Language Switcher

V2025

සොච්චම් මුදලක් දීලා ඔච්චම් කතා කියන ඇමතිලාව හෙළා දකිනවා !

" පාර්ලිමේන්තුවේදී වීරවංශ ඇමතිවරයා ජනතාවට රු. 5,000 දීමනාව ගැන කළ ප්‍රකාශය හෙළා දකිනවා. අද ජීවන වියදම අනුව රු. 5,000 කියන්නේ සොච්චම් මුදලක්. සොච්චම් මුදලක් දීලා ඔච්චම් කතා කියනවා නම් ඒ ඇමතිවරුන් ගැන කලාකරුවන් හැටියට අපි හෙළා දකිනවා. සියලු ජනතාව මේ තත්වය තේරුම් ගත යුතු බව අවධාරණය කරනවා." ජන නියමු කලාකරුවෝ සංවිධානයේ විධායක කමිටු සාමාජික, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර පවසයි.
 
ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (26) ජන නියමු කලාකරුවෝ සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුව අමතමින්ය.
 
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
කොරෝනා වංසගතය ලෝකයේ ආරම්භ වෙන්නත් කලින් අපේ රට දරුණුම ආර්ථික අර්බුදයක මුවවිට තිබුණේ. කාලයක් තිස්සේ රට පාලනය කරපු අදූරදර්ශී පාලකයින්ගේ ක්‍රියාවන් නිසා සංවර්ධනයේ නාමයෙන් දරුණු ණය උගුලක හිරකර තිබුණා. කොරෝනා වසංගතය නිසා ලෝකයේ වගේම අපේ රටෙත් විශාල ආර්ථික අර්බුදයක් පැන නැගිලා. ආණ්ඩුවත් සමග ව්‍යාපාර කරමින් කෝටි, ප්‍රකෝටි ගණන් රැස් කරගන්න ව්‍යාපාරිකයින් දෙතුන් දෙනෙක් හැරුණු කොට රටේ සෑම ක්‍ෂේත්‍රයකම පුරවැසියෝ විශාල අර්බුදයක ඉන්නේ. 
 
එක පැත්තකින් ඒ අයගේ ආදායම් අහිමි වෙනවා. අනික් පැත්තෙන් වසංගතයට මුහුණ දෙනවා. අනික් පැත්තෙන් සමාජයීය අර්බුදවලට මුහුණ දෙනවා. රජයේ සේවකයින්ට දැනට මාසික පඩිය හෝ ලැබුණත් අනිකුත් ක්‍ෂේත්‍රවල අයට බරපතළ ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. නමුත් ආණ්ඩුව උත්සාහ කරන්නේ කෝවිඞ් වසංගතය සම්බන්ධ යථාර්ථය සඟවා තබන්න දරන උත්සාහයක්. නමුත් මෙරටට විදේශ විනිමය ගෙන ආ ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමි වෙලා. සියයකට වැඩි ප්‍රමාණයකගේ ජීවිතත් අහිමි වෙලා. මේ වගේ පරිසරයක් ඇතුළේ ක්‍ෂේත්‍ර ගණනාවක නියැලී ඉන්න  කලාකරුවෝ අද සම්පූර්ණයෙන්ම අනාථභාවයට පත්වෙලා. නමුත් කලාකරුවන්ට තියෙන පිළිගැනීමක් සහිත තත්වය නිසා ඔවුන්ට කිසි ප්‍රශ්නයක් නැති බව ආණ්ඩුව හිතනවත් ඇති. හොඳම නිදර්ශනය විල්සන් කරුණාරත්න සිනමා නළුවා මොන තරම් අසරණ තත්වයකට වැටිලා හිටියාද කියලා පැහැදිලි වුණා. රු. 5,000 ලබාගැනීමේ පෝලිමට යන්නේ මුඛ ආවරණයක්වත් නැතිව. ඒ නිසා ඔහුව පොලිස් කූඩුවේ දැමීමට හේතුවක් වෙලා තිබුණා. මේක ඉතාම අවාසනාවන්ත තත්වයක්. එවැනි ආර්ථික අමාරුකම්වලට මුහුණදෙන කලාකරුවන් විශාල පිරිසක් ඉන්නවා. 
 
