නැගෙනහිර ජැටියේ තීන්දුව නිසා ආණ්ඩුවේ මිත්‍යාව කුඩු !

නැගෙනහිර ජැටියේ තීන්දුව නිසා ආණ්ඩුවේ මිත්‍යාව කුඩු !

"ඊයේ (13) විශේෂ දවසක්. ජනාධිපතිවරයා නැගෙනහිර ජැටිය ගැන ආණ්ඩුවේ තීරණය කියන්න වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් ලබාදුන්නා. ඇත්තටම එතන සිද්ධ වුණේ සාකච්ඡාවක් නෙමෙයි. වෘත්තිය සමිතිවල අදහස් ලබාගන්න ආණ්ඩුවේ සූදානමක් තිබුණෙ නැහැ. නැගෙනහිර ජැටිය පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය දැනුම් දෙනු ලැබුවා. ඒ කියන්නෙ වරායේ නැගෙනහිර ජැටියේ අයිතියෙන් 49%ක් ඉන්දියාවටත් 51%ක් වරාය අධිකාරියටත් ලැබෙන පරිදි ආණ්ඩුව විසින් ගන්නා ලද තීරණයයි. එම තීරණයට වෙනස් පදනමකින් ඉදිරිපත් කරන අදහස් වැඩක් නැති බව එතනදී වෘත්තීය සමිතිවලට කියා තිබුණා." යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත චෝදනා කරයි.

අද (14) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කල අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ ආණ්ඩුවට විවිධ අන්දමින් සම්බන්ධ කොටස් වරායේ නැගෙනහිර ජැටිය විකිණිමට ගෝඨාභය ජනාධිපතිවරයා සම්බන්ධ නැති බවටත් ඔහු අදූෂිත බවටත් මත ඉදිරිපත් කරමින් සිටියා. මෙය රෝහිත අබේගුණවර්ධන වරාය ඇමතිවරයාගේ වැරදි තීරණයක් බව කිවුවා. ඇත්තටම මේ ආණ්ඩුවේ ඇමතිවරයෙකුට එහෙම හිතුමතේට කැබිනට් පත්‍රිකාවක් දාන්න බැරි බව අපිනම් දැනගෙන හිටියා. ඔවුන්ට ජනාධිපතිවරයා ඉදිරිපිට කෙලින් හිටගන්නවත් පුළුවන්කමක් නැහැ. එයාලා වලව්වෙ ඉස්සරහ දොරෙන් යන්නවත් පුළුවන් අය නෙමෙයි. තවත් අය කිවුවා මේක පී.බී. වගේ නිලධාරීන්ගෙ වැඩක් කියලා. තවත් අය මේක බැසිල්ගෙ වැඩක් කිවුවා. පාදෙණිය වගේ අය කැබිනට් මණ්ඩලයට මේ වගේ අයිතියක් ලැබෙන එක ව්‍යවස්ථාවෙ ප්‍රශ්නයක් කියලා කිවුවා. ඒ හැමෝම තමන් විවිධ අයුරින් සහය වෙලා බලයට ගෙනාපු ජනාධිපතිවරයා බේරන්න හැදුවා. ඒත් ඊයෙ සාකච්ඡාවෙදි ජනාධිපතිවරයා, පී.බී, වරාය ඇමතිවරයා, වරාය සභාපති දයා රත්නායක වගේ මේ හැමෝම එකට ඉඳලා එකම අදහස ඉදිරිපත් කළ නිසා ඒ මිත්‍යා මත අවසන් වුණා. ඔවුන් කිවුවෙ වරාය අයිතියෙන් 49%ක් ඉන්දියාවට දෙන්න වෙනවා කියන එක. ඒක තමයි ආණ්ඩුවෙ ස්ථාවරය. අපි කියන්නෙ දැන් කලින් වගේ මිත්‍යා මත වපුරන්න එපා කියලා.  

වරාය විකුණනවද, බදු දෙනවද, නිකන් දෙනවද, පරිත්‍යාග කරනවද වගේ වචන හරඹ වැඩක් නැහැ !

