Language Switcher

V2025

වසර 70 කට පසුව : එජාපය නැති මංගල පාර්ලිමේන්තුවක් !

අද (අගෝස්තු 20) ආරම්භ කෙරෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විශේෂ කරුණු දෙකක් හේතුවෙන් ඓතිහාසික මුහුණුවරක් ගනී. ඉන් පළමුවැන්න, වසර තුනකට පමණ පෙර ආරම්භ කරන ලද ළාබාල දේශපාලන පක්ෂයක් (ශ්‍රීලංකා පොදුජන පෙරමුණ) තුනෙන් දෙකක බලයක් ද සහිතව පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ අසුන් ගැනීමය. දෙවැන්න, 1947 පටන් වසර හැත්තෑ දෙකක කාලයක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ මුහුණක් එහි නොවීමය.

1947 පළමු පාර්ලිමේන්තුවේ පටන් අඛණ්ඩව ව්‍යවස්ථාදායකය තුළ නියෝජනය වූ, ශ්‍රී ලංකා දේශපාලනයේ පැරණිතම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය, 2020 මැතිවරණයේ දී තමන් ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවිය නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාර ආරම්භය වනවිටත් නම් කරගැනීමට අසමත්ව ඇත.

දේශපාලන පක්ෂයක් ලෙස සංවිධානය වීමෙන් වසරක් තරම් කෙටි කාලයක් තුළ එක්සත් ජාතික පක්ෂය 1947 මහමැතිවරණයේ දී වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂය බවට පත්වෙමින් සෙසු පක්ෂවල ද සහයෝගය ඇතිව අගමැති ඩී.එස්.සේනානායකගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවා ගනිමින් ඉතිහාසයට එක්වුණේ ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු ආණ්ඩුපක්ෂය වශයෙනි.

ඉන් අනතුරුව 2020 මහමැතිවරණය තෙක් පවත්වා ඇති සියලු මැතිවරණවල දී ආණ්ඩුබලය දිනාගැනීමට හෝ නොඑසේනම් අඩුතරමින් විපක්ෂය ලෙස හෝ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට එම පක්ෂය සමත් විය.

ආණ්ඩුබලය අහිමි වූ මහමැතිවරණවලින් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට විපක්ෂ නායක පදවිය අහිමිව ඇත්තේ එක් වතාවක් පමණි. 1956 මැතිවරණ පරාජයේ දී ආසන අටක් ලද එක්සත් ජාතික පක්ෂයට වඩා ලංකා සම සමාජ පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත හැකිවීම හේතුවෙන් විපක්ෂ නායක පදවිය ආචාර්ය එන්.එම්.පෙරේරාට පැවරුණි.

එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ 2020 මහා පරාජයට පෙර ඔවුන් ලද පළමු සහ දැවැන්ත දේශපාලන පරාජය වර්තා වූයේ 1956 මහමැතිවරණයේ දීය. එම මැතිවරණයේ දී අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක විසින් නායකත්වය දෙන ලද මහජන එක්සත් පෙරමුණ ලද ජයග්‍රහණය හමුවේ එක්සත් ජාතික පක්ෂය ලද ආසන සංඛ්‍යාව අටකට සීමා විය. එවැනි දරුණු පරාජයක් හමුවේ වුවද, පක්ෂ නායක අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල සිය පාර්ලිමේන්තු අසුන ආරක්ෂාකර ගැනීමට සමත් විය. එහෙත් 2020 මැතිවරණය දේශපාලන ඉතිහාසයට එක්වන්නේ 1994 පටන් වසර විසිහයක කාලයක් විපක්ෂ නායකයා ලෙස හෝ අගමැතිවරයා ලෙස දිගින් දිගටම පාර්ලිමේන්තුව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට ඔහුගේ පාර්ලිමේන්තු ආසනය පවා අහිමි කරන ලද අමිහිරි දේශපාලන අත්දැකීමක් අත්කරමිනි.

1956 පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂය ලද ඊළඟ මහා පරාජය වාර්තා වන්නේ 1970 මහමැතිවරණයේ දීය. එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය දිනාගත් සමස්ත ආසන සංඛ්‍යාව දහහතකට සීමා විය. එහෙත් 1977 මහමැතිවරණයේ දී ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආසන අටකට සීමා කරමින් පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් දිනාගැනීමට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය සමත්විණි.

 114008871 eab49994 1ad4 4573 9c71 e667c246cc88

              එජාප මූලස්ථානය වූ සිරිකොත මන්දිරයට වෙඩි තැබීමකින් අලියා ලකුණට හානි සිදුවූ අවස්ථාවක්
 

1956 සහ 1970 දී ලද දැවැන්ත පරාජය හමුවේ වුවද, එක්සත් ජාතික පක්ෂය සමස්ත රට වශයෙන් විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීම විශේෂත්වයකි. 1970 දී ආසන දහහතකට සීමාවුවද,රට මට්ටමින් ගත්විට එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා තිබිණි. එවැනි තත්ත්වයක් යටතේ දේශපාලන විචාරකයන් විසින් එක්සත් ජාතික පක්ෂය විග්‍රහ කරන ලද්දේ රටේ ජාතික මට්ටමින් මුල්බැසගත් වැඩිම ඡන්ද පදනමක් සහිත දේශපාලන පක්ෂය වශයෙනි.