මුහුණු පොත හරහා මම දැක්ක විදිහට ඇවන්ගාඞ් ව්‍යාපාරිකයා මේ නළුවාගේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වුණා කියලා ප්‍රවෘත්තියක් හුවමාරු වෙනවා. මේක ඇත්ත නම් බරපතළ ලෙස හිතන්න ඕනෑ. අසරණ වෙච්ච එක කලාකරුවෙකුව රැකබලා ගැනීමෙන් ඔවුන් මුහුන දෙන සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අනික ඔය කියන ව්‍යාපාරිකයෝ වගේම තවත් ගණනාවක් ආණ්ඩුවට සම්බන්ධ කොන්ත්‍රාත් ලබා ගනිමින් ප්‍රකෝටි ගණන් හරි හම්බ කරගත්ත ව්‍යාපාරිකයෝ. එහෙම නම් ඔවුන්ගෙන් අනුග්‍රහය ලබාගෙන කලාකරුවෝ සියලු දෙනා වෙනුවෙන් ලොකු අරමුදලක් ඇති කරන්න පුළුවන්. එහෙම නොකර එක කලාකරුවෙකු වෙනුවෙන් ව්‍යාපාරිකයෙක් ඉදිරිපත් වීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. එදිනෙදා කුලී වැඩ කරලා ජීවත් වෙන ජනතාව වගේම කලාකරුවොත් එදිනෙදා ආදායම් උපයාගත් ගැමි කලාකරුවන් බරපතළ අර්බුදයක ඉන්නවා. ඉදිරියේදී රටක් හැටියට මුහුණ දෙන අර්බුද සැලකිල්ලට ගෙන ක්‍රියා කිරීමේ වගකීමක් ආණ්ඩුවට තියෙනවා. මහා මැතිවරණය පැවැත්වූයේ කොරෝනා රැල්ල තිබියෙදීයි. එහෙම නම් බලය බාර ගත්තේ පවතින තත්වය දැනගෙන. ඒ නිසා සියලුම ජනතාවට ජීවත් වීමට අවශ්‍ය පහසුකම් සැපයීමේ වගකීමක් ආණ්ඩුවට තියෙනවා. අගමැතිවරයාගේ මැදිහත්වීමෙන් රක්‍ෂණ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව මෑතදී ප්‍රචාරය වුණා. නමුත් කලාකරුවන්ට අවශ්‍ය වෙන්නේ අනාගතයේදී ලැබෙන දේට වඩා අද ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට උත්තරයක්.
 
පළමු කොරෝනා රැල්ල සෞඛ්‍ය සේවය සහ ආරක්‍ෂක අංශවල ඉහළ ඉඳලා පහළට උපරිම කැපවීමෙන් විසඳා ගත්තා. නමුත් මාස ගණනාවකට පස්සේ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කොරෝනා මතුවීම අද වෙනතුරු රහසක්. ඒ සේවක සේවිකාවෝ වසංගතයට ගොදුරු වුණේ කොහොමද? ඒකට වගකියන්න ඕනෑ කවුද කියන එක වගකිව යුතු පාලකයින්ගේ වගකීමක්. දැන් බ්‍රැන්ඩික්ස් කියන වචනය පවා මාධ්‍යයට තහනම් බව පේනවා. දැන්වත් මේ වෛරසය ආවේ කොහොමද කියලා රටට හෙළිකළ යුතුයි. ඒ වගේම මාධ්‍ය ආයතනවලට විරුද්ධව උසාවි වාරණ ලබාගැනීමේ තත්වයක් උදාවෙලා තිබෙනවා. මාධ්‍ය ආයතන තිබෙන්නේ මිනිස්සුන්ට තොරතුරු සපයන්න. තොරතුරු දැන ගැනීමේ අයිතියක් මේ රටේ ජනතාවට තියෙනවානම් මේ ගැන බරපතළ ලෙස සිතා බැලිය යුතුයි. මේ ආකාරයේ තහංචි පැනවීම ගැන ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතියට ගහන ලද මරු පහරක් හැටියට අපි දකිනවා. මේ තත්වය අපි තරයේ හෙළා දකිනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේදී වීරවංශ ඇමතිවරයා ජනතාවට රු. 5,000 දීමනාව ගැන කළ ප්‍රකාශය හෙළා දකිනවා. අද ජීවන වියදම අනුව රු. 5,000 කියන්නේ සොච්චම් මුදලක්. සොච්චම් මුදලක් දීලා ඔච්චම් කතා කියනවා නම් ඒ ඇමතිවරුන් ගැන කලාකරුවන් හැටියට අපි හෙළා දකිනවා. සියලු ජනතාව මේ තත්වය තේරුම් ගත යුතු බව අවධාරණය කරනවා.
 
