වාසි ගජමිතුරන්ට විතරද ? වියත්මග තියරිය මේකද ? - ඉරාන්

වාසි ගජමිතුරන්ට විතරද ? වියත්මග තියරිය මේකද ? - ඉරාන්

රාජ්‍ය ආදායම් කඩාගෙන වැටී තිබෙන  මොහොතක ඩොලර් රටින් පිටවීම නැවත්වීම ට ආනයන සීමා කරනවා කියමින් භාණ්ඩ රැසක් ලයිස්තුගත කර ඇති නමුත් ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ට අයුතු ලාභ ලබන්න අවස්ථාව දීමෙන්  එක රටක් එක  නීතියක්   ප්‍රතිපත්තිය වැඩ කරන හැටි ඔප්පු වෙනවා යැයි ඉරාන් වික්‍රරත්න ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන්, ආණ්ඩුවේ ඉහළ තීන්දු තීරණ ගන්නන්,  රජයේ ආයතනවල ඉහළ නිලධාරීන්  ඒකාබද්ධව කරපු සීනි බදු වංචාව   රුපියල් කෝටි 1000 කට වැඩි ( රු. බි. 10 ට වැඩි )යැයි ද කී ඔහු  කොරෙනා එන්නත ආනයනය කිරීම සඳහා අවශ්‍ය කෝටි 1000 ව්‍යාපාරිකයන්ගෙන් නො ඉල්ලා එම සීනි වංචා මුදලෙන් ආනයනය කළ හැකි යැයිද පැවසීය.   පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මෙසේ අදහස් දක්වා සිටියේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6 ක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනාවක් අද (19) පාර්ලිමේන්තුවේ  විවාදයට ගනු ලැබූ අවස්ථාවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.

දැන දැන කරන වැරදි !

මේ රජය දැන දැන වැරදි කරන මිනිස්සු වගේ තමයි සීනි බදු වංචාව ට ඉඩ දී ඇත්තේ. ඒ තමයි දැන දැන වැරදි කරන මිනිස්සු, අතටම අහුවුණාම ගැලවීමට කියන කතා, අර කිතුල් ගහට නැගපු රා හොරා අයිතිකාරයගේ අතටම අහුවුණාම කිව්වේ, තණකොළ ඩිංගක් කපන්න ගහට නැග්ගා කියලා. අයිතිකාරයා ගහේ කොහෙද තණකොළ කියලා ඇහුවාම කිව්වේ, " ඔව්නේ, ගහේ තණකොළ නෑ නෙ, ඒකයි බිමට බහින්නේ කියලා"

දැන් බලන්න රාජ්‍ය ආදායම් කඩාගෙන වැටිලා. ඩොලර් රටෙන් පිටවීම නවත්වන්න කියලා  භාණ්ඩ රැසක ආනයනය සීමා කර තිබේ.  ඒත් ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ට අයුතු ලාභ ලබන්න අවස්ථාව දීලා. ඔන්න එක රටක් එක  නීතියක් වැඩ  කරන  හැටි.

ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන්, ආණ්ඩුවේ ඉහළ තීන්දු තීරණ ගන්නන්,  රජයේ ආයතනවල ඉහළ නිලධාරීන්  ඒකාබද්ධව කරපු මේ සීනි බදු වංචාව   රුපියල් කෝටි 1000කට වැඩි, මේ  කුප්‍රකට සීනි බදු වංචාව ගැන චෝදනාවට ආණ්ඩුව නිශ්චිත පිළිතුරක් දීලා නෑ. මේවා සංවිධානාත්මක මූල්‍ය අපරාධ.

මුදල් අමාත්‍යංශය, පාරිභෝගික සේවා අධිකාරිය, සතොස වැනි ආයතන ඒකාබද්ධව මෙවාට වග කිව යුතුයි.

රට සීනි නිෂ්පාදනවලින් ස්වයං පෝෂිත කරනවා යැයි කියමින් 2020 මැයි මාසයේ සීනි කිලෝවක් සඳහා රුපියල් 50ට ගැසට් කරපු ස්වයං පෝෂිත සීනි බද්ද, ශත 25 දක්වා අඩුකරන්න පසුගිය ඔක්තෝබර් මාසයේ 13වනදා ගහපු ගැසට් එකකින් පසුව තමයි මේ ගනුදෙනු වෙලා තියෙන්නේ.

මේ ගනුදෙනුව හෙළි උනාට පස්සේ සතොස සභාපති එතන පුටුවෙන් ඉවත් කරලා ප්‍රමිති ආයතනයේ සභාපති බවට පත්කළා. ආණ්ඩුව හදන්නේ  පුටු මාරු කරලා මේ හොරකම් වහන්නද ? වියත් මග තියරිය මේකද ?

වියත්මග තියරියට රට පාලනය කරන්නේ එහෙමද  ?

