මාතර හඳුන් 2021 අයවැය කුඩු කරයි !

මාතර හඳුන් 2021 අයවැය කුඩු කරයි !
"සිල්ලර බඩු කඩයක් වගේ ආර්ථිකයක් වහලා දාන්න බෑ" කියමින් 2021 අයවැය සම්බන්ධව බරපතළ විවේචනයක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සිදුකර සිටියි.
 
ඒ "2021 අයවැය ප්‍රබන්ධය සහ යථාර්ථය" මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කර ඇති සම්මන්ත්‍රණ මාලාවේ  මාතර සණස ශාලාවේ පැවති සම්මන්ත්‍රණය අමතමින්ය.
 
එහිදී ඔහු වැඩිදුරටත් සිදුකළ අදහස් දැක්වීම මෙසේය.
 
අයවැය සාකච්ඡාව තියෙන්නේ පාර්ලිමේන්තුවේ. සජීවීව ඒ විවාදය රූපවාහිනියේ යනවා. හැබැයි ඒ විවාදවල දකින්නේ මේ කතා කරන දේවල්ද? තමන්ගේ ආණ්ඩුව ගෙනාපු අයවැය හොඳයි කියන අතර පරණ කට්ටිය ඒ අය ගෙනාපු ඒවා හොඳයි කියනවා. නමුත් මේ අයවැය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වෙන්නේ මේ රටේ සමස්ත ජනතාව. අයවැයෙන් සහන ලැබෙනවා නම් ඒ සහන ජනතාවට ලැබෙන්න ඕනෑ. හැබැයි අයවැයේ පීඩනයත් ලැබෙන්නේ ජනතාවට. මේ නිසා පාර්ලිමේන්තුවේ විවාදය ජනතාවට අදාළ නැහැ. අයවැය යෝජනාවලදී රජයේ සේවකයා වෙනුවෙන්, විශ්‍රාමිකයා වෙනුවෙන්, සමෘද්ධිලාභීන් වෙනුවෙන් සහන දීමක් ගැන සඳහනක් නැහැ. හැබැයි මේ ආණ්ඩුවට 2/3 බලයක් දීපු ජනතාව පවා දන්න දෙයක් තියෙනවා. ඒ තමයි, නව ලිබරල්වාදී සමාජ ආර්ථික ප්‍රතිපත්ති අනුව තව දුරටත් ඉදිරියට යන්න බැහැ කියන එක. ඒ නිසා ආණ්ඩුවට ඡන්දය දීපු අයටවත් අයවැය විවාදය ගැන විශ්වාසයක් නැහැ. 
 
අපේ උත්සාහය බොරුව හෙළිදරව් කිරීම !
 
අපේ මේ උත්සාහය ආණ්ඩුව තමන් බලයට ගෙන ආ ජනතාවට බොරු කරනවා නම් ඒ බොරුව ජනතාවට හෙළිදරව් කිරීමයි. ඒක ජනතාවාදී දේශපාලන ව්‍යාපාරයක වගකීමක්. මොන තරම් අභියෝගකාරී වුණත්, කොරෝනා වසංගතයෙන් ඈත් කර තැබූවත් අපි මේ උත්සාහ කරන්නේ පවතින සත්‍යය ජනතාව අතරට ගෙනයන්න. මේ අයවැයට පිටින් සමාජයේ කතිකා ගණනාවක් තිබෙනවා. රට ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියලා ජනතාවට පැහැදිලි නැහැ. ජීවන මාර්ග කඩා වැටිලා. ව්‍යාපාර ඉස්සරහට ගෙනියන්න බැහැ. ධීවර කර්මාන්තයත් අර්බුදයට ගියා. විදේශ රැකියා, සංචාරක කර්මාන්තය සහමුලින්ම කඩා වැටිලා. ණය ගත්ත අයට ණය ගෙවාගන්න බැරි වෙලා. වැටුප් ලබන අයට වැටුප ප්‍රමාණවත් නැහැ. හැමෝම අසරණභාවට පත්වෙලා. වනජීවී ඇමති කැලෑ ටික ඉවර කරන්න වැඩ කරනවා. වෙළඳ ඇමති සනීපාරක්‍ෂක තුවාවලට බදු ගහනවා. නීතිය නවලා අධිකරණය අතට අරගෙන තිබෙනවා. බොරු වාර්තා නිසා කොවිඞ් වසංගතය පැතිරිලා තියෙනවා. මුළු සමාජයම ව්‍යාකූලත්වයට පත්වෙලා. 
 
අයවැය හරහා මේ රට මුහුණ දී තිබෙන දැවැන්ත ආර්ථික ගැටලු පිළිබඳව ඔබත් සමග සාකච්ඡා කරන්න කරුණු ගණනාවක් තිබෙනවා. 2020ට සහ 2021ට අයවැය දෙකක් එකවර ඉදිරිපත් කළා. 2020 අයවැය ඔක්තෝබර් 12ත් 2021 අයවැය 17වැනිදාත් ඉදිරිපත් කළා. අයවැයක් ඉදිරිපත් කරන්නේ ඉදිරි වර්ෂය සඳහා ආණ්ඩුවේ ආදායම් සහ වියදම් පිළිබඳව ඇස්තමේන්තු ලේඛනයක් හැටියට. 2020ට අයවැයක් වෙනුවට වියදම් කරලා ඉවර වෙලා ආවරණ අනුමැතියක් ගත්තා. රටක අයවැය එහෙම කරන්න බැහැ. ව්‍යවස්ථා විරෝධීයි. ඉදිරි වර්ෂයේ රජයේ ආදායම, වියදම සහ ණය ගැනීම් පිළිබඳව විසර්ජන පනතක් ඉදිරිපත් කර අනුමත කරගන්න ඕනෑ. පනතක් සම්මත කරගෙන නීතියක් බවට පත්කර ගන්නවා. ඒ තමයි රටේ මුදල් නීතිය. අයවැය විවාදයේදී පැරදුනොත් ඒ ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕනෑ කියලා මතයක් තියෙන්නේ ඒකයි. 
 
අතුරු සම්මත ගිණුම් හතරක් ඉදිරිපත් කළා කියා අගමැති කිව්වාට සම්මත වෙලා තියෙන්නේ දෙකයි !
 