Keerthi Welisarage 1
 
හඬක් නැති කලාකරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරන වැඩපිළිවෙළක් අවශ්‍යයි -  ජන නියමු කලාකරුවෝ සංවිධානයේ විධායක කමිටු සාමාජික, 
සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ
 අද අපි මුහුණ දී තිබෙන අර්බුදය ගැන පෙරවදන් අවශ්‍ය නැහැ. ලෝකයත් සමගම අපේ රටත් මුහුණ දී තිබෙන අර්බුදය හමුවේ කෙබඳු ආකාරයකට මුහුණ දෙන්න ඕනෑද කියලා ජන නියමු කලාකරුවන් හැටියට අපේ අදහස ඔබ හා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැක්කා, හුදකලා කොට තැබූ ජනතාව තමන්ගේ මූලික ජීවන අවශ්‍යතා සලසා දෙන්න කියලා උද්ඝෝෂණය කරන ආකාරය. මේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ආණ්ඩුවට පෙර දැක්මක් නොතිබීම ගැන අපි කණගාටු වෙනවා. එබඳු පිරිස් පාරට ආවට පස්සෙ පොලීසිය යොදවා ඔවුන් විසුරුවා හරිනවා. ඒ වගේම උද්ඝෝෂණය කළාට පස්සේ විසඳුම් සෙවීමට ආණ්ඩුව මැදිහත්වීම නැවත සලකා බැලිය යුතුව තිබෙනවා. ඒක හොඳ ලක්‍ෂණයක් නොවෙයි. සමස්ත සමාජය මුහුණ දෙන අර්බුදයේ එක් පැතිකඩක් ඒක. නාගරිකව වගේම ගම්බද මේ වගේ ගැටලු තියෙනවා. ඒ නිසා වහාම ක්‍රියාත්මක වන විදිහට සමස්ත ජනතාවට සහන සලසන්න ඕනෑ. 
 
රුපියල්  5,000ක ලබාදීම විසඳුම නොවෙයි. දැන් බඩුමිල ඉහළ යනවා. දිගටම මේ තත්වය පැවතුණොත් විශාල සමාජ අර්බුදයක් ඇති වෙනවා. පොදු මහජනතාව පිළිබඳව නිවැරදි තක්සේරුවකින් කටයුතු කරන්න කියලා අපි අවධාරණය කරනවා. පොදු ජනතාව වගේම කලාකරුවන්ට කලාවෙන්ම ජීවත් වෙන්න හැකියාවක් එදා තිබුණෙත් නැහැ. අදත් නැහැ. කලාකරුවන් හැමෝම අද ජීවත් වීමේ ගැටලුවලට මුහුණ දී සිටිනවා. පළමු කොරෝනා රැල්ල පැමිණි අවස්ථාවේ කලාකරුවන් වෙනුවෙන් ණය යෝජනා ක්‍රමයක් මුල් කාලයේ ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ ඒක යට ගියා. සැබෑ කලාකරුවන්ට, හඬක් නැති ග්‍රාමීය කලාකරුවන්ට මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන වැඩපිළිවෙළක් සකසන්න කියලා ජන නියමු කලාකරුවන් හැටියට අපි යෝජනා කරනවා. ඒ වගේම නොකියාම බැරි දෙයක් අපේ පාසැල් දරුවෝ සම්බන්ධයෙන් තියෙනවා. කඩිමුඩියේ පාසැල් විවෘත කිරීමෙන් ඒ ආශ්‍රිතව කොරෝනා පොකුරු ඇති වුණොත් කියන සැකය තිබෙනවා. ඒ නිසා මේ ගැන ප්‍රගති සමාලෝචනයක් කරලා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ඒ දුවා දරුවන් වෙනුවෙන් ඔන්ලයින් පාඨමාලා ක්‍රියාත්මක කිරීමේදී ඇතිවී තිබෙන බරපතළ විෂමතා ගැන ආණ්ඩුවේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. 
 
