සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට මුල්තැන දෙමින් රට විවෘත කළ යුතුයි - අමාත්‍ය නිමල් ලාන්සා

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට මුල්තැන දෙමින් රට විවෘත කළ යුතුයි - අමාත්‍ය නිමල් ලාන්සා

මිලියන 22 ක ජනතාවගේ බලාපොරොත්තුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ රට විවෘත කර ඔවුනගේ කටයුතු සාමන්‍ය පරිදි සිදු කර ගනිමින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සලසා ගැනීම බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා  පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මෙම අදහස් පළ කර සිටියේ අද (26) පානදුර ආසනයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා ,

“කොරෝනා බලපෑම් තියෙද්දී අපි මාර්ග සංවර්ධනය කිසි දවසක නතර කළේ නැහැ. සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව අපිට කොරෝනා එක්ක ජීවත් වෙන්න සිදු වෙනවා. ඒ අනුව මමත් මගේ කැබිනට් ඇමතිතුමත් තීරණය කළා වැඩ නතර කරන්නෙ නැහැ කියලා. අවුරුදු 4 ක් ගියාම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන්, අපෙන් ජනතාව අහයි කිලෝ මීටර් ලක්ෂයේ පොරොන්දුව ඉටු කළාද කියලා.

2021 දී කොරෝනාවලින් තොර රටක් බවට පත් කර ගැනීම අපේ ඉලක්කයයි. ඒ සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සහය දෙන්න කියලා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඕනේ රට වහලා තියන්න. රටේ මිලියන 22 ක ජනතාව බලාපොරොත්තු වෙනවා රට විවෘත කරලා සාමන්‍ය තත්ත්වයට යන්න.

සංචාරක ව්‍යාපාරයේ නියෙලෙන ලක්ෂ 20 කට වැඩි පිරිසක් මාස 9 ක් තිස්සේ ගෙවල්වලට වෙලා ඉන්නවා සංචාරක ව්‍යාපාරය කර ගන්න බැරිව. එදිනෙදා වැඩ කරන ජනතාවට ඔවුනගේ වැඩ කරගන්න අවස්ථාව සලසලා දෙන්න ඕනේ.

මම පෞද්ගලිකව හිතන දේ තමා කොවිඩ් එකත් එක්ක අපි ආරක්ෂා වෙලා ජීවත් වෙන්න ඕනේ. අපි එදිනෙදා කටයුතු කරගෙන යන්න ඕනේ. නැතිනම් රටත් වැටෙනවා. අපිත් වැටෙනවා. අපි අධිෂ්ඨාන කර ගන්න ඕනේ 2021 රටේ සංවර්ධනය, රටේ ආර්ථිකය කොවිඩ් 19 හමුවේ ජයගන්න.

ජනවාරි 17 න් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ගුවන් තොටුපොළ විවෘත කරන්න. පිටරට ඉන්න ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් සිටින අයට එන්න අවස්ථාව සලසලා දෙන්න. සංචාරක ව්‍යාපාරය සඳහා ගුවන් තොටුපොළ විවෘත කරන්න. මේ හැම දෙයක්ම කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින්. සංචාරකයින් ලංකාවට එන්න පැය 72 කට කලින් පීසීආර් එක කරනවා. සංචාරකයා ලංකාවට ආවට පස්සේ පීසීආර් එකක් කරනවා. සංචාරකයා දවස් 7 ක් විතර ඉදලා එලියට යනකොට නැවත පීසීආර් එකක් කරනවා. පීසීආර් තුනක් කරලා තමා සංචාරකයා එළියට දාන්නේ.

2021 කියන්නේ අපි සියලු දෙනාට වැදගත් වර්ෂයක්. ලෝකයම කොවිඩ් වසංගතයට මුහුණ දෙද්දී, ලෝකයේ ආර්ථිකය පහළ යද්දී අපි අධිෂ්ඨාන කරගන්න ඕනේ පාසල් ටික විවෘත කරලා, ව්‍යාපාර කටයුතුවලට රට විවෘත කරලා, එදිනෙදා කටයුතු සාමන්‍ය පරිදි සිදුකරන ගමන් හොදම ආර්ථිකය හිමි රට බවට පත් කරන්න. ඒ සඳහා අපි සියලු දෙනා එක්විය යුතුයි.” යැයි කීය.

0E5A0531

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න