මේ අයවැය ඉදිරිපත් කරද්දී මුදල් ඇමතිවරයා හැටියට අගමැතිවරයා කීවේ අතුරු සම්මත ගිණුම් හතරක් ඉදිරිපත් කළා කියලා. නමුත් සම්මත වෙලා තියෙන්නේ අතුරු සම්මත ගිණුම් දෙකයි. මැයි මාසේ පළමුවැනිදා ඉඳලා සැප්තැම්බර් 30 දක්වා මුදල් වියදම් කළ ක්‍රමය ගැන ගැටලුවක් තියෙනවා. මේ ජනාධිපතිවරයා මේ කාලය තුළ බිලින 600කට වැඩි ප්‍රමාණයක් ණය අරගෙන තියෙනවා. අද පාර්ලිමේන්තුවේ රජයේ ආදායම, රජයේ වියදම ගැන හරියට කියන්නේ නැහැ. ඒ වගේම රටේ ආර්ථිකය සම්බන්ධ ඇත්ත දත්ත ඉදිරිපත් කරන්නෙත් නැහැ. මේ තරම් රටේ ජනතාව නොමඟ යවලා කරන බොරුවට වන්දි ගෙවන්න වෙන්නේ අපේ රටේ ජනතාවට. මහ බැංකුව ඉදිරිපත් කරන මෑත කාලීන ආර්ථික ප්‍රවණතා කියන පොතේ අමතර තොරතුරු රැසක් සඳහන් වෙනවා. මහ බැංකු වාර්ෂික වාර්තාවට අමතර තොරතුරු ඒ වාර්තාවේ සඳහන් වෙනවා. 
 
මේ අවුරුද්දේ අගෝස්තු මාසය දක්වා සංඛ්‍යාලේඛන අනුව මුල් මාස තුනේ ආර්ථික වර්ධන වේගය -1.6ක්. අවුරුද්දකට දත්ත රැස් කරන්නේ කාර්තු ක්‍රමයට. නමුත් මෑත කාලීන ආර්ථික ප්‍රවණතා අනුව පවතින තත්වය එළියට ආවේ අගෝස්තු මාසේ 04වැනිදා රෑ. ඡන්දය තිබුණේ 05වැනිදා. ඊට කලින් තොරතුරු එළියට ආවේ නැහැ. මැතිවරණයෙන් අවාසි වෙයි කියලා පරක්කු කළා. රටක වාර්ෂික වර්ධන වේගය කාර්තු දෙකක් සෘණ මට්ටමට පත් වුණොත් එය ආර්ථික අවපාතයක් ලෙස හඳුන්වනවා. අපේ මහ බැංකුව කාර්තුවක් අවසන් වී දින 75ක් ඇතුළත දත්ත මහජනතාවට දෙන්න ඕනෑ. එහෙම නම් දෙවැනි කාර්තුවේ තොරතුරු සැප්තැම්බර් 15ට පෙර දෙන්න ඕනෑ. හැබැයි දෙවැනි කාර්තුවේ ආර්ථික වේගය තවම නිකුත් කර නැහැ. නමුත් සෘණ ආර්ථිකය ධන වෙනවා කියලා ඇත්ත තොරතුරු රටට හැංඟුවාට වැඩක් නැහැ. යථාර්ථය පිළිගන්න ඕනෑ. ඇත්ත තොරතුරු රට හමුවේ කියන්න ඕනෑ. ආණ්ඩුව නොකීවත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන, ණය ශ්‍රේණිගතකිරීම් ආයතන ගණන් හදනවා. ආර්ථිකය අවපාතයක නම් තියෙන්නේ ඒ තියෙන අර්බුදයේ ඇත්ත තත්වය පිළිගන්න ඕනෑ. 
 
ආණ්ඩුව හංගන දේ මෙන්න !
 
ආණ්ඩුව හංඟන තත්වය මම ඔබට කියන්නම්. සමස්ත නිරීක්‍ෂණය යටතේ මහ බැංකු වාර්තාවේ ඒ බව සඳහන් වෙනවා. “ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් දළ දේශීය නිෂ්පාදිතයේ දෙවන කාර්තුවේ ඇස්තමේන්තුව නිකුත් කිරීම පමා කර ඇත.” ඔවුන් කියන්නේ ආර්ථිකයට වසංගතයෙන් ඇතිවූ අවහිරතා නිසා සහ මේ වසර තුළදී ආර්ථිකයට අලුතින් එකතු වූ ක්‍රියාකාරකම් නිසා දත්ත නිකුත් නොකරන බවයි. හරිනම් අර්බුදකාරී වෙලාවක තමයි කාර්යක්‍ෂම ලෙස වැඩ කරන්න ඕනෑ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවත්, මහ බැංකුවත් අර්බුදකාරී වෙලාවක රජයට නිවැරදි දත්ත සපයන්න ඕනෑ. ආණ්ඩුව හැංඟුවාට ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අය තොරතුරු හදනවා. නමුත් ආණ්ඩුව අර්බුදයේ තරම ජනතාවට වසං කරනවා. මේ වසං කරන තොරතුරු ආර්ථික වර්ධන වේගය, ණය අර්බුදය, ආණ්ඩුවේ ආදායම් අඩුවීම වගේ දත්ත මගින් පැහැදිලි වෙනවා.  
 
