කොවිඩ් මෘතදේහ භූමදානය කිරීමේ හැකියාව පිළිබඳ සොයාබලන විමර්ශනයට අදාළව තමා වෙත ලැබුණු උපදෙස් මත මන්නාරමේ සහ නැගෙනහිර පළාතේ භූගත ජලය ගැඹුරින් පිහිටි ප්‍රදේශ දෙකක් පිළිබඳ වාර්තාවක් තමා අගමැතිවරයාට භාරදුන් බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර අද (27) අනාවරණ කළේය.
මේ අතර අදත් කොවිඩ් මෘතදේහ භූමදානයට අනුමැතිය ඉල්ලමින් ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්වුණි.
කොවිඩ් ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලමින් අද ගාල්ල දෙවට ප්‍රදේශයේදී , ත්‍රිකුණාමලය කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටද අද විරෝධතා පැවැත්විණ.
ආණ්ඩුව තුළ එක මතයක් නෑ !
මේ වන විට ආණ්ඩුවට කොවිඩ් වැලඳි මෘතදේහ භූමිදානය කිරීමට අවස්ථාව ලබාදීම සඳහා අවශ්‍ය වුවත් ආණ්ඩුව තුළ සිටිනා ඇතැම් කොටස් වල විරෝධය හේතුවෙන් තීන්දුවක් ගැනීමේ දුෂ්කරතාවයක් පෙන්නුම් කරයි.
මේ වන විට ආණ්ඩුවේ මතය සාධාරණීකරණය කිරීම සඳහා සූදානම් භික්ෂුන් පවා භූමිදානයට පක්ෂව අදහස් ප්‍රසිද්ධ මාධ්‍ය තුළ පවා ප්‍රකාශ කර සිටියත් ආණ්ඩුව තුළ සිටින ඇතමුන් ඊට විරෝධය දක්වමින් සිටියි.
ආණ්ඩුව ආසයි බයයි !
මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසා සිටියේ ආණ්ඩුව ආසයි බයයි තැනක සිරවී ඇති බවක් පෙන්නුම් කරන බවය.
එසේම ආණ්ඩුව අභ්‍යන්තරයේ භූමිදානය සාධාරණීකරණය කරන මතයක් ඇති බවත් එසේ නොවන්න භූගත ජල මට්ටම් ගැන සොයන්න අතිරේක කමිටු අනවශ්‍ය බවත් ඔවුන් පෙන්වා දෙයි.
කෙසේ වුවත් මේ වන විට බැසිල් රාජපක්ෂගේ අනුගාමිකයන් කිහිපදෙනකු ම භූමිදානය හරහා මුස්ලිම් ජන්ද බැංකුවක් පොදුජන පෙරමුණ වෙනුවෙන් ඉදිකර ගත යුතු බවට පෙනී සිටියත් ජාතිකවාදී කොටස් ඊට එරෙහි මතයක සිට කටයුතු කරමින් සිටියි.

