ අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගෙන නැති බව ආණ්ඩුවට පක්ෂපාති Lanka Lead News වාර්තා කර ඇත.
ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයක් මත පත් කරන ලද MCC විමර්ශන කමිටු වාර්තාවට අදාළව ඇමතිවරුන්ගේ නිර්දේශ කැඳවූ බවත් ඉන් පසුව යම් ඇමතිවරුන් තම නිර්දේශ ලබා දීම සඳහා කල් ඉල්ලා ඇති බවත් පසුගිය දිනවල වාර්තා විය.
නමුත් ඇමතිවරුන් වැඩි පිරිසක් විසින් තම නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ලබා දිම වෙනුවට එම වගකීම අමාත්‍යංශ ලේකම්වරුන්ට පවරා ඇති බව යම් අමාත්‍යංශ වලින් වාර්තා විය.
ඉන්පසුව අමාත්‍යංශ ලේකම්වරු පිරිසක් සාමූහිකව සාකච්ඡා කොට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට තීරණය කිරීම නිසා ඔවුන් විසින් ඒ සඳහා විදේශ අමාත්‍යංශයේ ලේකම් වරයාගේ උපදෙස් පතා ඇති බවද විදේශ අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා විය.
පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ, ජාත්‍යන්තර එකඟතා කඩකල නොහැකි බවයි.

