ලංවීම හාංසි කරන මිල අධික හදිසි මිලදී ගැනීමක් ?

ලංවීම හාංසි කරන මිල අධික හදිසි මිලදී ගැනීමක් ?

රුපියල් කෝටි 2100 ක් ගෙවා අධික මිලකට විදුලිය මිලදී ගැනීමේ සූදානමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත්කරමින් මේ බව අනාවරණය කර සිටියි.

"රුපියල් කෝටි 2100 ක් ගෙවා අධික මිලට හදිසි විදුලිය මිලදී ගැනීමේ සූදානමක් - ලංවිම  හාන්සිකරන  හදිසි විදුලිය මිලදී ගැනීම් වහාම නවතන්න." යන ශීර්ෂයෙන් යුතුව එම නිවේදනය නිකුත්කර ඇති අතර එම සසම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

කෙටිකාලීන පදනම මත විදේශීය සමාගම් දෙකකින් විදුලිය මිලදී ගැනීම සදහා ලංකා විදුලි බල මණ්ඩලය සුදානම් වන බව  අප සංවිධානයට  වාර්තා වී ඇත.

හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් මේ සමාගම් වෙත දැනටමත් ටෙන්ඩරය පිරිනැමීමටද අවශ්‍ය පියවර ගෙන ඇත. එක් විදුලි ඒකකයක් සදහා රුපියල් 31කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවන බව අදාල කැබිනට් මණ්ඩලයට වාර්තා කර තිබුණද ඒ මිල ගණනය කර ඇත්තේ ඩොලරයේ අගය රුපියල් 181ක පදනමෙ සිටය. මේ වන විට ඩොලරය රුපියල් 185ක් දක්වා ඉහල ගොස් තිබේ.

ඒ අනුව විදුලි ඒකකයක් සදහා ගෙවන සැබෑ මිල මේ වන විටද රුපියල් 31කට වඩා වැඩි වන අතර ඉදිරියේ දී ඩොලරයේ අගය ඉහල ගියහොත් මෙම පුද්ගලික බලාගාර වලට ගෙවිය යුතු මුදල තවදුරටත් ඉහල යනු ඇත.

ඒ අනුව මෙම හදිසි විදුලිය මිලදී ගැනීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට දරන්නට සිදුවන වියදම් රුපියල් කෝටි 2100 කට අධික වනු ඇත.

මෙයින් කෝටි 400 ක් පමණ ගෙවනුයේ එම බලාගාර වල ආයෝජන මුදල් වශයෙනි.

ලංකා විදුලිබල මණ්ඩලයට තමන්ගේම බලාගාර ඉදිකර ගැනීමට ඇති මුදල් පුද්ගලික සමාගම් වලට බලාගාර ඉදිකර ගැනීමට ලබාදීමේ ජාවාරමක් ලෙස මෙය හැදින්විය හැකිය.

පසුගිය අවුරුදු 5 පුරාම එකම විදුලි බලාගාරයක් ඉදිකිරීමට ලංවිම අසමත් විය. එය ලංකා විදුලිබල මණ්ඩලය විසින් හිතාමතා කල එකකි. තමන්ටම අයත් අඩු වියදම් බලාගාර ඉදිකලහොත් විදුලි හිගයක් මවාපෑම අසීරු වන හෙයින් ලංවිමට අයත් අඩු වියදම් බලාගාර ඉදිකිරීම දිගින් දිගටම ප්‍රමාද කරනු ලබයි.

2015 සිට 2020 වන විට ඉදිකර ජනන කටයුතු ආරම්භ කල යුතුව තිබු බලාගාර ධාරිතාවය මෙගා වොට් 1500කට අධිකය. එම බලාගාර නිසි කලට ඉදිකලා නම් මේ වන විදුලි අතිරික්තයක් අපට ලබාගැනීමට ඉඩ තිබුණි.

එම අතිරික්තය ඉංදියාවට අපනයනය කිරීමට පවා හැකියාව තිබිණි. මෙරට විදුලි මාෆියාව විසින් අඩු වියදම් විදුලි බලාගාර ඉදිකිරීමට කිසිසේත් ඉඩ නොදෙයි. විදුලි ඉංජිනේරුවන්, විදුලි බල අමාත්‍යංශයේ නිලධාරීන්, දේශපාලනඥයින් හා ඇතැම් තානාපතිවරු පවා හවුල් වන මේ විදුලි මාෆියාව නව රජයේ යටතේද සක්‍රිය වී ඇති බව මෙම හදිසි විදුලිය මිලදී ගැනීමෙන් ඔප්පු වේ.

