රන්ජන්ගේ සහයට චන්ද්‍රිකාත් - විජයත් සිහිකර සටහනක් !

රන්ජන්ගේ සහයට චන්ද්‍රිකාත් - විජයත් සිහිකර සටහනක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සිව් අවුරුදු සිරදඬුවමක් ලැබීම සම්බන්ධව හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ආමන්ත්‍රණය කරමින් තබා ඇති එම සටහනේ "ටෙන්ඩර් සහ මහා පරිමාණ වංචා කළ සොරුන්, මිනීමරුවන්, ජාවාරම්කාරයින් නිදහසේ ඉතා ඉහළින් වැජඹෙන විට, අතිශයින් ම දූෂිත දේශපාලන සහ රාජ්‍ය තන්ත්‍රය පිරිසිදු කිරීමට අවංකවම උත්සාහ කිරීම නිසා, ඔබට අද සිරගත වන්නට සිදු ව තිබේ." යනුවෙන් ද දක්වා ඇත.

දිවංගත ජනප්‍රිය කලාකරුවකු වූ සිය සැමියා ගැයූ  "දඟගෙයි දඬුවම් සියුමැළි වැඩිනම්" ගීතයෙහි පද පෙළක්ද සමඟ  හිටපු ජනාධිපතිනිය තැබූ සම්පූර්ණ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

මා හිතවත් රන්ජන් Ranjan Ramanayake,

ඔබට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම සැලවීමෙන් විස්මයටත්, කණගාටුවටත් පත්වීමි. ඔබට මේ තත්ත්වය ඇතිවූයේ මේ රටේ මුළුමනින් ම දූෂ්‍ය වී තිබෙන රාජ්‍ය තන්ත්‍රයට එරහිව නිර්භයව හඬනැගීම හේතුවෙනි.

ටෙන්ඩර් සහ මහා පරිමාණ වංචා කළ සොරුන්, මිනීමරුවන්, ජාවාරම්කාරයින් නිදහසේ ඉතා ඉහළින් වැජඹෙන විට, අතිශයින් ම දූෂිත දේශපාලන සහ රාජ්‍ය තන්ත්‍රය පිරිසිදු කිරීමට අවංකවම උත්සාහ කිරීම නිසා, ඔබට අද සිරගත වන්නට සිදු ව තිබේ. මා ජනාධිපතිව සිටි අවධියේ දී මම ද, ඔබ අනුගමනය කළ ප්‍රවේශයට වඩා වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරමින් රටේ සියලු දූෂණ සහ අක්‍රමිකතා නැවැත්වීමට, අතිශය දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යභාරයක් ඉටුකළෙමි. අවාසනාවට මගෙන් පසු යුගය තුළ ඒ සියලු උත්සාහයන් උඩු යටිකුරු වී ගියේ ය.

කිසිදු විටෙක අධෛර්ය නොවන්න. යුක්තිය අගයන සියලු ජනතාව ඔබ සමග සිටින බැවින් සියල්ලටම ශක්තිමත්ව මුහුණ දෙන්න. කුමන අභියෝග සහ බාධා එල්ල වුවද, අපේ දේශයේ සුබසිද්ධිය වෙනුවෙන් අපි බොහෝ කැපවීමෙන් වැඩ කළ යුතු වෙමු. අයුක්තියට, අසාධාරණයට, දූෂණයට එරෙහිව ඔබ විසින් ආරම්භ කළ සටන වඩාත් ශක්තිමත්ව ඉදිරියට මෙහෙය වීමට ඔබට ආශිර්වාද කරමින් විජය මාමාගේ ගීත කොටසක් සිහිපත් කරමි.

"වරදට එරෙහිව අවි ඔසවන්නේ

රටකට දැයකට හිත ඇති මිනිසුන්

ශාන්තිවාදීව තපස් රකින්නේ

පිට කොඳු බිඳ ගත් ඔල මොල නිවටුන්”

 

මීට,

හිතවත්,

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න