වරාය විකුණනවද, බදු දෙනවද, නිකන් දෙනවද, පරිත්‍යාග කරනවද වගේ වචන හරඹ වැඩක් නැහැ. හම්බන්තොට වරායත් චීනයට දුන්නා. ඒක විකුණුවෙ නෑ, බදු දුන්නා කිවුවා. ඒත් අවුරුදු 99කට අයිතිය අහිමි කළා. කොළඹ වරායේ දකුණු ජැටිය චීනයට දුන්නා. දැන් ඒක චීන කොලනියක් වෙලා. මීළඟට නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණන්නෙ නැහැ කියනවා. ආයෝජනයක් විතරයි කියනවා. ඒත් බදු දුන්නාට, පරිත්‍යාග කළා කිවුවට, දන් දුන්නා කිවුවට වචන හරඹවලින් වැඩක් නැහැ. දැන් වරාය අධිකාරියට තිබුණු 100%ක අයිතිය අහිමි කරන්න යනවා. එයින් 49%ක් රටට ජනතාවට අහිමි කරන්න යනවා. මේ අහිමි කරන්න යන්නේ ලාභ ඉපිදවිය හැකි ජාතික සම්පතක්. වෘත්තීය සමිතිවලට පිළිගන්න කියන්නේ මේකයි. ඒකට එකඟවෙලා යෝජනා ඉදිරිපත් කරන්න කියනවා. දැන් කිසිම වෘත්තීය සමිතියක් මේ පාවාදීමට හවුල් වෙන්න එපා කියලා අපි ඉල්ලනවා.  

ගෝඨාභයට චරිත දෙකයි නෙමෙයි දිව දෙකයි  !

ඊයේ සාකච්ඡාවෙන් හෙළිදරව් වූ දෙවැනි කරුණ වන්නේ හම්බන්තොට වරාය චීනයට දීපු නිසා නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න වෙලා තියෙනවා කියලා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කිරීමයි. මේක කරගෙන යන්න සල්ලි නෑ, තාක්ෂණය නෑ කියලා කියන්නෙ නැහැ. වරාය වෘත්තීය සමිති, ඉංජිනේරුවන් එය වරාය අධිකාරිය යටතේ තබාගෙන සංවර්ධනය කරන ආකාරය දැනටමත් පෙන්වා දී තිබෙනවා. දැන් කියනවා, භූ දේශපාලනය නිසා දෙන්න වෙලා තියෙනවා කියලා. බලයට එන්න කලින් කිවුවෙ දුන්න ඒවත් ගන්නවා කියලා. දැන් කියනවා ලෝක බලවතුන්ට ඕනැ නිසා දෙන්න වෙනවා කියලා. ගෝඨාභයට චරිත දෙකයි නෙමෙයි දිව දෙකයි. තුනෙන් දෙකක ආණ්ඩුවක් තියෙන, විධායක බලය අතට ගත්තු, රජෙක් බවට පත්කරපු පාලකයෙක් අපිට කියනවා දෙන්න වෙලා තියෙනවා කියලා.

කලින් සෝවියට් සහ ඇමරිකාව වගේ බල කඳවුරු දෙකකට ලෝකෙ බෙදිලා තියෙද්දි සිරිමාවෝ ඇතුළු කලින් හිටපු පාලකයන් ඒ කඳවුරුවල කොටස්කාරයො වුණේ නැහැ. ඒ රටවල් මෙහෙ බින්නබස්ස ගත්තෙ නැහැ. ඒත් ජේ.ආර්. මේ රට ඇමරිකානු කොලනියක් කරන්න හැදුවා. ඒත් වමේ බලවේග ඇතුළු ප්‍රගතිශීලී ජනතාවගෙ විරෝධය නිසා ඒක සම්පූර්ණ කරගන්න බැරිවුණා. ඊට පස්සෙ ඉන්දියානු හමුදාව ගෙන්නගෙන මේක ඉන්දියානු කොලනියක් කරන්න හැදුවා. දහස් ජීවිත පූජා කරපු දේශප්‍රේමී අරගලයකින් පස්සේ ඉන්දියාව පසුබස්වන්න පුළුවන් වුණා. දැන් ඉන්දියාවයි ඇමරිකාවයි එක පිලක හිටගෙන. චීනය නව ලෝක බලවතෙක් වී තිබෙනවා.

චන්ද්‍රකා හා රනිල්ගේ මුල් ආණ්ඩු කාලයේ රටෙන් මතු වූ විරෝධය නිසා බලවතුන්ට මෙහෙ බින්න බැහැ ගන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ කාලෙදි ශ්‍රැන්ග්‍රිලාට වටිනා ඉඩම් දීලා චීන බලවතාට බින්න බැහැගන්න අවස්ථාව ලබා දුන්නා. 2015 බලයට ආපු රනිල් චීන ව්‍යාපෘතිය ඉදිරියට ගෙනගියා. හම්බන්තොට වරාය 99 අවුරුද්දකට රටට අහිමි කළා. රටට ආදරෙයි කියලා පොළොව ඉඹලා ආපු රාජපක්ෂලා දැන් රට ලෝක බලවතුන්ට කොටස් කර බෙදනවා. මේ විදිහට බෙදන්න ගියොත් ඇමරිකාවත් අපිටත් කොටසක් ඕනැ කියන්න පුළුවන්. ත්‍රීකුණාමල වරාය ඉල්ලන්න ඉඩ තියෙනවා.