හදිසි විදුලිය මිලදී ගැනීමේ ඉතිහාසය පිරික්සීමේදී විදුලිය බිද වැටීම හා සම්බන්ධයක් පවතී. විදුලි හිගය නැමැති බිල්ලා මවාපෑමට මුලින්ම දිවයින පුරා විදුලි කප්පාදුවක් කිරීමේ ලංවිම ඉංජිනේරු සහාය ඇති ව සිදු කරයි. යහපාලන රජයේ යටතේ තුර්කි නැව් 2කින් මෙගා වොට් 400ක් විදුලිය මිලදී ගැනීම සදහා යෝජනා ගෙන්වා ගත්තේ 2019 මාර්තු මාසයේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමෙන් පසුවය.

දැන් මේ වර්ෂයේ හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනාව ක්‍රියාත්මක කරන්නට යන්නේ ද අගොස්තු 17 වැනිදින රට පුරා විදුලිය බිද වැට්ටවීමෙන් පසුවය. එය විදුලි අධිකාරිවරයෙකුගේ අත්වැරද්දකීන් බව කීවද නිසි පරීක්ෂණයකින් තොරව එම නිගමනයට එළඹී ඇති බව පෙනේ. එදින අක්‍රිය වු නොරෝච්චෝලේ සංකීර්ණයෙහි මෙගා වොට් 300 ක එක් බලාගාරයක් මේ වන විටත් අක්‍රියව පවතී.

එසේ අක්‍රිය කිරීම නිසා මෙගා වොට් 300ක හිගයක් ඇති වේ. එම හිගයට පිළියම හදිසි විදුලිය මිලදී ගැනීමයි. මෙම බිදවැටීම පිළිබද කරන පරීක්ෂණ ද පක්ෂපාති බව පැහැදිලිය. එම බිද වැටීමට ඝෘජුව වගකිව යුතු ඉංජිනේරු පිරිස ආරක්ෂා කිරීම සදහා ඇමතිවරයා පත්කල කමිටුවටද ලංවිම ඉහල කළමනාකරණයේ විදුලි ඉංජිනේරුවෙක් පත්කර තීබීමෙන් පැහැදිලි වේ.

එයද විදුලි මාෆියාවේ උපක්‍රමයකි. විදුලිබල අමාත්‍යවරයාද නොමග යවා ඇති බව පෙනේ. ලංකා විදුලි බල මණ්ඩලයේ දුෂණ හා අක්‍රමිකතා පිලිබද නිසි අවබෝධයක් ලබා නොගතහොත් වත්මන් අමැතිවරයාටද විශ්‍රාම යාමට සිදුවන්නේ එකම විදුලි බලාගාරයක් වත් ඉදිනොකර හදිසි විදුලිය මිලදී ගෙන ලංවිම පාඩුව තවදුරටත් ඉහල දැමීමෙන් පසුවය.

මෙම හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනාවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා නොදිය යුතු බවට අපි ප්‍රකාශ කරමු. මේ වන විටත් නීති විරෝධී විදුලි ගිවිසුම් 3ක් ක්‍රියාත්මක වේ.

ජනාධිපති තුමාගේ සෞභාග්‍යෙය් දැක්මෙහි සදහන් වන්නේ එම නීති විරෝධී විදුලි ගිවිසුම් අහෝසි කරන බවයි. එසේ නම් තව තවත් නීති විරෝධී විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම නතර කල යුතු ය.

ඒ වෙනුවට මේ වන අනුමත ජනන සැළසුම් වල ඇති අඩු වියදම් විදුලි බලාගාර ඉදිකිරීමට වහා පියවර ගත යුතුය. එම බලාගාර ඉදිකිරීම ප්‍රමාද කළ, ප්‍රමාද කරන හා ඉදිරියේදීත් එම බලාගාර ඉදිකිරීම පැහැර හැරීම සදහා කුමන්ත්‍රණය කරන ඉංජිනේරු පිරිස හදුනාගෙන ඔවුන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගත යුතු ය.

මෙයට,

විශ්වාසි    

රංජිත් විතානගේ -

සභාපති  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න