Language Switcher

V2025

ජැටිය බේරගත්තේ ආණ්ඩුව නම් ඉන්දියාවට විකුණන්න හැදුවේ කවුද ?

"බටහිර පර්යන්තය පිළිබඳ සාකච්ඡාවක් පැමිණ තිබෙන්නේ වෘත්තීය සමිති, ප්‍රගතිශීලී ජනතාව, දේශපාලන පක්ෂ ඒකාබද්ධව නැගෙනහිර ජැටිය විකිණීමේ ආණ්ඩුවේ යෝජනාව පරාජය කිරීමෙන් පසුවයි. ආණ්ඩුවේ පක්ෂ දහයක් වෙනම සාකච්ඡාවක් කර, විකාර අදහස් පළ කරනවා. නැගෙනහිර ජැටිය බේරාගැනීම ආණ්ඩුවේ ජයග්‍රහණයක් බව ඔවුන් කියනවා. නැගෙනහිර ජැටිය 100%ක් වරාය අධිකාරියේ අයිතියට තබා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාට ස්තූති කළ යුතු බව කියනවා. දැන් එතකොට අපට නැගෙන ප්‍රශ්නය තමයි කවුද මේක ඉන්දියාවට දෙන්න උත්සාහ කළේ කියන එක. නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න හැදුවෙ වෘත්තීය සමිතිද? නැත්නම් ජනතාවද?" යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති ප්‍රශ්නය කරයි.

"ආණ්ඩුව මේක බේරගත්තා වගේ තමයි එයාලා කියන්න හදන්නේ. තමන්ට තිබෙන මාධ්‍ය බලය හා රාජ්‍ය බලය පාවිච්චි කරලා ජනතාවට වැරදි මතයක් කියන්න හදනවා. මේ සම්බන්ධව කලින් ගෙනාපු ගැසට් පත්‍රවලට එකඟතාවය පළකරලා ඒවා රැකපු පිරිස ඒ නිර්ලජ්ජිත උත්සාහය අසාර්ථක වුණාට පස්සේ, වෘත්තීය සමිති, ජනතාව පක්ෂ භේදයකින් තොරව එය පරාජය කළාට පස්සේ ඒකෙ ගෞරවය ආණ්ඩුවට සහ තමන්ට ගන්න හදනවා. මෙම කපටි ආරක්ෂකයින් විසින් ගන්නා උත්සාහය ජනතාවට හෙළිදරව් කළ යුතුයි." යනුවෙන්ද ඔහු අවධානරණය කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මේ බව සඳහන් කර සිටියේ අද (05) ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

නැගෙනහිර ජැටියේ 100%ක අයිතිය රැකගැනීම අද ජනාධිපතිවරයාගේ පුද්ගලික ජයග්‍රහණයක්ය කියන අය කටයුතු කළේ කොහෙමද කියන එක රටේ ජනතාව විසින් දැනගත යුතුයි. මේ ආණ්ඩුව මුල සිටම රනිල් - මෛත්‍රී ආණ්ඩුව ජපානය, ඉන්දියාව ඇඳාගෙන 2019 එළඹි අවබෝධතා ගිවිසුම ආරක්ෂා කරමින් ඉදිරියට ගෙන යන බව ප්‍රකාශ කළා. ඒ වෙනුවෙන් කැබිනට් පත්‍රිකා 02ක් දාලා ඒ ස්ථාවරය වෙනුවෙන් කටයුතු කළා. කලින් ඇතිකරගනු ලැබූ අවබෝධතා ගිවිසුම වෙනස් කරන්න බැහැ කියලත්  ප්‍රකාශ කළා. හැබැයි අපි දැක්කා වෘත්තීය සමිතිවල එකමුතුභාවය විසින් එය වෙනස් කළා. අද ආණ්ඩුව එහෙම කතාවක් කියන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තීරණය වෙනස් කළේ ආණ්ඩුව නොවෙයි; ජනතාව විසිනුයි. වැඩකරන පංතියේ ජනතාව විසින් වෙනස් කළ නොහැකි දෙයක් නැති බව ඔප්පුකොට තිබෙනවා. 