රූපවාහිනිය ඇතුළු විද්්‍යුත් මාධ්‍ය යොදා ගනිමින් වැඩිහිටියන් සහ දූදරුවන් සියලු දෙනාගේ සංස්කෘතික ජීවිතය පෝෂණය කෙරෙන වාර්තා වැඩසටහන්, කලා සාහිත්‍ය වැඩසටහන් විකාශනය කිරීම අත්‍යවශ්‍යයි. වැඩිහිටියන් සහ දරුවන් නිවෙස් තුළ ඒකරාශී වී සිටින මේ මොහොතේ වැඩිහිටියන්ගෙන් සංස්කෘතිය පවරා දෙන්නත් දරුවන් සංස්කෘතිය පවරා ගන්නත් යොමු කරන්න පුළුවන්. ඒ තුළින් දරුවන්ගේ මානුෂික ලෝකය පෝෂණය කරන තත්වයන් නිවස තුළම ඇතිකර ගැනීමත් අවශ්‍යයි. ඒ වගේම මේ වසංගතය මර්දනය කිරීමට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ඇතුළුව අනෙකුත් ක්‍ෂෙත්‍ර ගණනාවක කටයුතු කරන රජයේ නිලධාරීන් විශාල කැපකිරීමක් කරනවා. ඔවුන් වැඩි අවදානමක් අරගනිමින් කටයුතු කරන නිසා මහජනතාවටත් ඔවුන් සමග කටයුතු කිරීමේදී වගකීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ජනතාව පොදුවේ කැපකිරීම් කරන අතර කණගාටුවෙන් වුණත් ආණ්ඩුව ඒ වෙනුවෙන් ප්‍රමුඛතාවයක් දී තිබෙනවාද කියන ප්‍රශ්නය අහන්න සිදුවෙනවා. බොහෝ රටවල් ප්‍රමුඛ අවධානය යොමුකර තිබෙන්නේ මේ උවදුරින් ගැලවීමට. නමුත් අපේ ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානය ඊට යොමු වී තිබෙනවාද කියන එක සැක සහිතයි. ඒ නිසා ජන නියමු කලාකරුවෝ හැටියට ඒ ගැන අවධානය යොමු කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. 
Hiniduma Sunil Senevi 1
 
ඊළඟට රත්තරං බවට පත්වෙන්නේ දත්ත කියලා විශ්වාසයක් තියෙනවා - ජන නියමු කලාකරුවෝ සංවිධානයේ උපදේශක මණ්ඩල සාමාජික, 
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි
 
වර්තමාන තත්වය කලමනාකරණය කිරීමේදී ආණ්ඩුව දක්වන අවංකභාවය අපිට දැනෙන ආකාරයෙන් ප්‍රහ්න කිරීම මේ මොහොතේදී අවශ්‍යයි. ජන නියමු කලාකරුවෝ හැටියට අපි මේ මොහොතේදී රටේ සමස්ත සංස්කෘතික ජීවිතය පිළිබඳව ප්‍රගතිශීලී අදහස් දැක්වීමක් තිබෙනවා. මේ වෙනකොට අපේ සමාජයේ සංස්කෘතික ජීවිතය බරපතළ විදිහට සංකෝචනය වෙමින් තිබෙනවා. අධ්‍යාපනයේ ප්‍රබුද්ධත්වය දිනපතා බිඳ වැටෙනවා. අපේ රටේ අභිමානයෙන් සිහිපත් කරන වැකි දෙකක් තිබෙනවා. ඒ තමයි, නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය. කොවිඞ් වසංගයට මේ මොහොතෙත් මුහුණ දෙන ශක්තියෙන් 90%කට වැඩි ප්‍රමාණයක් ගොනු වෙලා තියෙන්නේ මේ ක්‍ෂෙත්‍ර දෙක තුළට. නමුත් ඒ තත්වයත් බිඳ වැටෙමින් තිබෙනවා. නමුත් අධ්‍යාපනයට වෙන් කෙරෙන ප්‍රතිපාදන කපා හැරෙන නරක තැනකට යොමු වෙලා. ඒ වගේම කොවිඞ් වසංගයෙන් බිඳ වැටෙන සෞඛ්‍ය තත්වය සාමාන්‍යයක් බවට පිළිගන්නා ලෙස මාධ්‍ය මගින් බලකෙරෙමින් තිබෙනවා. 
 
