සෞභාග්‍යයේ දැක්ම : රාජ්‍ය සේවයත් රාජ්‍ය සේවකයාත් මුලාකළා - ජනාධිපතිට ලිපියක් !

සෞභාග්‍යයේ දැක්ම : රාජ්‍ය සේවයත් රාජ්‍ය සේවකයාත් මුලාකළා - ජනාධිපතිට ලිපියක් !

රාජ්‍ය සේවය පුළුල් කිරීම, විධිමත් කිරීම හා කාර්යක්‍ෂම කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ”සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙල මගින් ජනතාවට පොරොන්දු වුවද, ඔහු විසින්  පාර්ලිමේන්තු සභාව හරහා  පසුගියදා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට කරන ලද පත්වීම් අනුව හැඟී යන්නේ, රාජ්‍ය සේවාවේ තීන්දු තීරණ ගැනීමේ උත්තරීතර ආයතනය වන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ගෞරවයත්, උත්තරීතර භාවයත් හීනවන පරිදි එම පත්කිරීම් සිදුකර ඇති බව යැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි.

එම වෘත්තීය සමිති සන්ධානය මෙසේ චෝදනා කර සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකරමින්ය.

ඊයේ (නොවැම්බර් 30) යොමුකර ඇති එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව කොමිෂන් සභාවලට නිලධාරීන් පත්කිරීමේ බලය ජනාධිපති වරයා සතුව ඇතත්, රාජ්‍ය සේවයේ උපරිම අත්දැකීම් ඇති, පරිපාලන සේවයේ පළමු පංතියේ නිලධාරීන් විශාල ප‍්‍රමාණයක් සිටියදී, රාජ්‍ය සේවය පිළිබඳ කිසිදු අත්දැකීමක් නොමැති නිලධාරීන් පත්කිරීම, රාජ්‍ය සේවය බිඳවැට්ටවීමට ගත් ක‍්‍රියාමාර්ගයක් බවද පෙන්වා දෙමු.

පෞද්ගලික ව්‍යාපාර හා සමාගම් පවත්වාගෙන යමින්, විවිධ ව්‍යාපාර කරන දිලිත් ජයවීර මහතා රැපිඞ් ඇන්ටිජන් කට්ටල (Rapid Antigen Test Kits) ගෙන්වීමේ දී සිදුකර ඇති ජාවාරම් පිළිබඳව මැත දී දැඩි ආන්දෝලානයට ලක් වූ පුද්ගලයාය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලතල පාවිච්චි කරමින් රජයේ ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලිය, ජාවාරමක් කර ගැනීමට බලපෑමක් කිරීමේ ඉඩකඩක් නිලයට අනුව මෙම නිලධාරියා වටා නිර්මාණය වීමට ඉඩ ඇති බවද පෙන්වා දෙමු.

රාජ්‍ය සේවයේ උන්නතිය ගැන සිතා කටයුතු කරන්නේ නම්, ඒ පිළිබඳව හසල දැනුමක්, අවබෝධයක් හා නිපුණතාවයක් ඇති නිලධාරීන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත්කිරීම, ඔබතුමාගේ වගකීමක් වන බව පෙන්වා දෙන අතර, ඔබතුමාගේ හිතවතෙක් හෝ මිතුරෙක් වීම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලයක් දැරීමට සුදුසුකමක් නොවන බවද ඔබතුමා වටහා ගැනීම වැදගත්ය.

ඔබතුමාගේ ”සෞභාග්‍යයේ දැක්ම” තුලින් රාජ්‍ය සේවය හා රාජ්‍ය සේවකයා මුලාකර ඇති බවත්, මෙවැනි රාජ්‍ය සේවා කොමිෂන් සභාවකින්, රාජ්‍ය සේවයේ උන්නතියට කිසිවක් සිදුවේ යැයි සිතීමට නොහැකි බවත්, පෙන්වා දෙන අතර, ජනතාව මුලා කිරීමකින් තොරව, සැබෑ ලෙසම රාජ්‍ය සේවයේ යහපතට තීන්දු තීරණ ගත හැකි නිලධාරීන් පිරිසක් සහිත රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් පත්කරන ලෙසත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

එස්.පී.විතානගේ

සමකැඳවුම්කරු,

දුම්රිය වෘත්තීය සමිති සන්ධානය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න