රට යා යුතු මාවත මේක නෙමෙයි. සියලු වරායවල් රටේ අයිතියට හිමි විය යුතුයි. කළ යුත්තේ හම්බන්තොට චීනයට දුන් නිසා කොළඹ ඉන්දියාවට දෙන එක නෙමෙයි, හරිනම් හම්බන්තොටින් චීනයටත් යන්න කියන එකයි. අපේ රටට ආදරෙයිනම්, අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා වෙනවට කැමතිනම් වරාය පරිත්‍යාගයක් විදිහට අපිට දෙන්න. අපිත් එහෙම ඉල්ලනවා. ලෝකෙ රටවල් එහෙම කරලා තියෙනවා. දැවැන්ත කර්මාන්තශාලා අපිට පරිත්‍යාග විදිහට දීලා තියෙනවා. චීනයටත් එහෙම කරන්න පුළුවන්. ඉන්දියාවෙනුත් ඉල්ල ඕනේ මේක චීනයෙන් ඉල්ල ගන්න අපිට උදව් කරන්න කියන එකයි. නැතුව හිලව්වට රටේ සම්පත් දෙන එක නෙමෙයි.  

දේශප්‍රේමී කථා කියමින් ජනතාව රවට්ටලා ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනාපු අය අද නිහඬ ඇයි?  

දේශප්‍රේමී කථා කියමින් ජනතාව රවට්ටලා ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනාපු අය අද නිහඬ ඇයි? ඔවුන් අද ජනතාවට කියන්නේ මොකක්ද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කාටවත් බය නැහැ කොන්ද කෙලින් තියෙන මිනිහෙක්, නිලධාරීන්ට යටවෙන්නේ නෑ වගේ කතා ඡන්දෙට කලින් කිව්වා. විධායක ජනාධිපතිකමත් අරන් දුන්නා, 20 සංශෝධනයත් සම්මත කරලා දුන්නා, අපිට රජෙක් ඉන්නවා කිව්වා. දැන් රජා මොකක්ද කියන්නේ එහෙට දුන්න නිසා මෙහෙට දෙන්න වෙනවා කියලා. ඕන්න රටකට ගිය කලක්. ඔන්න නායකයෝ. අංශක 180ක් හරවන්න ඕන කිව්වා. දැන් මොකද කියන්නේ. නැගෙනහිර ජැටියේ 100%ක අයිතිය බේරා ගැනීම වෙනුවෙන් පෙරට එන්න කියලා අපි වෘත්තීය සමිතිවලට හා ප්‍රගතිශීලී ජනතාවට ආරාධනා කරනවා. අපි කියන්නේ මෙය රටේ අයිතිය යටතේ තබාගනිමින් සංවර්ධනය කරන ආකාරය ගැන ජාතික කතිකාවක් ආරම්භ කරන්න. විවිධ දේශපාලන අදහස්, වෘත්තිය සමිති ලෙස බෙදීම් සියල්ල පසකට දමා සියලු දෙනාට මෙම අයිතිය බේරා ගැනීමේ සටනට තමන්ගේ පාර්ශ්වයෙන් කළ හැකි සියලු දේ කරමින් දායක වන ලෙස ඉල්ලනවා. අපි ආණ්ඩුවට කියන්නේ පාවා දීමේ මාවතේ ඉදිරියට යන්න සූදානම් වෙන්න එපා. ජනතාවගේ හඬට කන් දෙන්න කියලා. එහෙම නොවුණොත් ජනතාවත් එක්ක විකිණීමට එරෙහිව යෝධ පවුරක් ගොඩනගන්න අපි කටයුතු කරනවා.   