මිනිස්සුන්ගේ මානසිකත්වය විඩාවෙන් ඒකාකාරිත්වයට පත්වුණාම පවත්වාගත යුතු සමබරතාවය අහිමි වෙනවා. ඒ ගැන ජනමාධ්‍ය බලන්නේම නැහැ කියන්න පුළුවන්. රජය හැරිලවත් බලන්නේ නැහැ. මෙවැනි වකවානුවක සිනමාව, සංගීතය, වෙනත් කලා මාධ්‍යයන් වගේම මේ වැනි වකවානුවක ක්‍ෂුද්‍ර සංගීතයට සවස් දෙන්න පුළුවන් නම් එය අතිශය අගනා දෙයක්. ආණ්ඩුව මේ ගැන හිතලවත් නැති බව පැහැදිලියි. මේ වගේ වැඩපිළිවෙළක් කොහෙවත් පෙනෙන්න නැහැ. ඒත් අපි දිනපතාම ජනමාධ්‍ය අමාත්‍යාංශයක් සහ සංස්කෘතික අමාත්‍යාංශයකට බදු ගෙවන ජාතියක්. කොරෝනා පිළිබඳ අවධානය මාධ්‍යවල තිබෙන බව පෙන්වන්නේ කොරෝනා රෝගීන්ගේ දත්ත ඉදිරිපත් කරමින්. ඇතැම් මාධ්‍ය මේ රෝගීන් අපරාධකරුවන් හැටියට වාර්තා කරන බව පේනවා. වුවමනාවෙන් වසා දමමින් ඉන්න ක්‍ෂේත්‍ර කිහිපයක්ම තිබෙනවා. ඔබ පුදුමයට පත්වෙන තරම් අධ්‍යාපනයේ සම අවස්ථාව දැන් ගිලිහෙමින් තිබෙනවා. මේ වෙනකොට අධ්‍යාපනය ලබාදෙන සියලුම ක්‍ෂේත්‍රවලින් අධ්‍යාපනය මිලදී ගැනීමේ ඉහළම හැකියාව තිබෙන අයට විතරක් අවස්ථාව හිමිවෙලා තියෙනවා.  අනික් සියලු දෙනා හැළෙමින් යනවා. 
 
කාල් මාක්ස් කියන දේශපාලන ආර්ථික විද්‍යාඥයාගේ පංති සමාජය නැවත වටයකින් අලුත් වෙනවා. අද වෙනකොට මේ පංති දෙක දත්තවලට පිවිසීමට හැකියාව තියෙන සහ නැති තත්වය පදනම් කරගෙන ප්‍රතිනිර්මාණය වී තිබෙනවා. ඊළඟට රත්තරං බවට පත්වෙන්නේ දත්ත කියලා විශ්වාසයක් තියෙනවා. දැන් අපි ඊට මුහුණ දීලා ඉවරයි. අලුත් පංතිය හැදිලා තියෙන්නේ ඒ පිවිසීමේ හැකියාව තියෙන සහ නැති කියන බෙදුම් රේඛාවෙන්. රජය මේ බව දන්නවා. මේ පරතරයට අධ්‍යාපනය ඉතා වේගයෙන් බෙදෙමින් තිබෙනවා. ඔන්ලයින් අධ්‍යාපනය සමව ලබාදෙන්න නිසි වැඩපිළිවෙළක් නැහැ. කොරෝනා පළවැනි රැල්ල වෙලාවේ ඊට වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කළා. නමුත් දෙවැනි රැල්ල එන විටම ඊට ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැහැ. පැරණි සාහිත්‍යය සහ නවින සාහිත්‍යය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ අදහසක් ජාතික අධ්‍යාපන ආයතනය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නැහැ. මේ නිසා අධ්‍යාපනය සම්බන්ධයෙන් තිබෙන බෙදීම අතිවිශාලයි. 
 
