Language Switcher

V2025

එතෙරින් නිදහස් වුණා : ඒත් රටේ නිදහස කෝ ? සජිත්

"භාෂණයේ  නිදහස නැහැ .කතා කිරීමේ නිදහස නැහැ . ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඇහිරිලා. රාජ්‍ය මර්දනය ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාවන් අහිමි වෙලා. විසිවැනි සංශෝධනය තුළින් පාලනයේ බලපරාක්‍රමය තනි ආයතනයකට ගොනුවෙලා . යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ඒවායේ බලය අද පළුදු වෙලා .  රාජ්‍ය සේවය දේශපාලනීකරණයට ලක් කරලා . ඒ වගේම දේශපාලන හතුරුකම් ,පලිගැනීම් , දේශපාලන දඩයම් අද රටේ රජය ක්‍රියාත්මක කරන සුපුරුදු ක්‍රියාවලියක් බවට පත්වෙලා . කතා කිරීමේ නිදහස ඇහිරිලා නම් ,මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වෙනවා නම් , සමාජ මාධ්‍ය ජාලාවලට නිර්දය ලෙස පහර ගැසීම් සිදු වෙනවා නම් , ඇගිලි ගැසීම් සිදු වනවා නම් රටක් හැටියට අපි නැවතත් වරක් හිතන්නට ඕන රට තුළ තිබෙන නිදහස අපි තහවුරු කරගෙන තිබෙනවා ද?" යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  ප්‍රශ්න කරයි.
 
ඒ  දිවුලපිටිය කොටදෙනියාව ජනදුක විමසන "සත්කාරය"  විපක්ෂ නායක ජංගම සේවයට ඊයේ(01) එක්වෙමින්ය.
 
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.
 
 මිත්‍රවරුණි තව දින කිහිපයකින් අපි රටක් හැටියට අභිමානවත් දවසක් සමරනවා. ඒ තමයි අපේ නිදහස් දිනය. විදේශීය අදිරාජ්‍යවාදීන් ගේ ග්‍රහණයට ලක් වුනු අපේ මාතෘභූමිය එදා මහාමාන්‍ය ඩී එස් සේනානායක මැතිතුමාගේ නායකත්වයෙන් එෆ් ආර් සේනානායක, ඩී බී ජයතිලක , පොන්නම්බලම් රාමනාදන් , පොන්නම්බලම් අරුණාචලම් , සිද්දි ලෙබ්බේ ඒ වගේ නායකකාරකාදීන් රැසක් සියලුම ජාතීන් සියලුම ආගම් එකට එකතුවෙලා අපි අපේ රටේ නිදහස දිනා ගත්තා.
 
නිදහස් දිනය ලෙස  අපි සමරන්නේ විදේශීය පරදේසක්කාර බලවේග වලින්,අදිරාජ්‍යවාදී බලවේග වලින් රට මුදවලා ස්වාධීන  ස්වෙරී රටක් හැටියට අපි ජාත්‍යන්තරයට එකතු වුනු අවස්ථාව  යි. 
 
නමුත් මිත්‍රවරුනී ස්වරී රටක තිබිය යුතු දේශපාලන නිදහස අද රටේ රට වැසියාට අහිමි වෙලා තිබෙනවා.
 
භාෂණයේ  නිදහස නැහැ .කතා කිරීමේ නිදහස නැහැ . ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඇහිරිලා. රාජ්‍ය මර්දනය ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාවන් අහිමි වෙලා. විසිවැනි සංශෝධනය තුළින් පාලනයේ බලපරාක්‍රමය තනි ආයතනයකට ගොනුවෙලා . යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ඒවායේ බලය අද පළුදු වෙලා .  රාජ්‍ය සේවය දේශපාලනීකරණයට ලක් කරලා . ඒ වගේම දේශපාලන හතුරුකම් ,පලිගැනීම් , දේශපාලන දඩයම් අද රටේ රජය ක්‍රියාත්මක කරන සුපුරුදු ක්‍රියාවලියක් බවට පත්වෙලා . කතා කිරීමේ නිදහස ඇහිරිලා නම් ,මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වෙනවා නම් , සමාජ මාධ්‍ය ජාලාවලට නිර්දය ලෙස පහර ගැසීම් සිදු වෙනවා නම් , ඇගිලි ගැසීම් සිදු වනවා නම් රටක් හැටියට අපි නැවතත් වරක් හිතන්නට ඕන රට තුළ තිබෙන නිදහස අපි තහවුරු කරගෙන තිබෙනවා ද? .
 