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්  වරාය අධිකාරිය විසින් මෙම ජැටිය නවීකරණය කළා. මෑතකදී තමයි විවෘත කළේ. විශාල ආදායමක් ලබමින් තිබෙනවා. නැගෙනහිර ජැටිය පාඩුයි, වරාය අධිකාරියට කරගෙන යන්න බැහැ කියන කතාවක් අදාලම නැහැ. ආණ්ඩුව පිළිගන්නවා වෙන දේශපාලන තත්වයක් මත තමයි ඉන්දියාවට දෙන්න වෙන්නේ කියලා. පහුගිය ආණ්ඩුවේ වැඩ නිසා දෙන්න වෙනවා කියන්නේ ලෝක බලතුලනය නිසා අපේ රටට මුහුණ දෙන්න වුණ තත්වයක්. රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියම තමයි වෙනත් රටවල් අපේ දේශපාලන බල තුලනයට ගෙනත් දාගත්තේ. හම්බන්තොට වරාය උනත් පාඩු ලබනවානම් අපි ආයෝජකයා ලෙස තෝරගත යුත්තේ චීනය නෙවෙයි. අපි කටයුතු කළ යුත්තේ නොබැදි පිළිවෙතට. නමුත් චීනය අපේ භූමියට වැද්දගත්තා. ඉන්දියාවයි චීනයයි අපේ රටට ඇතුළු වෙලා ඉවරයි. අපිව කොටු කරගෙන ඉවරයි. වැරැද්ද කළේ අපේ රටේ පාලකයෝ. ලාභපාඩු ප්‍රශ්නය අපිට විසඳගන්න පුළුවන්. පාඩු ලබනවානම් බලවත්තු එක්ක පටලගන්නේ නැතුව වෙනත් රාජ්‍යයක් සමඟ මේ වැඩේ කරන්න. දැනටත් කොළඹ වරායේ බටහිර කොටස සංවර්ධනය කරල නැහැ. ඒක සංවර්ධනය කරන්න පුළුවන්. ඇයි නැගෙනහිර ජැටියටම රිංගන්නේ. අපි කියන්නේ චීනයයි, ඉන්දියාවයි, ඇමරිකාවයි මේ වැඩේට ගාවගන්න එපා. අපේ රටේ දේශපාලනයට මේ රටවල් තමයි ඇඟිලි ගහන්නේ. මේ තුනෙන් අපි බේරෙන්න ඕනෑ. තව ලෝකේ ඕනෑතරම් රටවල් තියෙනවා. ලෝක බලතුලනයට අහුනොවෙන්නයි අපේ විදේශ ප්‍රතිපත්තිය තියෙන්න ඕනෑ. ආණ්ඩුවට කොන්දක් නැහැ ඒකට.  මේ දෙගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය එකයි. එක පැත්තක අපේකම, ජාතිවාදය ආගම්වාදය, දේශප්‍රේමය. අනෙක් පැත්තේ ලිබරල් ලයින් එක. නමුත් ආර්ථික ප්‍රතිපත්තිය දෙකම එකයි. රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන විගඩම  විදේශ රටවල් අපේ රටේ බින්නබස්සගන්න මූලික වුනා. ඒ අනුව තමයි හම්බන්තොට වරාය චීනයට අනූනව අවුරුද්දකට බදු දුන්නේ.  දූෂිතයින්ට දූෂිතයෝ ඕනෑ. ඒ නිසා තමයි අදානි සමාගම තෝරගන්න ඇත්තේ. මේ ආණ්ඩුවත් ගනුදෙනු කරන්නේ දූෂිතයින් එක්ක. අපි මෙතන ප්‍රශ්නය ලෙස ගන්නේ දෙන ආයතනය දූෂිතද නැද්ද? කළුද සුදුද යන්න ගැන නෙවෙයි. අපේ මූලික මාතෘකාව වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය 100% අපි සතුව තබා ගැනීම. වරාය 49% දුන්නම අපිට ඒ අයිතිය නැතිව යනවා. දෙන ආයතනය දූෂිතද නැද්ද කියන කාරණය ගැන ජනතාව දැනුවත් කිරීමත් ජන මාධ්‍ය ඇතුළු අපේ වගකීමක්.   

පැණිය වෙනුවෙන් පෙනී සිටි පාදෙණියට කොවිඩ් පොසිටිව් වෙන්න විදියක් නැහැ !

