සිරිසේනගේ ජාතික ආරක්ෂාව ගැන උනන්දුව හිටපු බුද්ධි අධ්‍යක්ෂ හෙළිකරයි !

සිරිසේනගේ ජාතික ආරක්ෂාව ගැන උනන්දුව හිටපු බුද්ධි අධ්‍යක්ෂ හෙළිකරයි !

පාස්කු ප‍්‍රහාරයට පෙර දින සහ ප‍්‍රහාරය එල්ල වීමට මිනිත්තු කිහිපයකට පෙර එවක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට එය දැනුම්දීමට තමන් උත්සහ කළද එය ව්‍යර්ථ වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (22)  පැවසීය.

ඔහු එම කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන්නේ 16 වන දිනට වන අතර  ඒ වනවිට විදෙස් සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපතිවරයා, දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත්, එය ද ව්‍යර්ථ වු බවයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේය.එසේම කොමිසම කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන කියා සිටියේ ප‍්‍රහාරයට පෙර ජාතික ආරක්ෂක කවුන්සිලය අවසන්වරට රැස්වූයේ පෙබරවාරි මාසයේ බවත් පැවසීය.

ප‍්‍රහාරයක් සිදුවන බවට පාස්කු ප‍්‍රහාරයට පෙර දින සහ ප‍්‍රහාරය එල්ල වූ දින නිලන්ත ජයවර්ධනට ලද විදෙස් තොරතුරුකරුගේ බුද්ධි තොරතුර එවක ජනාධිපතිවරයාට දැනුම් නොදුන්නේ මන්දැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී විමසූ අතර  එහිදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා කියා සිටියේ තමන් ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ බවයි.   

ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා ද දුරකතනයෙන් අමතා තමන්ට ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය බව ඔහුට ද දැනුම් දුන් බව සාක්ෂිකරු කොමිසම හමුවේ සදහන් කළේය.පසුව ජනාධිපති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, ජනාධිපතිවරයා විදෙස් සංචාරයකට එක්ව සිටින බව තමන්ට දැනුම් දුන් බවත් ඔහු පැවසීය.

මෙහිදී කොමිසම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාගෙන් විමසා ඇත්තේ  ජනාධිපතිවරයා විදෙස්ගත වන බව තමන් දැන සිටියේ නැද්ද යන්නයි. හිටපු ජනාධිපතිවරයා විදෙස්ගත වන තෙක් දැන නොසිටි බවත්, ගුවන් තොටුපොළ නිලධාරීන් දැනුවත් කළ පසු ඒ පිිළිබද දැනුවත් වූ බව සාක්ෂිකරු මෙහිදී සදහන් කර ඇත. 

ප‍්‍රහාරයට පෙර දින ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අමතා කුමක් ප‍්‍රකාශ කළේද යන්න විමසීමේදී ඔහු පවසා ඇත්තේ  හිටපු ජනාධිපතිවරයා සමග විදෙස් සංචාරයට එක් නොවූයේ මන්දැයි යන්න තමන් ජනාධිපති ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසු බවය.ඔහු එහිදී ඊට එක් නොවූ බව පැවසු බවත්  හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ කර දෙන ලෙස තමන් ජනාධිපතිි ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් පැවසීය.  

පසුව ඔහු තමන්ට පැවසුවේ පැජට් පාරේ නිල නිවසේ තිබෙන දුරකතනය හරහා ජනාධිපතිතුමාගේ පෞද්ගලික ආරක්ෂකට කතා කිරීමට හැකි බවත්  හිටපු ජනාධිපතිවරයා සතුව ජංගම දුරකතනයක් නොමැති බවද ඔහු මට දැනුම් දුන්නා යනුවෙන්ද පැවසීය. 

පසුව කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවේ ප‍්‍රහාරය පිළිබද තොරතුරු ලබාදෙන්න හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට ඇමතුමක් ලබා ගත්තේ ද යන්නයි.

එහිදී සාක්ෂිකරු සදහන් කළේ තමන් පාස්කු ප‍්‍රහාරයට පෙරදින පස්වරු 06.18 ට පැජට් පාරේ පිහිටි ජනපති නිල නිවසට දුරකතනය ඇමතුමක් ගෙන ජනාධිපතිවරයා සම්බන්ධ කර දෙන ඉල්ලීමක් කළ බවයි. 

පසුව එම ඇමතුට පිලිතුරු දුන් අයෙකු තමන්ට සදහන් කළේ ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ කරන ලෙස බවය.

එහෙත් පාස්කු ප‍්‍රහාරයට පෙර දින එනම් අපේ‍්‍රල් 20 වෙනිදා තමන්ට කිසිලෙසකින් හෝ ජනාධිපතිතුමාව සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව සාක්ෂිකරු කොමිසම හමුවේ සදහන් කළා. අනතුරුව කොමිසම විමසුවේ ඉන් පසු යලි උත්හස නොකළේද යන්නයි. නැතැයි, යන්න සාක්ෂිකරු මෙහිදි පවසා ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න