Language Switcher

V2025

ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා - හියුමන් රයිට්ස් වොච් !

ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බරපතල ලෙස පිරිහී ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය 2021 ලෝක වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කර තිබේ. 

මානව හිමිකම් ක්‍රියාකාරීන්, අතීත අපයෝජනයන්ට ගොදුරු වූවන්, නීතිඥයින් සහ මාධ්‍යවේදීන් බිය ගැන්වීම සහ සෝදිසි කිරීමේ කටයුතු  රජයේ ආරක්ෂක අංශ විසින් වැඩි කර තිබේ. එසේම ශ්‍රී ලංකාවේ සුළු ජන කොටස් වන දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව කෙරෙහි සිදු කරන වෙනස් කොට සැළකීම් හා තර්ජනය කිරීම් පිළිබඳව ද එම වාර්තාව පෙන්වා දෙයි.

අධිකරණ ස්වාධීනත්වයට හානිවන සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම වැනි අධීක්ෂණ ආයතන දුර්වල කරන ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බව ද එම වාර්තාව තවදුරටත් පෙන්වා දී ඇත.  

මෙරට පැවති දීර්ඝ සිවිල් යුද්ධයෙන් පසුව සත්‍යය සෙවීම, වගවීම හා සංහිඳියාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ අනුගමනය කිරීමෙන් ද 2015 දී ශ්‍රී ලංකාව ඉවත් විය.  

හියුමන් රයිට්ස් වොච් හි දකුණු ආසියාවේ අධ්‍යක්ෂ මීනාක්ෂි ගංගුලි පැවසුවේ “පසුගිය ආණ්ඩුව විසින් ඇති කළ  මානව හිමිකම් ක්ෂේත්‍රයේ ප්‍රවණතා

රාජපක්ෂ පාලනය විසින් ඉතාම ඉක්මණින් ආපසු හරවා ඇති බවයි. සුළු ජන කොටස් අනාරක්ෂිත තත්වයට පත් වී ඇති අතර යුද සමයේ දී අපයෝජනයන්ට ලක් වූ වින්දිතයන් බිය ගන්වා තිබෙන බවත් එකී සිදුවිම් විවේචනය කරන්නන්ට කතා කිරීමට ඇති අයිතිය අහුරා ඇති බවත්  ඇය ප්‍රකාශ කර ඇත.

ඇය විසින් තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා‍ව පරිපාලන කටයුතු සඳහා විශාල මිලිටරි දායකත්වයක් ලබා ගැනීම හේතුවෙන් පශ්චාත් යුද සමයේදී පවා ජාතීන් අතර සංහිඳියාව ගොඩ නැගීමේ ක්‍රියාවලිය මන්දගාමී වීමට එය හේතු වී ඇති බව යි. මෙවැනි වටපිටාවක් තුළ සත්‍යය හා වගවීම සම්බන්ධයෙන් ජාතයන්තර සබඳතාවන්ගෙන් ශ්‍රී ලංකා රජය බැහැර වී ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ..    

එසේම 2009 දී අවසන් වූ සිවිල් යුද්ධයේදී තමා මෙන්ම තවත් යුද අපරාධවලට සම්බන්ධ චෝදනා ලද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැනි නිළධාරින් ආණ්ඩුවේ ඉහළ තනතුරුවලට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව ද  එම සංවිධාන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජනපති ජිනීවා පොරොන්දුවක් ඉටුකිරීමේ සූදානමක් !

මේ අතර අරුණ පුවත්පත වාර්තා කරන්නේ  ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මගින් ඉදිරිපත් කර ඇති චෝදනා හා එම චෝදනා සොයා බැලීමට පත්කළ කමිටු වාර්තා අධ්‍යයනය කිරීම සඳහා නව විශේෂ ත්‍රිපුද්ගල විමර්ශන කොමිෂන් සභාවක් (Commission of Inquiry) පත් කිරීමට ජනපතිවරයා සූදානම් බවය.එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

වාර්තාවන ආකාරයට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කොමිසම ඉදිරි සතියේදී පත් කෙරෙනු ඇත.

මේ පිළිබඳව කළ විමසීමකදී විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ පසුගිය වසරේ මානව හිමිකම් කවුන්සිල සැසි වාරයට සහභාගි වූ ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයා මෙවැනි කොමිසමක් පත් කිරීම පිළිබඳව දැනුම් දුන් බවයි.

‘‘දෙදාස් විස්සේ ජිනීවා සැසියට සහභාගිවුණු අවස්ථාවේදී අපේ විදේශ කටයුතු ඇමැතිවරයා පොරොන්දු වුණා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ගේ නායකත්වයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරනවා කියලා. මෙතෙක් කල් ඉදිරිපත්වුණු සියලුම කොමිෂන්වල වාර්තා, ඒ වගේම ජිනීවා යෝජනා සියල්ල අධ්‍යයනය කරලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට තමයි මේ කොමිසම පත් කරන්නේ. ඒ කොමිසම ඉතාමත් ඉක්මනින් පත් කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවා. බොහෝ විට ලබන සතියේ පත්කරයි’’ එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

මෙම කොමිෂන් සභාව මගින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවත්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ශ්‍රී ලංකාවේ වගවීම් පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව (දරුස්මාන් වාර්තාව) අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභාවේ අනාවරණයන් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ සියලුම වාර්තා අධ්‍යයනය කිරීමට නියමිතය.

මෙම කොමිසමේ නිර්දේශ ලබන මාර්තු මාසයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසි වාරයට ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා නොකරයි. කෙසේ වෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් වගන්ති නැවත සලකා බැලීම සහ එම පනත යටතේ රඳවාගෙන සිටින පුද්ගලයන්ගේ නඩු කඩිනම් කිරීම පිළිබඳ ජිනීවා වෙත තොරතුරු ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරන බව වාර්තා වේ.