අපේ රටේ ඩොලර් බිලියන 80ක තරමේ පුංචි ආර්ථිකයක් තියෙන්නේ. මේකෙන් පොඞ්ඩක් හෙල්ලුනත් අපිට දැනෙන ප්‍රමාණය වැඩියි. 2020 මුල් කාර්තුවේ -1.6කින් අඩුවෙලා තියෙනවා. ඉන් පස්සේ මාර්තු මාසයේ කොවිඞ් වසංගතයේ ආරම්භය සිද්ධ වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඉදිකිරීම් ක්‍ෂේත්‍රය නතර වෙලා. කර්මාන්ත ක්‍ෂෙත්‍රය අඩපණ වෙලා. ඩොලර් බිලියන 07ක් විතර ලැබෙන විදේශ රැකියා ආදායමෙන් මේ අවුරුද්දේ ලැබෙන ප්‍රමාණයවත් ලබන අවුරුද්දේ ලැබෙන්නේ නැහැ. සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ඩොලර් බිලියන 04ක් විතර නතර වෙලා. රටේ ආදායම් උපද්දපු බොහොම තැන් නතර වෙලා. අපි ගත්තොත් පළවැනි කාර්තුවෙත් කෘෂිකර්මාන්තය -5.6ක් වෙලා. කර්මාන්ත ක්‍ෂේත්‍රය -7.8ක් වෙලා. සේවා ක්‍ෂේත්‍රය විතරක් 3.1ක වර්ධනයක් තියෙනවා. ආර්ථිකයට අදාළ කෘෂිකර්මාන්ත, කර්මාන්ත, සේවා අංශවල තත්වය පැහැදිලියි. කෘෂිකර්මාන්තයේ එක් එක් ක්‍ෂේත්‍ර කඩාවැටී ඇති ප්‍රමාණය ජනතාවට දැනෙනවා. කෘෂිකාර්මික අපනයන සියල්ලම වගේ පහත වැටිලා. ආණ්ඩුව හිංගන්නාගේ තුවාලය වගේ හැම දේකටම කොරෝනා වසංගතය උත්තරයක් කරගෙන. සල්ලිවලටවත් පොහොර ටික දෙන්න බැරිවුණු ආණ්ඩුව පොහොර නොමිලේ දෙනවා කියලයි කිවුවේ. කොරෝනා පිට දාලා හැම දේකින්ම ආණ්ඩුව මඟහැර යනවා. 
 
සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරන්නේ ආර්ථිකය කඩාගෙන වැටිලා කියලා !
 
ආනයන සීමා කිරීම්වල ප්‍රතිඵලයක් හැටියට විදේශ වෙළඳාමේ ආනයන වියදම් අඩුවෙලා තියෙනවා. අපනයන ආදායමත් අඩුවෙලා. දේශීය ඉතිරි කිරීම් ප්‍රමාණයත් අඩුවෙලා. මේ සංඛ්‍යාලේඛනවලින් කියන්නේ ආර්ථිකය කඩාගෙන වැටිලා තියෙන බවයි. හැබැයි ආණ්ඩුව අයවැයේදී කියන්නේ ලබන අවුරුද්දේ 6%ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වෙන බව. 2019 අවුරුද්දෙදිත් 2.3%යි. මේ අවුරුද්දේ මුල් කාර්තුවේ සෘණ ආර්ථිකයක්. ලබන අවුරුද්දේ 6% වර්ධන ඉලක්කය කියන්න යථාර්ථවාදීව පුළුවන්ද? වියදම් සම්බන්ධයෙන් වගේම ආණ්ඩුවේ ආදායම් සම්බන්ධයෙන් තියෙන්නේ බරපතළ අර්බුදයක්. ආදායමයි, වියදමයි අතර පරතරය එන්න එන්න වැඩිවෙනවා. 2020 අගෝස්තු මාසය වෙනකං ආදායම රු. බිලියන 906යි. හැබැයි අයවැයේදී බිලියන 1588ක් බලාපොරොත්තු වෙනවා. ඕනෑම අයවැයක ඉලක්ක කරන ආදායම ඒ විදිහටම ලැබෙන්නේ නැහැ. හැබැයි ඉලක්ක යථාර්ථවාදී වෙන්න ඕනෑ. එහෙම නොවුණොත් වියදම සහ ආදායම් අතර පරතරය තවත් වැඩිවෙනවා. පළවැනි මාස 08 ඇතුළේ ලබාගෙන තිබෙන ආදායම අනුව හිතුවොත් මාසයකට බිලියන 113ක ආදායමක් ගන්නවා. ඒ අනුව 2020 අවුරුද්දේ ගන්න පුළුවන් ආදායම බිලියන 1360යි. මේ සංඛ්‍යාලේඛන අනුව වියදම පියවා ගන්න නම් තව රුපියල් බිලියන 22,8ක අමතර අයවැය බරක් එකතු වෙනවා. මේ අනුව  අයවැය පරතරය 10% ඉක්මවනවා. 
 
රටේ නිෂ්පාදනය වැඩි නොවී තිබියදී තව බදු වැඩි කරමින් ජනතාව මත බර පටවනවා. නමුත් නිෂ්පාදනය වැඩි කර ගනිමින් බදු ආදායම වැඩි කර ගන්නවා නම් ජනතාවට බර වැඩි වෙන්නේ නැහැ. ජනතාවගේ ආදායමත් වැඩි වෙනවා. එතකොට ආර්ථික සංසරණ වේගය වැඩි වෙනවා. එහෙම වුණාම ව්‍යාපාරවල ආදායම වැඩි වෙලා බදු ගෙවන එක බරක් වෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ නිෂ්පාදනය අඩු වී මිනිස්සුන්ගේ ආදායම් හැකිළෙන කොට ආණ්ඩුව ආදායම් ඉලක්ක හඹාගෙන යනවා. 2021දී රුපියල් බිලියන 2029ක ආදායමක් බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ ඉලක්කයට යන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ. බදු ආදායම් වැඩිකර ගන්න තියෙන ඉඩකඩත් අඩුයි. හැබැයි විදේශ වෙළඳාම මත බදු ආදායම් වැඩි කර ගන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙම ප්‍රායෝගික නොවන අයවැයක් ඉදිරිපත් කර තියෙන්නේ. ආණ්ඩුව රැකියා කරන අයගෙන් අදාළ ආයතනවලින් වැටුපෙන්ම අඩු කරගන්න බදු ක්‍රමයක් හඳුන්වා දෙන්න යනවා. හැම දෙනාම බදු දැලට එකතු කර ගන්න ක්‍රම ඇතුළත් කර තියෙනවා. එහෙත් ජනතාව අතරට අලුතින් ආදායම එන්නේ නැහැ. බදු දැලෙන් මිනිස්සුන්ගේ බෙල්ල මිරිකන එක ආණ්ඩුවේ සැලැස්ම. 
 
ආණ්ඩුවට දිගුකාලීන සැලසුමක් නෑ !
 
විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් එක්ක පාරිභෝජනවාදී සමාජයට ආනයන මත පදනම් වෙන්න සිද්ධ වුණා. මේ නිසා ආනයන අපනයන පරතරය දෙගුණයක් විතර වෙනවා. සෞභාග්‍යයේ දැක්ම තුළ අපනයන වර්ධනය කරන බව කියනවා. නමුත් ඒක සුරංගනා කතාවක් විතරයි. තෙල් ටික, පොහොර ටික, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික ආනයනය කරන්න විතරක් ඩොලර් බිලියන 08ක් ඕනෑ. අපිට ඩොලර් අච්චු ගහන්න බැහැ. ඒ නිසා අත්‍යාවශ්‍ය ආනයනවලට ගෙවන්න විදේශ වත්කම් සංචිතයෙන් ගන්න වෙනවා. නැත්නම් විදේශයන්ගෙන් ඩොලර් ණය ගන්න වෙනවා. මේ ආණ්ඩුව අපනයන මත ආදායම් වැඩි කර ගන්නවා කීවාට මේ අවුරුද්දේ අගෝස්තු දක්වා අපනයන ආදායම ඩොලර් මිලියන 1584කින්  අඩුවුණා. ආනයනවලදී වියදම අඩුවී ඇති බවක් පේනවා. නමුත් හැමදාම ආනයන සීමා කරගෙන ඉන්න බැහැ. රට තුළ රැකියා වෙළඳපොළට බලපෑම් ඇති වෙනවා. ඒ වගේම නිෂ්පාදනයටත් බලපානවා. දිගුකාලීන සැලසුම් ආණ්ඩුවට නැහැ. ආර්ථිකයක් කියන්නේ සිල්ලර බඩු කඩයක් වගේ වහලා දාන්න පුළුවන් එකක් නොවෙයි. ආර්ථිකයක ප්‍රතිපත්ති ක්‍රමානුකූලව තීරණය කරන්න ඕනෑ. එහෙම නොකරන එකේ ප්‍රතිවිපාක භුක්ති විඳින්න වෙන්නේ අදට වඩා හෙට. අපනයන ආදායම වගේ දෙගුණයකට ආසන්න ආනයන වියදමක් පියවා ගන්නා ප්‍රායෝගික සැලසුමක් ආණ්ඩුවට නැහැ. 
 
ණය අර්බුදයත් අයවැය තුළ හංගලා !
 
මේ අයවැයෙන් හංගපු බරපතළ අර්බුදයක් තියෙනවා. ඒ තමයි ණය අර්බුදය. 2013 වෙනකොට මුළු රාජ්‍ය ණය පංගුව බිලියන 6,889යි. 2019දී බිලියන 13,031යි. ගෙවී ගිය මාස 07ට 1221ක් තවත් ණය අරගෙන තියෙනවා. මේ විදිහට ගියොත් 2021 ඉවර වෙනකොට බිලියන 16,613ක් දක්වා වර්ධනය වෙනවා. මේක බරපතළ තත්වයක්. රාජ්‍ය බැංකුවලින් වැඩියෙන්ම ණය අරගෙන තියෙන්නේ ආණ්ඩුව. බැංකු පොලී අනුපාත අඩු කරන්නේ මේ නිසයි. රටේ සමස්ත ආදායමට වඩා වැඩි ණය වාරික සහ පොලියක් ගෙවන්න සිද්ධ වෙලා. සැප්තැම්බර් 31 වෙනකොට විදේශ සංචිතය ඩොලර් මිලියන 6,500යි. ඔක්තෝබර් මාසේ විදේශ සංචිතය කියන්නේ නැහැ. ඩොලර් මිලියන 1,000ක ස්වෛරී බැඳුම්කර ණයක් ගෙවන්න වුණා. ඒ නිසා විදේශ සංචිතය අඩුවුණා. හැබැයි අයවැය කතාවේදී “විදේශ ණය වාරිකය හරියට ගෙව්වා”කියලා පම්පෝරි ගහනවා. මහ බැංකුව සල්ලි අච්චු ගහලා ආණ්ඩුවේ ණය ගෙවන්න යොදවා ගත්තා. අමතරව අච්චු ගහපු සල්ලි අද බැංකුවල තියෙනවා. මිනිස්සුන්ගේ පස්සෙන් ගිහින් ණය දෙන්න බැංකු උත්සාහ කරනවා. නමුත් ණය ගන්න කෙනෙක් නැහැ. ආර්ථික අර්බුදය කියන්නේ ඒකට. අද ජනතාවට අවශ්‍ය භාණ්ඩ ටිකක් පස්සේ සල්ලි ගොඩක් අරගෙන හඹාගෙන යන තත්වයට පත්වෙලා. බඩුමිල වැඩි වීමට මේක බලපානවා. 
 
ණය අර්බුදය රටේ පොලී අනුපාතයට බලපානවා. උද්ධමනයට බලපානවා. බැංකු පද්ධතියේ පැවැත්මට බලපානවා. සමස්ත මූල්‍ය ක්‍රියාවලියටම බලපානවා. 2020 අපේක්‍ෂිත ණය ප්‍රමාණය බිලියන 3163ක්. 2021දී බිලියන 1997ක් අපේක්‍ෂා කරනවා. මේ අවුරුදු දෙකට බිලියන 5160ක්. ආනයන අපනයන අතර පරතරය මිලියන 7,000ක් විතර වෙනවා. ණය සහ විදේශ වෙළඳාමේ පාඩුව එක පිට එක ඇවිත් ආර්ථික අර්බුදයට බලපානවා. විදේශ ණය ගෙවන්න ඩොලර් ඕනෑ වෙනවා. රුපියල් බිලියන 1854ක ණය වාරික සහ පොලියක් මේ අවුරුද්දට ගෙව්වා. හැබැයි මුළු අවුරුද්දටම ආදායම රුපියල් බිලියන 1588යි. ආදායමට වඩා ණය වාරිකය සහ පොලිය ගෙවන්න රුපියල් බිලියන 266ක් වියදම් වෙලා. අයවැයෙන් කතා කරන නගර විශ්වවිද්‍යාල ඉදිකිරීම ඇතුළු සංවර්ධන වැඩවලට අමුතුවෙන් වෙනම ණය ගන්න වෙනවා. ඒ වගේම 2025 දක්වා ස්වෛරිත්ව බැඳුම්කර කල් පිරීම නිසා ඒ වෙනුවෙන් විතරක් ගෙවන්න ඩොලර් මිලියන 15,000ක අමතර මුදලක් ඕනෑ. විදේශයන්ගෙන් ලබාගෙන තිබෙන අනෙකුත් ණය වාරික වෙනුවෙන් වෙනම ණය ගෙවන්න තියෙනවා. 
 