ආණ්ඩුව විකිණීමට හේතු විදිහට විවිධ දේ කිව්වා. රනිල්-මෛත්‍රී ආණ්ඩුව විසින් 2019 ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමක් තිබෙන බවත් කිව්වා. අනෙක් තර්කය වුණේ වරාය අධිකාරියට මුදල් නැති බව. 2020 ජුනි 09 ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ කැබිනට් පත්‍රිකාවෙත් ඔක්තෝබර් 22 රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයාගේ කැබිනට් පත්‍රිකාවෙත් ඉතාම පැහැදිලිව වරායට මුදල් නැති බව කියනවා. අනෙක ප්‍රති අපනයනවලින් 66%ක් ඉන්දියාවට කරන නිසා ඒ වෙළඳපොළ අහිමිවෙන බව කිව්වා. ඒ අහිමිවීම වළක්වා ගන්න ඉන්දියාවට නොදී බැහැ කිව්වා. හම්බන්තොට චීනයට දුන්නු නිසා කොළඹ වරාය ඉන්දියාවට දෙන්න වෙනවා කිව්වා. වෙන කරන්න දෙයක් නැහැ කිව්වා. 

ජැටිය 100%ක් ගන්න යන බව ව්රිත්තිය සමිති සාකච්ඡාවේදී නොකිව්වේ ඇයි ?

වෘත්තීය සමිති, දේශමාමක ජනතාව මේ තීරණය ආපහු හැරෙව්වාට පස්සේ ඒ හේතු පැත්තකින් තියලා ආණ්ඩුවේ ජයග්‍රහණයක් කියනවා. අපට මතකයි ජනාධිපතිවරයා වරාය වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් ලබාදුන්නා. ඒකෙදි ජනාධිපතිවරයාට නැගෙනහිර ජැටියේ 100%ක අයිතිය වරාය අධිකාරියට ගන්න බව වෘත්තීය සමිතිවලට කියන්න තිබුණා. එහෙම කිව්වා නම් එදාම ප්‍රශ්නය ඉවරයි. වෘත්තීය සමිතිවලට උද්ඝෝෂණ කරන්න, අකුරට වැඩකරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එදා කිව්වේ 51%ක් තියාගෙන 49%ක් ‘අදානි’ සමාගමට දෙන්න වෙනවා කියලා. ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා ලංකාවට ආපු වෙලාවෙ කිව්වෙත් ඒකයි. ආණ්ඩුව එම එකඟතාවයට අනුව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතේ අද කියන්නේ ඒකයි. අද ජනාධිපතිවරයාට ස්තූති කරන කට්ටිය එදා කොහේද හිටියේ. එයාල මේවා දැක්කේ නැද්ද? අද ඔවුන් කතා කරන්නේ කටින්ද වෙන තැනකින්ද කියලා අපිට අහන්න වෙන්නේ ඒ නිසයි.  