දැන් බලන්න , හොරු අල්ලන්න ආපු ආණ්ඩුව රු. කෝටි 1000ක, නැත්නම් රුපියල් බිලියන 10 කට අධික ජනතා මුදල් අහිමි කළේ ජනතාවට රු.85 ට සීනි දෙන්න කියලා වංචනික ලෙස ගැසට් ගහලා.

“කොවිඩ් වැක්සීන් එක ගේන්න කෝටි 1000ක් ණය ගන්න හදනවා. ව්‍යාපාරික ප්‍රජාවෙන් සල්ලි ඉල්ලමින් යනවා. කෝ අර ජන්දය කාළේ  කිව්ව කළමනාකරණ හැකියාව ? කවුරුත් නැද්ද මිනිස්සුන්ට වැඩක් කරන්න පුළුවන් දක්ෂයෙක් ? ඇත්තටම ව්‍යාපාරික ප්‍රජාව පස්සේ යන්නේ මොකටද ?” 

  මේ ආණ්ඩුවේ සීනි බදු  වංචාව සිදු නොකළා නම් ඒ සල්ලි මෙතන තියෙනවා. එහෙනම් ඒ සල්ලි වැක්සීන ගෙන්වීමට යොදාගන්න තිබුනා.

දැන් බලන්න අපේ ආණ්ඩුවට කොච්චර චෝදනා කළාද  බටහිර ගැති කියලා. අන්න  දැන් මේ ආණ්ඩුව බලයට ගේන්න  වැඩ කරපු ජාතිවාදී සංවිධාන මේ ආණ්ඩුව ආර්ථික ඝාතක නිලධාරීන් කිහිපදෙනකු ට ඕන විදියට වැඩ  කරනවා යැයි චෝදනා කරති.

මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය , ව්‍යාපාර ප්‍රතිපත්තිය ගජමිතුරු ව්‍යාපාරික කල්ලියකට  හැර අනෙක් සියල්ලන් තැති ගන්වන සුළුයි. රාජ්‍ය මූල්‍ය සහ ආර්ථික ප්‍රතිපත්තියම වෘත්තීය  කුලී ඝාතකයන් කිහිප දෙනෙකු පිළිබඳව සිහිපත් කරයි.

දැන් බලන්න මුදල් අමාත්‍ය, මහින්ද රාජපක්ෂ විසින් 2020 ඔක්තෝබර් මස 13 දින ප්‍රකාශයට පත් කරන ලද සීනි තීරුබදු අඩු කිරීමේ ක්‍රියාමාර්ගයට අදාල නියෝගය සහ ගැසට් පත්‍රය 2021 ජනවාරි මස 13 දින මධ්‍යම රාත්‍රියෙන්අවසන් වුනා.

 පසුගිය දින 90 ක් තුළ දී ආණ්ඩුවේ ගජමිතුරු  බහුජාතික 'විල්මාර් සමාගම' (Wilmar Trading) වෙළඳපළ සීනි ඒකාධිකාරිය අත්පත්කර ගෙන තිබේ.

මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග අනුව, දින 90 ක් තුළ මේ  සමාගම සීනි මෙට්‍රික් ටොන් 102,180 ක් ආනයනය කරලා. අනෙකුත් සමාගම් 14 ක්  ආනයනය කර ඇත්තේ සීනි මෙට්‍රික් ටොන් 71,366 ක් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ අර ශත 25 වාසිය උපරිමයෙන් ලබා ගත් ආණ්ඩුවේ ගජමිතුරු  සමාගම තෙමසක් තුල 59% ක වෙළඳපළ කොටසක් හිමි කර ගෙන

“කොහොමද වැඩේ. අපි වැරදි නම් නිවැරැදි කරන්න”. 2020 ජනවාරි 01 වෙනිදා සිට ඔක්තෝබර් 13 දක්වා මේ ආණ්ඩුවේ ගජමිතුරු සමාගම ආනයනය කර තිබුණේ සිනී මෙට්ට්‍රික් ටොන් 17,991 ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක්. එය ප්‍රතිශතයක් ලෙස 3.25% ක් වගේ සුලු කොටසක්.

එම කාලසීමාව තුල අනෙකුත් සමාගම් ආනයනය කර තිබුණ ප්‍රමාණය ටොන් 536,094 ක් වගේ ප්‍රමාණයක්. එය ප්‍රතිශතයක් ලෙස 96.75% ක්.

එහෙත් දින 90 ක් තුල ආණ්ඩුවේ ගජමිතුරු  සමාගමට 59% ක්  සහ අනෙකුත් සමාගම් වලට 41% වශයෙන් වෙළඳපළ කොටස මාරු වෙලා.