ප්‍රශ්නයේ බරපතළකම තියෙන්නේ ඒතැන. ආණ්ඩුවේ අයවැයෙන් මේකට උත්තර නැහැ. 
ආණ්ඩුව කරන්න ලැහැස්ති වෙන්නේ රටේ සම්පත් විකිණීමයි. ආර්ථික මර්මස්ථාන හඳුනාගනිමින් තියෙන්නේ, වටිනාම ඉඩම් ටික ලැයිස්තුගත කරමින් ඉන්නේ මේ ණයවලට හිලව් කරන්න. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් තව තවත් පහළ වැටීම නිසා ණය ගැනීමේ හැකියාවත් නැති වෙලා. වරාය විකුණන්න උත්සාහ කරන්නෙත් මේ නිසා. කොළඹ විශ්වවිද්‍යාලයේ භූමිය, ටෙක්නිකල් හන්දියේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් ටික, මැනිං මාකට් එක තිබුණු තැන ආදී වශයෙන් කොළඹ නගරයේ මර්මස්ථාන ලැයිස්තුගත කරනවා. ලෝකය මේ වෙනකොටත් අපේ රට කඩා වැටෙමින් තිබෙන ආර්ථිකයක් හැටියට හඳුනාගෙන ඉවරයි. තව ටිකක් ඉස්සරහට ගියොත් බංකොළොත් රටක් වෙනවා. මේ තැනට රට වට්ටලා ඉවරයි. එක ආණ්ඩුවක් විතරක් නෙවෙයි, මේ පෙන්නලා තියෙන්නේ අවුරුදු 72ක් තිස්සේ රට ගෙනගිය ධනපති ක්‍රමයේ අසාර්ථකත්වයයි.  
 
රුපියල් බිලියන 1කින් කොහොමද විශ්ව විද්‍යාල 4ක් හදන්නේ ?
 
රාජ්‍ය බැංකු ටික භාණ්ඩාගාරයේ  ඇප මත විශාල ණය මුදලක් දී තිබෙනවා. මහජන බැංකුව කෝටි 27,300ක්, ලංකා බැංකුව කෝටි 38,100ක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව කෝටි 13,400ක් රාජ්‍ය බැංකුවලට ණය දීලා තියෙනවා. ඒ ජනතාවගේ සල්ලි. ඒ වගේම ජනතාව වෙනුවෙන් කියලා ආණ්ඩුව ලෝකයෙනුත් ණය ගන්නවා. ඒ ණය ගෙවාගන්න බැරිව නැවත ජනතාව පිටම පටවනවා. සෞභාග්‍යයේ දැක්ම මත පදනම් වූ අයවැයක් බව කීවාට මේ ප්‍රශ්නවලට කිසිම විසඳුමක් නැහැ. විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන අය වෙනුවෙන් නූතන ලෝකයේ රැකියා අවස්ථා නිර්මාණය කරන බව ආණ්ඩුව කියනවා. ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල 04ක් ඉදි කරන්න වෙන් කරලා තියෙන්නේ රුපියල් බිලියන 01යි. හැබැයි පසුගිය ඔක්තෝබර් මාසයේ වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය ආරම්භ කරන්න විතරක් අමතර බිලියන 17.5ක් අවශ්‍ය වී මුදල් වෙන් කර ගන්න කැබිනට් අනුමැතිය ගත්තා. එහෙම නම් අලුතින් විශ්වවිද්‍යාල හතරක්, බිලියන එකකින් හදන්නේ කොහොමද? මේවා කොච්චර සුරංගනා කතාද? 2019 උසස් පෙළ සමත් අයගෙන් විශ්වවිද්‍යාලවලට 34,161ක් බඳවා ගන්න බව ආණ්ඩුව කියනවා. දැක්මක් නැති අයවැයකින් රටේ ඉදිරි පරම්පරාවට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර නැහැ. 
 
මේ අයවැය ව්‍යවස්ථාවට, නීතියට විතරක් නෙවෙයි ජනතාවට දුන් පොරොන්දුවලටත් විරුද්ධයි. මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය ජනතාව විසින් නිවැරදිව තේරුම් ගන්න ඕනෑ. පරපෝෂිත සුළු පිරිසකට විතරක් සෞභාග්‍ය උදා කරන ආර්ථිකයක්. මේ දුෂ්ට ආර්ථික ගමන පැරදවීම සඳහා දේශපාලන සංවිධානය වීමක් සහ අරගලයක් තියෙන්න ඕනැ. මේ ආර්ථික අර්බුදය ගැන අපි තේරුම් ගන්න ගමන්ම මුළු සමාජයම පවතින දුෂ්ට ක්‍රමයට විරුද්ධව පෙළගැහෙන්න ඕනෑ. මේ ක්‍රමය වෙනස් කරන ගමනකට සමාජය සූදානම් කිරීමේ වගකීම වමේ ව්‍යාපාරයට නායකත්වය දෙන, ජනතාව සංවිධානය කරන පක්‍ෂය හැටියට ජනතා විමුක්ති පෙරමුණේ ඔබට, අපට පැවරී තිබෙනවා. ඒ වෙනුවෙන් සමාජය දැනුවත් කරන්න මේ කරුණු තව තවත් සමාජය වෙත ගෙනියන්න කියලා ඔබට ආරාධනා කරනවා.  
 