1970 මැයි 27 දින පැවති මහමැතිවරණයේ දී ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික මට්ටමින් ඡන්ද 1,817,349ක් ලබාගෙන තිබියදී ආසන දහහතකට සීමාවූ එක්සත් ජාතික පක්ෂය ජාතික මට්ටමින් ඡන්ද 1,879,996 ක් ලබා ගැනීමට සමත්විය.

එහෙත් 2020 මැතිවරණ ප්‍රතිපල අනුව, එක්සත් ජාතික සම්බන්ධයෙන් කලින් පැවති ඉහත කී සම්ප්‍රදායික නිර්වචනය තවදුරටත් වලංගු නොවන අතර එම පක්ෂය මුළු රටේම ලද ඡන්ද ප්‍රමාණය 249,435කට සීමා විය. එය ජාතික මට්ටමින් මැතිවරණයේ දී ප්‍රකාශිත ඡන්දවලින් 2.15% ක් පමණි.

  114008876 4a8a2ee8 2005 404c 8905 656b2507ea8e

             සිරිකොත ඉදිරිපිට ගැටුමක් සිදුවූ අවස්ථාවක්

එජාප ඉරණම ලද වමේ පක්ෂ !

අතීතයේ මහා කීර්තියක් පැවති දේශපාලන පක්ෂ අතර එක්සත් ජාතික පක්ෂය මුහුණදුන් ආකාරයේ ඉරණමකට ගොදුරුවූ තවත් දේශපාලන පක්ෂ කිහිපයකි.

පිලිප් ගුණවර්ධන විසින් විප්ලවකාරී සම සමාජ පක්ෂය යන නමින් ආරම්භ කරනු ලැබ, පසුව මහජන එක්සත් පෙරමුණ යන නමින් ක්‍රියාත්මක වෙමින් පැවති දේශපාලන පක්ෂය 1970 මහ මැතිවරණයේ දී එකම පාර්ලිමේන්තු ආසනයක් හෝ දිනාගැනීමට අසමත් විය. මහජන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධන ඇතුළු එම පක්ෂයේ අපේක්ෂකයන් ලෙස 1970 මැතිවරණයට තරඟ වැදුන සියලුම අපේක්‍ෂක අපේක්‍ෂිකාවෝ පරාජයට පත්වූහ.

එක්සත් ජාතික පක්ෂය මහා ජයග්‍රහණයක් වාර්තා කරන ලද 1977 මහමැතිවරණයේ දී ලංකා සම සමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයද ඊට සමාන දේශපාලන ඉරණමකට ගොදුරු විය. 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා අවධියේ පටන් වාමාංශික දේශපාලන පක්ෂ සඳහා පැවති පාර්ලිමේන්තු නියෝජනය 1977 මැතිවරණයෙන් අවසන් වූයේ ආචාර්ය එන්.එම්.පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ සහ පීටර් කේනමන් වැනි සියලුම වාමාංශික දේශපාලන නායකයන් පවා පරාජයට පත්වීමෙනි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ අධිනීතිඥ සරත් මුත්තෙට්ටුවේගම එකම වාමාංශික මන්ත්‍රීවරයා වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළද, ඔහුගෙන් අනතුරුව තේරී පත්වූ සියලුම වාමාංශික මන්ත්‍රීවරු ඔවුන් අයත් දේශපාලන පක්‍ෂයෙන් නොව යම්කිසි දේශපාලන සන්ධානයකින් හෝ ජාතික ලැයිස්තුවකින් පාර්ලිමේන්තුවට පිවිසි පුද්ගලයෝ වූහ.

  114008873 96b8d8cd 35de 49bd af3c f360f232db9d                                     සජිත්ගේ පියා රණසිංහ ප්‍රේමදාස සහ ජේ.ආර්.ජයවර්ධන අතරත් දේශපාලන විරසකභාවයන් පැවතුණි.

සමගි ජනබලවේගය !

2020 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවියක් පමණක් වුවද එම පක්ෂයෙන් වෙන්ව ගොස් 'සමගි ජන බලවේගය' යන නව පක්ෂයෙන් තරඟ වැදුණු, තමන් තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් ලෙස පෙනී සිටින පිරිසක් පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙති.

සමගි ජන බලවේගය දේශපාලන පක්ෂ කිහිපයක එකතුවක් වන අතර, ඊට නායකත්වය දෙන, කලින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වූ සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා විණි.

2020 මැතිවරණයේ දී සමගි ජන බලවේගයට ජාතික ලයිස්තු මන්ත්‍රී පදවි හතක් ද සමඟ ආසන 54 ක් දිනාගැනීමට හැකි විය.

සමගි ජන බලවේගයට එක්ව සිටින සිය ඇතැම් සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇති නමුත් සජිත් ප්‍රේමදාස ඇතුළු ඉදිරිපෙළ නායකයන්ගේ සාමාජිකත්වය හෝ පක්ෂය තුළ දරන තනතුරු සම්බන්ධයෙන් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

එවැනි පරිසරයක් තුළ එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් වෙන්ව ගිය කණ්ඩායම යළිත් පක්ෂය තුළට ගැනීමට සමත්වුවොත් පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා සමඟ තවත් කණ්ඩායමක් එකතුවනු ඇත.

(බීබීසී)