සරසවිවල කලා උළෙලවල් ඇතුළු සංස්කෘතික වැඩපිළිවෙළවල් එහෙම පිටින්ම නැති වෙලා. මේ කාරණයට රජය කැමති වෙන්න ඉඩ තිබෙනවා. මොකද ඔවුන් සරසවි ශිෂ්‍යයන් කරදරකාරයන් හැටියටයි සලකන්නේ. ශිෂ්‍යයන් අකැමැත්තෙන් ඇදලා දාපු යථාර්ථයන් නිසා අරගලකරුවන් බවට පත්වුණා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සත්‍යය අරමුණු ගොනුකරගත් ශිෂ්‍ය සංවිධාන ඉටුකරමින් සිටි කාර්යභාරය කොයි වගේද කියලා ඉදිරියේදී දැනේවි. ලකුණු 200 ගත්ත ශිෂ්‍යත්වය දරුවන් හඹාගෙන ගිහිල්ලා වැඩසටහන් කරන ජනමාධ්‍යවලට ශිෂ්‍යත්වයට අයදුම් කරලා ලියන්න බැරි වුණු පන්දහස් ගණනක් ගැන කිසිම මාධ්‍යයකින් කතා කළේ නැහැ. ඒ පීඩිත දෙමාපියන්ට සහ දුක්බර දරුවාට මයික්‍රෆෝනයක් ඇල්ලුවේ කොයි මාධ්‍යයෙන්ද? කොරොනා සමයේ ඒ වගේ කටහඬක් නැතිව යට යන දුක්බර ප්‍රශ්න කොච්චර තිබෙන්න පුළුවන්ද? මනමේ සිංහබාහු ඇතුළු ශ්‍රේෂ්ඨ නාට්‍යවලට දීර්ඝ කාලයක් මද්දල වාදනයෙන් දායක වුණු කලාකරුවෙකු මුහුණුපොතේ දමා තිබූ පෝස්ටුවකින් මේ අදහස් දැක්වීම අවසන් කරන්නම්. 
 
බලපිටිය අම්පේ නන්ද ගුණසිංහ මහත්මා සහ ඔහුගේ සහෝදරයා ජීවත් වීමේ ගැටලුවකට පත්වී ඉන්න බව විස්තර සහිතව දාලා තිබුණා. ඒ වගේ ජාතික සම්පත් තමයි රක්‍ෂණය කරන්න ඕනෑ. ඒ මද්දල වාදනයේ තිබෙන දුර්ලභ දෑතට සමාජ ආරක්‍ෂණයක් තියෙන්න ඕනෑ. මේ තත්වය සිනමාවට සම්බන්ධ ජ්‍යෙෂ්ඨතම ශිල්පියෙක්ද මට කිවුවා. ජාත්‍යන්තර කීර්තියට පත් කෙනෙක් ඔහු. දෙමාපියන්ගේ බෙහෙත් වියදම දරාගන්න බැරි මට්ටමට ඔහු පත්වෙලා. දරුවෝ දෙන්නගේ අධ්‍යාපන වියදම් දරාගන්න, දත්තවලට වියදම් කරන්න බැරිවෙලා. ඉතින් ඒ නිසා මේ ගැන අවධානය යොමු කරමින් අපේ සංවිධානය තුළ ඉන්න ප්‍රබලම කලාකරුවන් ඉදිරිපත් කරන යෝජනා පදනම් කරගෙන ගැන පොදු වැඩපිළිවෙළක් හදන්න කියලා ඉල්ලා සිටිනවා. අප සතුව විවිධ හැකියාවන් තිබෙනවා. ඒ සියල්ල අපි පොදු යහපත වෙනුවෙන් ලබාදෙන්න සූදානම්. කරුණාකරලා අපගේ සහයෝගය පොදු වැඩපිළිවෙළකට ලබා ගන්න. කලාකරුවන්ගේ සංස්කෘතික ප්‍රඥාව විකුණන්න අපි ලැහැස්ති නැහැ. ඒකට මිලක් තියෙන්න බැහැ. හැබැයි ජන නියමු කලාකරුවෝ හැටියට පොදු යහපත වෙනුවෙන් ඒ සියල්ල කැප කරන්න අපි සූදානම්.