ආණ්ඩුව සංඛ්‍යා දත්ත වෙනස් කරලා ඇත්ත අර්බුදය වහන්නේ හරියට කුඩා රෙදිකඩකින් විළිවහගන්න හදනවා වගේ - ජාතික විද්වත් සංවිධානයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුවේ සභාපති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු  
 
11.29 Matara seminar x
 
අපේ මාතෘකාව 2021 අයවැය ප්‍රබන්ධය හා යථාර්ථය. මීට කලින් තිබුණ ඒවා ප්‍රබන්ධ නෙවෙයිද? කාට හරි එහෙම හිතෙන්න පුළුවන්. ඇත්තටම මීට කලින් තිබුණ ඒවත් අඩු වැඩි වශයෙන් ප්‍රබන්ධ තමයි. විවිධ අයවැය යෝජනා ඉදිරිපත් කරනවා. ජනතාව විවිධ බලාපොරොත්තු තියාගන්නවා තමන්ට ලැබෙන ලාබ ගැන. නමුත් නිදහසින් පසුව ගෙනා හැම අයවැයකින්ම වාගේ සිදුවුනේ ජනතාවගේ බදුමුදලින් සුළු පිරිසක් අත ලාබය කේන්ද්‍රගත කරගැගනීමයි. විවිධ ආණ්ඩු මගින් ගෙනගිය ආර්ථික ප්‍රතිපත්ති මගින් ඇති කළේ එවැනි තත්වයක්. රට සංවර්ධනය කරනවා කියනවා ජනතාවගේ සිත් තුළ සුරංගනා ලෝක මවනවා. නමුත් අතිබහුතරයක් ජනතාව හිටපු තැනින් පහළට වැටිලා. අතළොස්සක් ඉන්නවා අයවැය යෝජනා මගින් ධනකුවේරයන් වෙච්ච. සෞභාග්‍ය උදාකළේ සුළු පිරිසකට. කලින් අයවැයවල් ප්‍රබන්ධයක් වුනත් ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තියට ඉදිරිපත් කරන සංඛ්‍යා සමපාත වුනා. ප්‍රබන්ධය වෙනුවෙන් ඉදිරිපත් කරන සංඛ්‍යාවල යම් සමපාත කමක් දකින්නට ලැබුණා. නමුත් මෙවර අයවැයේ ඉදිරිපත් කරන ලද සංඛ්‍යා පවා ප්‍රබන්ධයට සමපාත වෙන්නේ නැහැ. සමපාත වුනත් නැතත් මේ සංඛ්‍යා යථාර්ථයේ නැති බවත් කියන්න ඕනෑ. 
 
මේ ආණ්ඩුව බලයට ආවේ විදේශ කුමන්ත්‍රණ, අධිරාජ්‍යවාදී බලපෑම් ගැන කියලා. නමුත් මේ ආණ්ඩුව වැඩකරන්නේ අධිරාජ්‍යවාදීන් සමගයි. ඒ නිසා තමයි මේ ආණ්ඩුව ඉදිරිපත් කරන පළමු අයවැය සෘජුව හෝ වක්‍රව අධිරාජ්‍යවාදීන්ට සේවය කරන එකක් බවට පත්වුණේ. රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරනවා, විදේශ බලපෑම්වලින් රට මුදවා ගන්නවා කිව්වට ඇත්ත ඒක නෙවෙයි. ඒ නිසා තමයි මේ අයවැය ජනතා හිතවාදී නොවී ප්‍රබන්ධයක් බවට පත්වුණේ. ඒ නිසා තමයි ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යා ලේඛන ජනතාවට සුභසාධන ගෙන එන්නේ නැත්තේ. සංඛ්‍ය බොරුවක් වී තිබෙන්නේ ඒ නිසයි. ඒ නිසා ජනතාව මේ ප්‍රබන්ධයේ ගැඹුර තේරුම්ගත යුතුව තිබෙනවා. 
 
අයවැය කියන්නේ මොකක්ද කියලා අපි අපේ භාෂාවෙන් තේරුම් ගන්න උත්සහ කරමු. උදාහරණයක් ලෙස අපි එදිනෙදා විවිධ රැකියා මගින් ආදායම උපයනවා. රුපියල් 1000ක් හම්බ කරනවා නම් අපිට වියදම් කිරීම හැක්කේ රු.1000ක් පමණයි. නමුත් ආණ්ඩුව පැත්තෙන් ගත්තාම ආණ්ඩුව ලබන ආදායමට වඩා වියදම් කරනවා. ආණ්ඩුව අයවැය ඉදිරිපත් කළාට ආදායම් උපදවන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. වෙන රටවල් දේශීය දේ උපයෝගි කරගනිමින් ආදායම් උපයනවා. නමුත් අපේ ආණ්ඩු කරන්නේ ජනතාව පාරිභෝජනය කරන්න ද්‍රව්‍යවලට බදු ගහලා බදුමුදල් එකතු කරන එක. පුද්ගලික සමාගම්වලින් ආදායම් බදු අයකර ගන්න එක. ආණ්ඩුවක් උනාම ඒක කරන්න ඕනෑ. වෙනත් නිෂ්පාදන මගින් ආණ්ඩුව ආදායම් ජනිත කරගන්නේ නැත්නම් සිදුවන්නේ ජනතාව මත තව තවත් බදුබර වැඩිකිරීමයි.
 
2020 ආදායම බිලියන 1588යි. 2021 වර්ෂයේ බිලියන 2029යි. නමුත් අපි වැනි රටවල් අපේක්ෂිත ආදායම් රට තුළ උපයාගන්න අසමත්. බදු ආදායම තමයි වැඩි. 2020දී බිලියන 1588න් බිලියන 1358ක් බදු. නමුත් සමස්ත වියදම බිලියන 2854ක්. අයවැය පරතරය බිලියන 1266ක්. මේ අතර රටේ සමස්ත ධනයෙන් ආදායම 10%කට ආසන්න ප්‍රමාණයක් පමණයි. බැලූ බැල්මට පේන්න තියෙන දේ තමයි ආදායම වගේ දෙගුණයක් විදයම. ඒ නිසා අනිවාර්යෙන් ණයට ගන්න සිදුවෙනවා. ඒ නිසාම රට ලොකු ණය අර්බුදයක ඉන්නවා. අපේ රටේ අයවැය පරතරය 2020දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.9%ක්. 2021දී 8.9%ක්. මේ තිබෙන්නේ පුරෝකතනයන්. පුරෝකතනයන්ට වඩා ඇත්ත තත්වය මීටත් වඩා කණගාටුදායකයි. 
 