 ඔව් අපි සතුටු වෙනවා, විදේශීය ආක්‍රමණික බලවේග  වලට යටත් වුණු රටක් නොවෙයි ශ්‍රී ලංකාව. මහාමාන්‍ය ඩී එස් සේනානායක මැතිතුමා ප්‍රමුඛ සියලුම ජාතීන් සියළුම ආගම් නියෝජනය කරපු ඒ ජාතික නායකයින්ගේ අප්‍රතිහත ධෛර්යය තුළින් ඒ නිදහස අපි ලබා ගත්තා . නමුත් අද රට ඇතුලත අභ්‍යන්තර අධිරාජ්‍යවාදී බලවේගයක් නිර්මාණය වෙලා තිබෙනවා. කිසිම දවසක මේ රටට නිදහස ලබා දුන්නු නායකයින් ප්‍රාර්ථනා කළේ නැහැ "තනි බලයක් " .ඒ සියලු දෙනාගේම අදහස වුනේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට බලය ක්‍රියාත්මක වීම. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි රටක් හැටියට හිතන්නට ඕන නිදහස සමරන මේ අවස්ථාවේ රට අභ්‍යන්තරයේ සැබෑ දේශපාලන නිදහසක් තිබෙනවා ද ? දේශපාලන පලිගැනීම් දේශපාලන දඩයම් සීග්‍රයෙන් ඉහළ ගිහිල්ලා පක්ෂ කේන්ද්‍ර කරගෙන පළිගැනීම් වැඩිවෙලා . අපේ රටට සේවය කරපු විවිධ නායක කාරකාදීන්ට ඉලක්කගත පහරදීම් වලට මුහුණදෙන්න සිද්ධ වෙලා තිබෙනවා . මේ රටේ ත්‍රස්තවාදීන්ගෙන් රට මුදවා ගන්නා සටනේ දී අපේ ෆීල්ඩ් මාෂල් තුමාගේ නායකත්වය තිස් වසරක යුද සාපය අවසන් කරලා ඒ නිදහසත් අපි ලබා ගත්තා . නමුත් අවසානයේ රටේ නිදහස කොච්චර පළුදු වෙලා තිබෙනවාද කිව්වොත් රට බේරාගත්තු ඒ නායකයාටත් සිද්ධ වුණා හිරගෙදර ජම්පර් එක ඇඟේ දාගන්න . හිරගෙදර වද වින්දා . දැන් අද දවස මොකක්ද වෙන්නේ ? අද දවසේ  විවිධ ක්‍රමවේද විවිධ උපක්‍රම හරහා අපේ රටේ නායකකාරකාදීන් ගේ දේශපාලන නිදහසත් පළුදු කරන්නට හදනවා. ඒ අයගේ ප්‍රජා අයිතිය ට මරු පහරක් එල්ලකිරීමේ පිඹුරුපත් සැකසෙමින් පවතිනවා . මේ වගේ මොහොතක ලක්ෂ දෙසිය විස්සක් අපේ රටේ ජනතාව මඳක් හිතන්නට ඕන සත්‍යවශයෙන්ම නිදහස් නිවහල් ශ්‍රී ලංකාව තුළ රට අභ්‍යන්තරයේ ඒ දේශපාලන නිවහල් භාවය ,නිදහස් භාවය තිබෙනවද?
 
ඒක අපි බරපතළ ලෙස ප්‍රශ්න කළ යුතු කාරණාවක්. විශේෂයෙන්ම මේ බල ප්‍රදේශය ගැන කතා කරනකොට පහුගිය කාලේ වැරදි ක්‍රියාවන් කරන අය ට , මේ මැතිවරණ කොට්ඨාසය මොනතරම් නිදහස තිබුණා වැරදි වැඩ කරන්න . තමුන්නාන්සේලා දන්නවා පරිසර හානිය කේන්ද්‍රකරගත් මහා බරපතළ ගැටලු මේ කොට්ඨාසයේ  සිදුවුණා. පරිසරය  වෙනුවෙන්, මිනිස්සු වෙනුවෙන් , පොඩි මිනිහා වෙනුවෙන් ඒ වගේ ම යුක්තිය සාධාරණය වෙනුවෙන් හඬක් නගපු මේ බල ප්‍රදේශය සංවිධායකවරයෙක් හැටියට කටයුතු කරපු රන්ජන් රාමනායක මැතිතුමා අපි මේ අවස්ථාවේ මතක් කරනවා. එතුමා වෙනුවෙන් යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්නට අපි සියලුම පියවරවල් ප්‍රජාතන්ත්‍රවාදීව නිත්‍යානුකූලව ගන්නට කටයුතු කරනවා. නමුත් කාලය එළඹිලා තියෙන්නේ අපේ රටේ ජනතාවටත් දේශපාලනික වශයෙන් ශක්තිමත් වෙලා ආඥාදායකත්වයට එරෙහිව නැගී සිටින්න  ,මහජන ස්වෛරීත්වය  සුරක්ෂා කරන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් නැගී සිටින්න. ප්‍රජාතන්ත්‍රවාදීව නිදහස්ව නිවහල්ව සාමකාමීව අපි නැගී සිටින්නට ඕන. තර්ජනයට ගර්ජනය  ට මර්දනයට රජයේ බලපෑම්වලට අපි යටත් වන්නට හොඳ නැහැ. අපිටම කියලා දැවැන්ත පෞරුෂත්වයක් තිබෙනවා. මේ අපේ රට දැවැන්ත පෞරුෂයක් තිබෙන රටක්. ඒ දැවැන්ත පෞරුෂත්වය තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් වලට අපි හිස නමන්නට හොඳ නෑ. 
 