2020 ඔක්තෝබර් මස 13 දින රුපියල් 50/= ක් වූ සීනි සඳහා වූ විශේෂ ආනයන බද්ද -/25 ta අඩු කිරීම තුල එක් එක් පාර්ශවයන්ට  විවිධ අරමුණු තිබු බවක් පෙනුණා. ජීවන වියදම් කමිටුව හෝ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මෙම ක්‍රියාවට මැදහත්වුනා දැයි රජය ප්‍රකාශ කළ යුතුයි.

රුපියල් 50 බද්ද පනවන කොට කිව්වේ රට සීනි වලින් ස්වයං පෝෂණය කරන්න කියලා, එහෙත්  ඒ බද්ද ශත 25 ට අඩු කරනකොට ආණ්ඩුව කිව්වේ ඉහළ ගොස් තිබූ ජීවන වියදමට සහනයක් දෙන්න කියලා.

නමුත් මේ බදු අඩු කරන තීන්දුව  ජීවන වියදම් කමිටුව රැස්වෙලාද ? අපි දන්නේ නෑ !  මුදල් අමාත්‍යංශ හෝ අයවැය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමක් වුණාද මේකට ? අපි දන්නේ නෑ. ඒ නිසා රාජ්‍ය අංශයේ අරමුණ පැහැදිලි නෑ.  

රුපියල් 85 ට සීනි සඳහා ස්ථාවර මිලක් ගැසට් කරා. නමුත් ඒ වාසිය ජනතාවට ගියෙත්  නෑ. පාරිභෝගික අධිකාරිය වැටලීම් කරනවා දකින්න, අහන්න ලැබුණෙත් නෑ. ඒ කියන්නේ ආණ්ඩුව කියපු, ජනතාව හිතපු අපේක්ෂා ඉටුවෙලා නෑ. එහෙනම් කාගේ අපේක්ෂාවද ඉටුවුණේ?

ගජමිතුරු සමාගම නම්  සමාගමේ බන්ධිත ගුදම්වල තිබුණ සීනි ටොන් 8000 ක වගේ  ප්‍රමාණයට ශත 25 හේ තීරුබද්ද ගෙවා නිදහස් කරගෙන එවකට පැවති වෙළඳපළ මිල වූ රුපියල් 123 - 125 වගේ  මිලකට එම සීනි තොගය අලෙවි කරලා,  ඉහල ලාභයක් ලබාගත්තා.  කිලෝවකට අතිරේක රුපියල්. 49.75 ක ලාභයක් කියන්නේ හොඳ ගාණක්.රජයට ආදායම අහිමි වුනා පමණක් නොව නිෂ්පාදකයාට හෝ පාරිභෝගිකයාට කිසි දූ වාසියක් සැලසුනේ නෑ.

ඇයි මාධ්‍ය ඒ ගැන නිහඬ. ඒ කාලේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය අපේ වැරදි හා බැඳුම්කරය ගැනත් කථා කළා.නමුත් අද මාධ්‍ය බදු අඩු කිරීම ගැන ගජ මිතුරු සමාගමට උදව් කිරීම ගැන කථා කරන්නේ නෑ.

දැන් එතකොට කාගේ අරමුණද ඉටුවෙලා තියෙන්නේ ?

රාජ්‍ය ආදායම් නැත්නම් මහජන මුදල් නේද මේ ආණ්ඩුව ගජමිතුරු ව්‍යාපාරික කල්ලි වලට පොම්ප කරන්නේ. මේකද අර කිව්ව වෙනස ?

ඒ වගේම මතුකරන්න ඕන කරුණු කිහිපයක් තියනවා,

මුදල් අමාත්‍ය, මහින්ද රාජපක්ෂ විසින් 2020 ඔක්තෝබර් මස 13 දින ප්‍රකාශයට පත් කරන ලද නියෝගය සහ ගැසට් පත්‍රය 2021 ජනවාරි මස 13 දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. දැන් එය තවත් මාස 3කට දීර්ඝ කරලා.

ඒ අතරේ ගජමිතුරු  සමාගම ශත 25/= ක තීරු බද්දක් ගෙවා ආනයනය කරන ලද ටොන් ලක්ෂ ගණනක්  ගබඩා වල, අවුරුද්දකට ඇතිවෙන්න සීනි ඇති.

රුපියල් 85/= හේ උපරිම සිල්ලර මිල ගැසට් පත්‍රයත්  තවම ක්‍රියාත්මකයි. ඒ නිසා දැන්වත් සීනි මිල ඇත්තට පාලනය කරන්න. අඩුගාණේ ඒ වාසියවත් ජනතාවට දෙන්න. මේ ඉල්ලීම් දැන් කාගෙන් කරන්නද කියලා හිතාගන්න බෑ.

 මොකද රටේ තීන්දු, තීරණ, ගන්නේ  ප්‍රතිපත්ති හදන්නේ ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරික කල්ලියක් විසින් ද යැයි විමසනවා යැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රී වරයා මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්ණ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න