මේ අයවැය ලේඛනය ප්‍රබන්ධයක් කියලා කියන්න ඕනෑ තරම් උදාහරණ තිබෙනවා. අයවැය කතාවේදී කියන්නනේ පරිසරයට ඉතාම ආදර කරන පරිසර සංවේදී අයවැය යෝජනා ඉදිරිපත් කරනවා කියලා. නමුත් වෙන්නේ කැලෑ කපල දාන එක. තිරසාර සංවර්ධනයට කැපවෙනවා කියනවා. සතා සිවුපාවුන් ගැන ගහකොළ ඇළ දොළ, සාගර සම්පත ගැන කියනවා. දේශීය නිෂ්පාදනය කරනවා කියනවා. පටන් ගන්නෙම පට්ටපල් බොරු කියලා. මේ ආණ්ඩුව බලයට ආපු ගමන් කැලෑ කැපුවා. හිතවතුන් ඉඩම් අල්ල ගත්තා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ අයවැය ප්‍රබන්ධයක් කියලා. ඊට පස්සේ තිබෙනවා කොළඹ හා හම්බන්තොට වරායන් ගුවන්තොටුපළවල් වානිජ ක්‍රියාවලියේ ජාත්‍යන්තර මධ්‍යස්ථාන වශයෙන් දියුණු කරන්න ජාතික දැක්මක් තියෙනවා කියලා. ඒ කතාව හරි. නමුත් ඒ සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් අයවැයේ වෙන්කරලා නැහැ. 
 
නිරන්තරයෙන් අයවැය පරතරය වැඩියි කියලා චෝදනාවක් එල්ල වෙනවා. ඒ නිසා ආණ්ඩුව කියනවා 2021, 2022, 2023 වන විට අයවැය පරතරය අඩු කරනවා කියලා. අයවැය පරතරය දළ ජාතික නිෂ්පාදිතයෙන් 4%කට ගේනවා කියලා කියනවා. දේශීයව ජනතාව රවට්ටන්න මේක කිව්වට ජාත්‍යන්තර වශයෙන් අනෙක් රටවල් දන්නවා මේක බොරුවක් කියලා. මේක ප්‍රබන්ධයක් කියලා ආණ්ඩුවේ සංඛ්‍යාලේඛනවලින්ම ඔප්පු කරන්න පුළුවන්. 2020 අයවැය පරතරය 7.9%යි. 2021දී 8.9%ක්. ඒකත් වැඩිවෙලා. 8.9%ක් තියාගෙන කියනවා 4%ට ගේනවා කියලා. ගේන්නේ කොහොමද කියලා අපිට නම් තේරෙන්නේ නැහැ. ඒ නිසා ලොකුවට අධ්‍යයනය කරන්න දෙයක් නැහැ මතුපිටින් පේන්නට තියෙනවා ආණ්ඩුව කරන්නේ බොරුවක් කියලා. 
 
ඒ වගේම අයවැය ඇතුලේ තියෙනවා ප්‍රායෝගික නොවන පුරෝකතන. දැන් ආණ්ඩුව හැමදේටම කොවිඞ් වසන්ගතය ඉස්සරහට දානවා. ඒකෙන් ජනතාවට හිතෙන්න පුළුවන් කොවිඞ් නොතිබුණානම් අපි ඇමරිකාවටත් වඩා දියුණු රටක් වෙන්න තිබුණා කියලා. කොවිඞ් එන්න කලිනුත් අපේ රටේ ආර්ථික වෘද්ධිය පහළට යමින් තිබුණේ. ඒ නිසා එක පැත්තකින් ආණ්ඩුවටනම් කොවිඞ් වෙස්වලාගත්ත ආශීර්වාදයක් වෙන්න ඇති. ඒ නිසා ආණ්ඩුව 2020 ආර්ථික වර්ධනය -1.7ක් කියලා දාලා තියෙනවා. නමුත් මේ සංඛ්‍යාවත් ජාත්‍යන්තර පිළිගත් ආයතනවල පුරෝකතනවලට වඩා වෙනස්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා ලංකාවේ ආර්ථික වර්ධනය -4.6ක් කියලා. ආසියානු සංවර්ධන බැංකුව කියනවා -5.5ක් කියලා. නමුත් ආණ්ඩුව කියනවා 2025දී 7%ක් කරනවා කියලා. මේක බොරුවක්. ඒක තමයි ප්‍රබන්ධය. ආර්ථික වර්ධනය -1.7 සිට 7 දක්වා වැඩිවෙනවනම් රටේ ආයෝජන වැඩිවෙන්න ඕනෑ. ආයෝජන වැඩිවෙන්න ඉතිරිකිරීම් වැඩි වෙන්න ඕනෑ. නමුත් මොකද වෙලා තියෙන්නේ. ඉතිරිකිරීම්වල පුරෝකතනයවත් වැඩිවෙලා නැහැ. 2020 ආනයන අපනයන පරතරය බිලියන 05කට අඩුකරගන්න පුරෝකතනය කළා. 2025දී ආනයන අපනයන පරතරය බිලියන 10ක් බවට පුරෝකතනය කරලා තියෙනවා. කිසිදු අඩුවීමක් නැහැ. ඒ නිසා අපිට තේරුම් ගැනීමට සිදුවන්නේ මේක ප්‍රබන්ධයක්ම තමයි කියලා. 
 
අපිට තවත් සැකයක් තිබෙනවා ආණ්ඩුව පැරණි සංඛ්‍යා දත්ත වෙනස් කරනවා කියලා. 2019 තිබිය යුතුවියදම බිලියන 2956යි. මහබැංකු වාර්තාවේ මේක තිබෙනවා. නමුත් 2020 අයවැය කියනකොට 2019 වියදම ලෙස සඳහන් කරන්නේ බිලියන 3428ක් කියලා. බිලියන 472කින් 2019 වියදම වැඩිකරලා. ගිණුම්කරන උපක්‍රම භාවිතා කරලා සංඛ්‍යා වෙනස් කරනවා. අයවැය නීති උල්ලංඝනය කරලා. 2020 වියදම් 2019ට දාලා පරතරය අඩුකරලා පෙන්වනවා. පුංචි රෙදිකඩකින් විළිවහගන්න හදන වැඩක්. ආණ්ඩුව ජනතාව නොමඟ යවන්න 2019 සංඛ්‍යා පවා 2020දී වෙනස් කරලා පළකරනවා. නමුත් පැරණි වාර්තාවල මේ ඇත්ත දත්ත මකන්න බැහැ. හරියට මළ මිනිස්සු බොරු නොකියනවා වගේ. 
 
