උගන්නන්න දුන් සල්ලි වලින් හතරෙන් එකකින් වැඩක් අරගෙන නෑ !

උගන්නන්න දුන් සල්ලි වලින් හතරෙන් එකකින් වැඩක් අරගෙන නෑ !
දැයේ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා පසුගිය වසරේ වෙන් කළ මුදලෙන් හතරෙන් එකකටත් වඩා වැඩි මුදලක් භාවිතයට නොගෙන ඇති ආකාරය විගණකාධිපති විසින් කතානායක වෙත ඉදිරිපත් කර තිබෙන වාර්තාවකින් හෙළි වී තිබේ.
 
 දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් එම අනාවරණය කර ඇත්තේ විගණකාධිපතිවරයා විසින් 2019 මුදල් වර්ෂයට අදාළ වාර්තාව 2020 ඔක්තෝම්බර් 29 දින කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති වාර්තාව උපුටා දක්වමිනි.
 
 එම  විගණන වාර්තාව තුළ අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධයෙන් බරපතල කරුණු ගණනාවක් මතුකර තිබෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.
 
අධ්‍යාපනයේ අරමුණු ඉටු කිරීම සඳහා එකී වර්ෂය  වෙනුවෙන් පාර්ලිමේන්තුව රුපියල් මිලියන 325,397.60 ක ප්‍රතිපාදන සලසා තිබුණ ද ඉන් උපයෝජනය කර ඇත්තේ රුපියල් මිලියන 235,097.00 ක මුදලක් බව පෙන්වා දෙන ගුරු සංගම් නායකයා අවධාරණය කරන්නේ  ඒ අනුව මුළු ප්‍රතිපාදනයෙන් 27.75% ක් හෙවත් රුපියල් මිලියන 90,303.60 මුදලක් ප්‍රයෝජනයට ගෙන නොමැති බවයි.
 
ලංකා ගුරු සංගමය දෙසැම්බර් 29 අගහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව 2003 සහ 2016 වසරවල අධ්‍යාපනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබුණත් 2019 වසර අවසාන වන විටත් නිශ්චිත තිරසාර ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර නැති බව සඳහන් කර තිබෙන බවයි.
 
මේ තත්වය තුළ ජාතික අධ්‍යාපන කොමිසම සුදු අලියෙකු සේ නඩත්තුවීම ප්‍රශ්නකාරී බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.
 
එසේම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අධ්‍යාපනයට අදාළ 2 ව්‍යවස්ථාවට අනුව පෙර පාසල් අධීක්ෂණය හා කළමනාකරණය කිරීම, ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම බව විගණන වාර්තාව පෙන්වා දී ඇතත්, එම වගකීම ඉටු වී නැති බවටත් ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා චෝදනා කරයි.
 
"1961 අංක 8 දරණ උපකෘත පාඨශාලා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනතේ 25 වගන්තියට අනුව වයස 5-14 සීමාවල පසුවන දරුවන් වෙනුවෙන් පෞද්ගලික පාසල් ආරම්භ කළ නොහැකිව පැවතිය දී එවැනි කටයුතු සිදුවීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙලක් සකස් කර නොතිබීම පිළිබඳව විගණන වාර්තාව අවධානය යොමු කර ඇත."
 
අරමුණු 7 ක් මුල්කරගෙන 2016 වර්ෂයේ සිට සිසුන්ගේ කායික මානසික සමබරතාවය හා නිරෝගී පරපුරක් බිහිකිරීම වෙනුවෙන් ක්‍රීඩා  දක්ෂතා ඇති සිසුන් දක්ෂ ක්‍රීඩකයන්  බවට පත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 18,394.5 ඇස්තමේන්තු කර තිබුණ ද රුපියල් මිලියන 237.74 ක් පමණක් වැය කොට ඇති අතර, අදාළ වැඩසටහන් නිසි පරිදි ක්‍රියාත්මක කර නොමැති බවටත් ජෝසප් ස්ටාලින් චෝදනා කරයි.
 
එසේම 1989 වසරේ දී ආරම්භ කරන ලද ක්‍රීඩා  පාසල් 22 ක් ක්‍රියාත්මක  තත්වයේ නොපැවතීම තුළ ක්‍රීඩා  උපකරණ, නේවාසිකාගාර, කායවර්ධන උපකරණ, භාවිතා කොට නොමැති බවද හෙළි කොට ඇති බව ලංකා ගුරු සංගමය නිකුත් කළ නිවේදනයේ සදහන්ය.
 
ශ්‍රී  ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවතියත් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයෙන් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කරගැනීමට කටයුතු නොවුණද, මේ සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 42 ක් වැය කර ඇති බව විගණනයෙන් පෙන්වා දී තිබේ.
 
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ඉංශ්‍රීසි  හැර අපොස උසස්පෙළ විෂයධාරාවන්ගේ ප්‍රධාන විෂයයන් සඳහා පොත් මුද්‍රණය කර නොතිබුණ ද, 2016 වසරේ සිට 2019 වසර දක්වා විෂයන්ට අදාළ අතිරේක පොත් 393,500 ක් මුද්‍රණය කොට පාසල් වෙත බෙදා නොහැර අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් අලෙවිසැල්වල විකිණීම තුළ උසස් පෙළ සමස්ත සිසුන්ට එම පොත් පරිහරණයට අවස්ථා අහිමි කර ඇති බව විගණන වාර්තාව පෙන්වා දී ඇති බවයි ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා පවසන්නේ.
 
ප්‍රධාන ජාතික පාසල් සඳහා චක්‍රලේඛ උල්ලංඝණය කරමින් ළමුන් ඇතුළත් කර ඇති ආකාරය මෙම විගණනයේ පැහැදිලි කොට ඇති බවත් ඔහු තව දුරටත් සදහන් කරයි.
 
"2017 වසරේ දී ජාතික පාසල් 109 කට සිසුන් 6337 ක් ද, 2018 වසරේ දී පාසල් 73 කට සිසුන් 3339 ක් ද, 2019 වසරේ දී පාසල් 81 සඳහා සිසුන් 6366 ක් ද ඇතුළත් කර ඇති බව කරුණු සහිතව දක්වා ඇත."
 
ගුරු අත්පොත් නිසි කලට බෙදා නොහැරීම, විනය ක්‍රියාවලිය  මන්දගාමීව සිදුවීම, මානව සම්පත් කළමනාකරණය නිසි පරිදි සිදු නොවීම මෙන්ම ගුරුවරුන්ගේ හිඟ වැටුප නිසි පරිදි ගෙවා නොතිබීම සහ විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව ද මෙම විගණන වාර්තාව වැඩිදුරටත් කරුණු දක්වා ඇති බව ලංකා ගුරු සංගමය සදහන් කරයි.
මෙවැනි වාර්තා නිකුත් වීමෙන්  පසු මෙම සිදුවීම් නතර කිරීමට හා මෙම තත්වයන්ට වගකිවයුතු නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග  ගැනීම රජයේ වගකීම බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න