ආණ්ඩුව දිගටම හිටි ස්ථාවරය තමයි, ඉන්දියාව විසින් නම් කරනු ලබන සමාගමකට නැගෙනහිර ජැටිය දෙන්න වෙනවා කියන එක. සෑම කැබිනට් පත්‍රිකාවකම ආණ්ඩුවේ ආර්ථික නොහැකියාවත් ‘අදානි’ සමාගමේ හැකියාවත්, එයට ජැටිය ලබාදීමේ අවශ්‍යතාවත් පැහැදිලි කර තිබුණා. ‘අදානි’ සමාගමට ඩොලර් බිලියන 30ක වත්කම් තිබෙන බව, ඔවුන් ඉන්දියාවේ දරන බලවත් තැන, පෙන්වා දුන්නේ නැගෙනහිර ජැටිය 100%ක් වරාය අධිකාරිය යටතේ තියා ගන්න නොවේ. රනිල්-මෛත්‍රී ගිවිසුම පෙන්නුවෙත් රටේ නොහැකියාව පෙන්නුවෙත් ‘අදානි’ගේ හැකියාව පෙන්නුවෙත් මෙම ජැටිය ඉන්දියාවට ලබාදෙන්නයි. ජනාධිපතිවරයාට ස්තූති පළකරන්න මාධ්‍ය හමු තියන විමල් වීරවංශ අමාත්‍යවරයා අද කියනවා, රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව සංකල්ප පත්‍රිකාවක් විතරයි කියලා. මේක කන්න ඕන වුණාම කබරයා තලගොයා කරගන්න කතාවක්. එදා එයාලගේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අහපු නැති ප්‍රශ්නයක් තියෙනවා. මේ හැම කැබිනට් මණ්ඩලයකම විමල් වීරවංශ, ගම්මන්පිල, වාසුදේව නානායක්කාර කැබිනට් ඇමතිවරු විදිහට හිටියා. රෝහිත මේක විකුණන්න කැබිනට් පත්‍රිකාව ගේනකොට ඔය දේශමාමක යැයි කියාගන්නා ඇමතිවරු කොහේද හිටියේ. ඔවුන් ඒකට විරුද්ධව ඉදිරිපත් කරපු සංශෝධන මොනවාද? එතකොට ‘මීක්’ කියන්නේ නැතිව ඉඳලා ඇමති මණ්ඩලේ පුටු අස්සේ හැංගිලා ඉඳලා, දැන් මේක ජනතාවගේ විරෝධතාවය නිසා දෙන්න ගිය ගමන වැළැක්වුණාට පස්සේ මාධ්‍ය සාකච්ඡා තියලා වීරයෝ වෙන්න හදනවා. වෘත්තීය සමිති විසින් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා මේක දෙන්න වෙන්නේ නැහැ කියලා ආණ්ඩුව ඇතුළෙන් තොරතුරු ආවාට පස්සේ ඒකෙ ලකුණු දාගන්න ඔවුන් අද කතා කරනවා. අපි මේකට විරුද්ධයි කියලා කට ඇරියේ අකුරට වැඩකිරීමේ දෙවැනි, තුන්වැනි දවස්වල. මේක දෙන්න වෙන්නේ නෑ කියලා හරියටම දැනගත්තට පස්සේ කාඩ්බෝඩ් වීරයෝ එළියට බැස්සා. 

කාර්ඩ්බෝඩ් වීරයෝ ගෙනාව සංශෝධන මොනවද ?

අපි අභියෝග කරනවා ඔය කියන කාඩ්බෝඩ් වීරයෝ, දේශප්‍රේමී සළු පොරවාගත්ත අය රෝහිතගේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරපු වෙලාවේ දීපු සංශෝධන මොනවාද කියලා රටට කියන්න. අපි වහල්ලු නොවෙයි කියලා වැඩේ අකුළා ගත්තට පස්සේ මාධ්‍යයට ඇවිත් බොරු සද්ද දාලා වැඩක් නැහැ. මෙයාලා ඒ වෙනකම් කොහේද හිටියේ. පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය කී වතාවක් රැස්වුණාද? ලැජ්ජා සහගතම දේ තමයි, මේ විකිණීම නතර කිරීමේ වටිනාකමත් කොල්ලකන්න දඟලන එක. ‘වෘත්තීය සමිතිවල අරගලය නිසා විකිණීම නතර කරගන්න ලැබුණා, ඒ ගැන අපි සතුටුයි’ කියලා  කිව්වා නම් කමක් නැහැ. ඒ වෙනුවට එයාලා කියන්නේ 100%ක් වරාය අධිකාරිය යටතේ තියාගන්න ජනාධිපතිවරයා තීරණය කළා කියලා. මේක කොහොමත් තිබුණේ වරාය අධිකාරිය යටතේ  තමයි. ඒක ‘අදානි’ සමාගම යටතේ තිබිලා හරි, ඉන්දියාව යටතේ තිබිල හරි වරාය අධිකාරියට ගත්තා නෙවෙයි. මේක වරාය අධිකාරිය යටතේ තිබිලා ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් ඉන්දියාවට දෙන්න හදපු තීරණය තමයි නතර කරගත්තේ. මේක මේ තරම් අවධාරණය කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ මේ වගේ පරම සත්‍යයක් අද විකෘති කරන්න හදන නිසයි. විකුණන්න හදපු ආණ්ඩුව අද මේක බේරගත්තා කියලා බොරු මිථ්‍යා මතයක් සමාජගත කරන්න උත්සාහ කරන නිසයි. විකිණීම හෙළා දැක්කා හා සමානවම මේ ලැජ්ජා නැති උත්සාහයත් හෙළා දැකිය යුතුයි. වෘත්තීය සමිතිවල, ජනතාවගේ මේ සටන හෑල්ලු කරන්න දෙන්න බැහැ. 