මම හිතන්නේ පාදෙණිය මහත්තයට කොවිඩ් පොසිටිව් වෙන්න විදියක් නැහැ. එතුමා පැණිය පාවිච්චි කරානේ. පැණිය වෙනුවෙන් පෙනී සිටි කෙනෙක් පාදෙණිය මහත්තයා. එතුමට ෂුවර් එකක් තියෙන්න ඕනෑ එතුමට පොසිටිව් වෙන්න විදියක් නැහැ කියලා. අපි දේශීය දේවල්වලට අකමැති නැහැ. අපි බොරුකාරයින්ට කැමති නැහැ. ගෝටාභය ජනාධිපතිතුමා ඥානක්කා බලන්න යනවා. මම දේශීයයි, රට වෙනුවෙන් පෙනී ඉන්නේ, දෙරණේ දේ වෙනුවෙන් පෙනී ඉන්නවා, දෙරණෙ පැණිය වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා ගෝටාභය මහත්තයා කියන්නේ ඇමරිකන් පුරවැසියෙක් නෙවෙයි කියන්න. නූල් පන්නන ඒවා, දෙහි කපන ඒවා අපේකම පෙන්නන දෙයක්. ඒ බලය වෙනුවෙන්. පාදෙණිය මහත්තයත් පෙනී ඉන්නේ ඒ වෙනුවෙන්.  අපේ රටේ නීතිය සාධාරණය ඉටුකෙරෙනවා කියලා ජනතාව විශ්වාස කරන්නේ නැහැ. අපි වුනත් විවිධ ආයතනවලට විවිධ පැමිණිලි කරනවා. අපි මේ ළගදි සීනි බදු වංචාව ගැන පැමිණිල්ලක් කළා. අපි මේවා කරන්නේ සාධාරණය ඉටුවෙයි කියන බලාපොරොත්තුවෙන්ම නෙවෙයි. මෙහෙම පැමිණිලි දැම්මාම ඒ ආයතන කොයිතරම් සාධාරණද නැද්ද කියන එක තවදුරටත් අපිට සමාජගත කරන්න පුළුවන්. මේ තීන්දුවලින් ජනතාව තුල නීතියේ හැසිරීම ගැන තව තවත් අලුත් බලාපොරොත්තු ඇතිවෙන්නේ නැහැ. රටේ අනාගතය ගැන බලාපොරොත්තුවක් නැහැ. ඒ තීන්දුවලින් තවත් රට වළපල්ලට යන බව තේරුම් ගන්න පුළුවන්.

අපි දේශපාලන ව්‍යාපාරයක්. අපි රට බෙදෙනවට කැමැති නැහැ. අපිට දේශපාලන ස්ථාවරයක් තියෙනවා. අපි තත්වයන් අනුව තමයි දේශපාලන තීන්දු තීරණ ගන්නේ. ආණ්ඩුව පැත්තෙන් කිව්වේ ඉදිරියේදී අලුත් ව්‍යවස්ථාවක් ගේනවා ඒ ව්‍යවස්ථාවෙදි පළාත් සභා ඇතුළු සියලු දේ ගැන හිතලා තීන්දුවක් ගන්නවා කියලා. ඒ නිසා පළාත් සභා සම්බන්ධයෙන් විදෙස් පුරවැසියන්ට මේ රටේ දේශපාලනයට සම්බන්ධ වීම ගැන වගේ කාරණා ගොඩක් ගැන සලකලා ගේනවා කියපු අලුත් ව්‍යවස්ථාවක් මේ අවුරුද්දේ ගේන්න කියලා අපි කියනවා. ඒ තුළ පළාත් සභා ප්‍රශ්නයත්, අනෙකුත් ප්‍රශ්නත් කළමනාකරණය කරලා ඉදිරියට මොකක්ද කරන්නේ කියලා බලන්න පුළුවන්. මේ මොහොතේ වසංගත තත්වය කලින්ට වඩා බරපතලයි. පළවෙනි වටේ රටට ගෙන්න ගැනීම ගැන අපිට විවේචනයක් තියෙනවා. පළමු වටේ මේක යම් පාලන තත්වයකට ගත්තා. දෙවන වටේ මුළුමනින්ම අසාර්ථකයි. දැන් පාර්ලිමේන්තුවටත් ආවා. හමුදාවටත් හැදෙනවා. දොස්තර මහත්තුරුන්ට හැදෙනවා. පැණිය ගහලා තියෙද්දි පාදෙණියටත් හැදෙනවා කියන්නේ තත්වය තවත් බරපතලයි. ඒ නිසා මේ තත්වය තුළ ඡන්දයක් පැවැත්වීම ගැටලුවක් තියෙනවා. ඒ වගේම පළාත් සභා සියල්ල ආණ්ඩුකාරවරුන් ලවා ජනාධිපති යටතට අරගෙන යන ක්‍රමයත් වැරදියි. ව්‍යවස්ථාවට අනුව මහජන නියෝජිතයෝ ඉන්න තැන්වලට මහජන නියෝජිතයෝ තෝරගන්න ඕනෑ. ජාතික වැඩපිළිවෙළක් නැති නිසා මේ සියල්ල කළමනාකරණය කරන්න බැරිවෙලා. ඒ නිසා ආණ්ඩුව තමයි සියල්ල  තීරණය කළ යුත්තේ.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න