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි සටන් කරන්නට ඕන. එන දවස පෙබරවාරි 4 වෙනිදා සැබෑ ශ්‍රී ලාංකිකත්වය ඉස්මතු කරමින් සද් ජාතිකත්වය මුදුන් පත් කරමින් අපි හැමෝම ගෞරවයෙන් ආඩම්බරයෙන් ගාම්භීරව , මහාමාන්‍ය ඩී එස් සේනානායක මැතිතුමාගේ නායකත්වයෙන් ඒ දිනාගත්තු නිදහස අපි සමරන්නට ඕන . ඒ වගේම රට ඇතුළාන්තයේ තිබෙන නිදහස අපිට ඇත්තටම තිබෙනවද ? අපිට ඒ  අවස්ථාව තිබෙනවද රට වැසියන් හැටියට? ඇත්ත වශයෙන්ම හොඳට හොයලා බැලුවොත් ඒක අපිට අහිමි වෙලා. දිනපතාම අහිමි වෙමින් පවතිනවා. දිනපතාම ජනතා අයිතිය නැති වෙනවා,ජනතා ස්වෛරීත්වය නැති වෙනවා, මේවා දිහා අපි නිහඬව බලා ඉඳලා හරි යන්නේ නෑ . මේ රටේ ජනතාවගේ දේශපාලන නිදහස වෙනුවෙන් අපි සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අරගලයක නියැලෙන්නට ඕන . ජනතාවාදී පොදු ජන අරගලය ක්‍රියාත්මක කරන්නට සමගි ජන බලවේගයේ  අපි සූදානම්. අපි හැමෝම අත්වැල් බැඳගෙන අපේ රටේ අභ්‍යන්තර දේශපාලන අයිතිය සුරකින්නට රටක් හැටියට භේදයෙන් තොරව නැගී සිටින්නට ඕන. 
 
දිවුලපිටිය ජනතාවට අපි පැහැදිලි ප්‍රතිඥාවක් ලබා දෙනවා, මේ  මැතිවරණ කොට්ඨාසයට තව අවස්ථා කිහිපයකදී පැමිණෙන්න බලාපොරොත්තු වෙනවා . මේ වගේ ජංගම සේවා පවත්වලා, විශේෂයෙන්ම  අපි බලාපොරොත්තු වන්නේ, මේ ජංගම සේවයෙන් පසුව ඒ ප්‍රශ්න ඉදිරිපත් කරපු සියලු දෙනාටම හැඟීමක් එන්නට ඕන මේ ජංගම සේවාව පැවැත්වීම තුළින් ප්‍රදේශයටත් යහපතක් වුණා , ජනතාවගෙත් යම් ප්‍රශ්න ප්‍රමාණයක් විසඳුණා කියලා. හොඳින් මතක තියාගන්න කිසි දිනක මේ රටේ ඉතිහාසයේ  විපක්ෂ නායක ජංගම සේවාවක් ක්‍රියාත්මක වෙලා නෑ . මේක අලුත්ම වැඩසටහනක් . මේ ඉදිරිපත් කරපු ප්‍රශ්න වලට සහන සලසන්නට අපිට රජයේ ප්‍රතිපාදන කියලා වෙනමම ලැබෙන්නේ නෑ මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන ඇරුණුකොට . නමුත් අපි මේ ප්‍රශ්න වලට මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන නොවේ විවිධ දායක වරුන්ගේ ,දායක මහත්ම මහත්මීන්ගේ , විවිධ පරිත්‍යාගශීලීන්ගේ ,දානපතියන්ගේ ආධාර උපකාරත් ලබාගෙන මේ අවස්ථාවේදී අපට දුක කියපු ජනතාවට පුංචි යම් හෝ මැදිහත්වීමක් තුළ සහනයක් සලසන්නට අපි කටයුතු කරනවා . 
 
විශේෂයෙන්ම තමුන්නාන්සේලාගේ ගැටලු වලට අපි සවන් දීලා හරාත්මක විසඳුම්, අංග සම්පූර්ණ විසඳුම් නොවුනත් පොඩි යම් හෝ සහනයක් ඒ ප්‍රශ්න ඉදිරිපත් කරපු පුද්ගලයින්ට ලබාදෙන්නට අදහස් කරනවා කියමින්  මම නිහඬ වෙනවා