වහල්ලු නෙවෙයි කියනකොටම තේරෙනවා වහල්ලු කියලා !

ආණ්ඩුව ඇතුළේ ඉන්න අපි වහල්ලු නොවෙයි කියලා එයාලා කියන එකෙන්ම තේරෙනවා ඒගොල්ලො වහල්ලු කියලා. ඊළඟ කාරණය, මේව සංකල්ප පත්‍රිකා නොවෙයි, මේවට අනු කමිටු පිහිටෙව්වා, තීන්දු තීරණ ගත්තා, ඒ තීන්දු ක්‍රියාත්මක කිරීමේ මට්ටමට ආවා. සංකල්ප පත්‍රිකාවල ක්‍රියාමාර්ග නැහැ. අදහසක් විතරයි තියෙන්නේ. එහෙම ක්‍රියාමාර්ග තිබුණු නිසා තමයි මේක අවලංගු කරලා, මේක විකුණන්නේ නැහැ කියන්න නව කැබිනට් පත්‍රිකාවක් දාන්න සිද්ධ වුණේ. ආණ්ඩුවත් ආණ්ඩුවට කඩේ යන මේ දේශපාලන නායකයොත් දෙබිඩි පිළිවෙතකින් කටයුතු කරන බව අපට පේනවා. ඔවුන්ට තියෙන්නෙ කන්න ඕන වුණාම කබරගොයත් තලගොයා කරන ගන්න න්‍යායක්. 

ඇත්තටම මේ ක්‍රියාමාර්ගය ගත්තේ කොහොමද? වරාය වෘත්තීය සමිති ව්‍යාපාරය පක්ෂ භේදයකින් තොරව, ආණ්ඩුවේ වෘත්තීය සමිති පවා එකට එකතුවී ගෙනගිය අරගලය, උද්ඝෝෂණය නොතිබුණා නම් ආණ්ඩුව මෙම තීරණය ගනීද? කොවිඩ් වසංගත තත්වය නිසා කියලා වෘත්තීය සමිති ව්‍යාපාරයට අරගල කරන්න බැරි වුණා නම් ආණ්ඩුව මේ තීරණය ගන්නේ නැහැ. වෘත්තීය සමිති එකමුතු වුණා. වරාය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ආරම්භ කළා. ජනවාරි 12වැනිදා ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි විශාල පිරිසක් සහභාගි කරගෙන, ගාලු මුවදොර ජන පවුරක් නිර්මාණය කළා. එදා තමයි ජනාධිපතිවරයාට වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් දෙන්න සිද්ධ වුණේ. ඒතරම් දැවැන්ත උද්ඝෝෂණයක් කෙරෙද්දිත් ජනාධිපතිවරයා වෘත්තීය සමිතිවලට කිව්වේ “මට වෙන කරන්න දෙයක් නෑ, මම මේක දෙනවා” කියලයි. එදත් හිටියේ දෙන තීරණයේ. වෘත්තීය සමිතිවලට කිව්වෙත් 49% අයින් කරලා 51% ගැන කතා කරන්න කියලා. ආණ්ඩුව සිටි ස්ථාවරය තමයි 51%නුත් කොටසක්, කොටස් වෙළඳපොළට දාලා තවත් පෞද්ගලික අංශය සම්බන්ධ කර ගන්නවා කියන එක. ඒ නිසා තමයි වෘත්තීය සමිති ව්‍යාපාරයට ක්‍රියාමාර්ග දැඩි කරන්න සිද්ධ වුණේ. ඔවුන් මහානායක හිමිවරුන් මුණ ගැසුණා. 29 වැනිදා ඉඳලා අකුරට වැඩිකිරීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. පෙබරවාරි 01වැනිදා ගත්ත තීරණය එදා වෘත්තීය සමිතිවලට කිව්වා නම් අකුරට වැඩකිරීමේ ව්‍යාපාරයක් එන්නේ නැහැ. රට පුරා උද්ඝෝෂණ කරන්න අපිට සිද්ධ වෙන්නේ නැහැ. ඉන්දියාවත් ආණ්ඩුව එකඟතාවයට අනුව කටයුතු කරනවා ඇතැයි සිතුවේ එම තත්වය තුළයි. 

වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් පරාජය කරනු ලැබුවේ රනිල්-මෛත්‍රී එකඟතා ගිවිසුම පමණක් නොවෙයි. මේ ආණ්ඩුව ඉන්දීය විදේශ අමාත්‍යවරයාට වුණු පොරොන්දුවත් පරාජය කර තිබෙනවා. එසේ නැතිව තීරණය වෙනස් කළේ ආණ්ඩුව නියෝජනය කරන මේ කසිකබල් දේශපාලන නායකයෝ නෙමෙයි. මේ යෝජනාව ගේන වෙලාවේ හැංගිලා හිටපු ඒවට අත උස්සපු දේශපාලන නායකයෝ නෙවෙයි ඒ තීරණය පරාජය කළේ. අද ඉන්දියාවට අපට අත තියන්න අයිතියක් නැහැ කියලා කියන නායකයෝ එදත් ඉන්දියාවට මොකුත් කිව්වේ නැහැ. අවසානයේ ජනතාවත් වෘත්තීය සමිතිත් එකතු වෙලා මේක පරාජය කළාට පස්සේ දැන් විවිධ දේ කියන්න හදනවා.  දැන් බටහිර ජැටිය ගැන කතාවක් ඇවිත් තියෙනවා. ඒකට සෞභාග්‍යයේ දැක්මත් එකතු කරගෙන තිබෙනවා. දැන් ඒ පොත පෙන්නලා අපිට කියනවා බටහිර ජැටිය දෙන්න එකඟතාවක් තියෙනවා කියලා. බටහිර ජැටිය දුන්නාට කමක් නැහැ කියනවා. කඩේ නායකයෝ කියනවා නැගෙනහිර බේරගත්ත නිසා බටහිර ජැටිය බටහිර ඉන්දීය කොදෙව්වන්ට දුන්නත් කමක් නැහැ කියලා. සෞභාග්‍යයේ දැක්මට අනුව කටයුතු කළාද නැද්ද කියන එක ඒක කියෙව්වාට පස්සේ පැහැදිලි වෙනවා. ඒකෙ තියෙන්නේ ‘දැනට මෙහෙයුම් නොකරන නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් නොපමාව ආරම්භ කර, එහි ඉතිරි කොටසද නොපමාව ඉදිකරනු ඇත’ කියලා. එහෙම නම් මේක ඉන්දියාවට දෙන්න යෝජනාවක් ආවේ කොහොමද? සෞභාග්‍යයේ දැක්මට අනුව කටයුතු කළා නම් මෙහෙම කැබිනට් පත්‍රිකාවක් ගේන්න බැහැ. ‘බටහිර ජැටියේ ඉදිකිරීම් කටයුතු පෞද්ගලික අංශයේ ආයෝජන යොදා ගනිමින් සංවර්ධනය කරනු ලැබේ’ කියලා කියනවා. ඒ පෞද්ගලික ආයෝජන ලංකාවෙන්ම ගන්නවාද විදේශ ඒවාද කියලා මේකේ නැහැ. ඒවායේ ප්‍රතිශත මේකේ නැහැ. දැන් හොරාට කලින් කෙහෙල්කැන වැට පැනලා වගේ දැන් 85%ක් ඉන්දියාවට දෙන බව කියනවා. එහෙම කතාවක් කොහේද තියෙන්නේ. 85%ක් රජය යටතේත් තියෙන්න පුළුවන්. 85%ක් ඉන්දියාවට දෙන බවක් කොතනකවත් නැහැ. දැන් නංගි පෙන්නලා අක්කා දෙන්න හදන්නේ. නැගෙනහිර ජැටිය විකුණන් බැරිවුණ නිසා බටහිර ජැටිය දෙන්න හදනවා. බටහිර ජැටිය දෙන්න ජනවරමක් ලැබුණු බව කියනවා. මේ පෞද්ගලික ආයෝජන කියන වචනෙට මුවා වෙලා ඉන්දියාවට හරි, ජපානෙට හරි, කාට හරි දෙන්න අයිතියක් නැහැ. පෞද්ගලික ආයතන කියන්නේ ඉන්දියාව නෙවෙයි. පෞද්ගලික ආයතන ලංකාවෙත් තියෙන්න පුළුවන්. ඒකට විනිවිද භාවයක් තියෙන්න ඕනෑ. ටෙන්ඩර් කැඳවීමක් තිබෙන්න ඕනෑ. කාටත් ඉදිරිපත් වීමේ අවස්ථාවන් තිබිය යුතුයි. ඒ සම්බන්ධ කරගන්නෙ මොන ප්‍රතිශතයකින්ද කියලා වෙනම තීරණය කරන්න ඕනෑ. සෞභාග්‍යයේ දැක්මේ වරාය ගැන කියන මේ පිටුවේම හම්බන්තොට වරාය ගැනත් තියෙනවා. 