11.29 Matara seminar iii
11.29 Matara seminar iv
 
 
මේ ආර්ථික යෝජනා නිසා සමජයට ඇතිවෙන බලපෑම මොකක්ද? රටේ ධනය වැඩිවෙන්නේ නැත්නම් ආණ්ඩුවට ලැබෙන ආදායම අඩුවෙනවා. ඒනිසා බදුගහන එක වැඩිවෙනවා. ඒ බදු සාමාන්‍ය ජනතාවට බලපාන වක්‍ර බදු. ඒනිසා ජනතාවට කියන්න වෙන්නේ වැඩි වැඩියෙන් බදු ගෙවන්න සූදානම් වෙන්න කියලා. මොකද ආණ්ඩුව තවත් වෙනත් බදු යෝජනා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබෙනවා. ලොකු ලොකු කොම්පැනිකාරයන්ට විශාල වශයෙන් බදුසහන දෙනවා. අවසාන විග්‍රහයෙදි අල්ලගන්නේ පොදු මහජනතාවගේ බෙල්ලෙන්. මේක සමාජ අසාධාරණයක්.
 
රජයේ සේවකයන්ට රැකියා දෙකක් කරන්න පුළුවන් කියලා යෝජනා කරනවා. ජනතාවගේ වත්මන් වැටුපෙන් ඉදිරියේදී ජීවත් වෙන්න බැරි බව ආණ්ඩුව දන්නවා. වහල් යුගයට ජනතාව නැවත කැඳවනවා. උද්ධමනයට සමාජයක් හැටියට මුහුණ දෙනවා වෙනුවට ජනතාවට කියනවා උඹලා මේක පවුද්ගලිකව දරාගනිල්ලා කියලා. ඊළඟ විශ්‍රාම වයස 60 දක්වා වැඩි කරනවා. තව පහක් වැඩකරපන් කියලා යෝජනා කරනවා. රටේ ජාතික නිෂ්පාදනය වැඩි කරන්න නෙවයි මේ යෝජනා ගේන්නේ. ආණ්ඩුව තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති අනුව රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කළා. දැන් ආණ්ඩුව පුද්ගලයින්ගේ දුක පුද්ගලීකරණය කරන්න උත්සහ කරනවා. ඒ වගේම තවත් විවිධ අරමුදල් ගැන යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒවායේ ප්‍රායෝගිකත්වය පැහැදිලි නැහැ. කොටස් වෙළඳපොල ප්‍රසාරණය කරන්න යෝජනා කරනවා. ණය ගෙවීම් වැඩි කරන්න යෝජනා කරනවා. නමුත් මේවාට බද්ධ වුනු අනෙකුත් වැඩපිළිවෙළ පැහැදිලි නැහැ. ඒ නිසා මේ අයවැය යෝජනාවලින් පෙන්වන්නේ ආණ්ඩුව ජනතාවට කියපු දේශීය ආර්ථිකය ගොඩනැගීමේ යෝජනා නෙවෙයි. දේශීය ආර්ථිකේ ගොඩගන්න ඕන ප්‍රතිපත්ති නෙවෙයි අයවැයේ තියෙන්නේ. අධිරාජ්‍යවාදයේ මහා පරිමාණ කොම්පැනිකාරයින්ගේ වුවමනාව තමයි මේ අයවැයේ තියෙන්නේ. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියත් අසාධාරණ එකක්. ජනතාවට සෙස් බද්ද ගහනවා. විශාල ව්‍යාපාරිකයින්ට බදු නිදහස ලබාදෙනවා. ඒ නිසා මේ අයවැය පුරාවටම තියෙන්නේ පීඩාවට පත් ජනතාවට බර දාන යෝජනා. ලාබ ලබන්නන්ට වැඩි වැඩියෙන් ලාබ ලැබෙන යෝජනා. 
 
ආණ්ඩුව පැත්තේ ඉන්න සමහර ආචාර්ය මහාචාර්යවරු දැන් මේ අයවැය ගැන රචනා ලියන්න පටන් අරගෙන තිබෙනවා. ජනතාව රවටන්න පුළුවන් වුනාට ජනතාවගේ ඇස්වලට වැලිගහන්න පුළුවන් වුනාට විදෙස් සංවිධාන නොමඟ යවන්න බැහැ. කොළඹ කොටස් වෙළඳපොලේ විදේශීය ආයෝජකයෝ පිටමන් වෙන්න පටන් අරගෙන. ණය ගෙවීමේ හැකියාව වර්ගීකරණය කරන විවිධ සමාගම් අපේ අටේ ණය ගෙවීමේ හැකියාව වර්ගීකරණය කර තිබෙනවා. ඒ අනුව 2012 සිට මේ කණ්ඩායම් අපේ රට ගැන වාර්තා ඉදිරිපත් කරනවා. දැන් කඩාවැටෙන බංකළොත්භාවයේ කඩඉමට ඇවිල්ලා කියලා වාර්තා පළවෙනවා. පිච් රේටින් ආයතනය කියනවා අපේ රට ඉන්නේ දැන් ණය ගෙවීමේ හැකියාව අනුව බංකළොත් මට්ටමට ඉතා ආසන්නයේ. ඒ නිසා ලොකු අවදානමක ඉන්නේ. බේරීම සඳහා කරන්න සිදුවෙන්නේ තවතවත් වැඩි පොළියට ණය ගැනීමයි. ඒ වගේම ඉදිරියේදී ජනතාව සමඟ ගැටුම් ඇතිවෙන තීන්දු තීරණවලට ආණ්ඩුවට එළඹෙන්න සිදුවෙනවා. ඒ නිසා ජනතාව අවධානයෙන් සිටිය යුතු වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ප්‍රබන්ධය තේරුම් ගමු කියලා. ඒ වගේම අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයෙන් මිදුණු අධිරාජ්‍යවාදීන් සමඟ බිස්නස් නොකරන දේශපාලන පක්ෂ, සංවිධාන, දේශමාමක ජනතාව එක බලඇණියකට එකතු කරන්න ඕනෑ. ඒ වගේම මම ජනතා විමුක්ති පෙරමුණට ස්තුතිවන්ත වෙනවා ජනතාව දැනුවත් කිරීමට මෙවැනි සම්මන්ත්‍රණ සංවිධානය කිරීම ගැන. 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න