සෞභාග්‍ය දැක්මේ මෙහෙමත් තියනවා !

‘හම්බන්තොට වරාය ගිවිසුම සංශෝධනය කිරීමට චීන රජය සමග රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා නොපමාව ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබේ’ කියලා තිබෙනවා. දැන් ආණ්ඩුවට අවුරුද්දක් වෙනවා. කවද්ද මේ සාකච්ඡා ආරම්භ කළේ. ඒ ‘නොපමාව’ කියන වචනයේ තේරුම මොකක්ද? මෙයාලා මේ පොරොන්දුවලට අනුව කටයුතු කරයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මේ කියන්නේ මතක් කිරීමට පමණයි. ආණ්ඩුව නැගෙනහිර ජැටිය ලබාදීමට සියල්ල කරලා අසාර්ථක වූ තැන බටහිර ජැටිය දීමට සෞභාග්‍ය දැක්මේ වචනෙක එල්ලෙනවා. ඒක දියේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ. ඔවුන්ගේ තිබෙන්නේ ජාතික සම්පත් රැකගැනීමේ උත්සාහයක් නොවේ. කොහොම හරි, මොකක් හරි විකිණීමේ උත්සාහයක්. මේ රටේ වෘත්තිය සමිති ව්‍යාපාරය, ප්‍රගතිශීලී, දේශමාමක ජනතාව ජාතික සම්පත් විකුණන්න දෙන්නේ නැහැ කියන එක ඔප්පු කරලා ඉවරයි. මේ ජනතාව එකතු වුණොත් දිනන්න බැරි සටනක් නැහැ කියන එකත් ඔප්පුවෙලා තියෙනවා. කොළඹ වරාය මේ රටේ අනාගත පරම්පරාවට තියෙන්න ඕනෑ කියලා විශ්වාස කරපු, තමන්ගේ රැකියාව ජීවිත අවදානමක තියලා සටන් කරපු වෘත්තීය සමිත,ි සැබෑ දේශප්‍රේමී ජනතාව, වරාය සුරැකීමේ ව්‍යාපාරය, ඒකට ඉතසිතින්ම සහාය දුන්නු මාධ්‍ය ආයතන, සමාජ ක්‍රියාකාරීන්, දේශපාලන ව්‍යාපාර ඒ සියලු දෙනාගේ අවංක උත්සාහක කැපකිරීමක ප්‍රතිඵලයක් ලෙස විකුණන්න ගිය නැගෙනහිර ජැටිය අපි ආරක්ෂා කරගෙන තියෙනවා.  ආණ්ඩුව හෙට දවසේ ලෑස්ති වෙනවා නම් කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොටුපොළ, මත්තල ගුවන්තොටුපොළ, බටහිර ජැටිය, ගොවිබිම්, වනාන්තර පොදුවේ ඊළඟ පරම්පරාවේ ජාතික සම්පත් තමන්ගේ බූදලයක් හැටියට හිතලා විකුණන්න උත්සාහ කරනවා නම් ඒක පරාජය කරන්න පුළුවන්ය කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒ විශ්වාසය ජනතාවට ලැබිලා තියෙනවා. ඒ විශ්වාසය බොඳ කරන්න තමයි ‘මේක ආණ්ඩුවේ ජයග්‍රහණයක්ය’, ‘ජනාධිපතිවරයාගේ පුද්ගලික මහන්සියක්ය’ කියලා කියන්න හදන්නේ. මේ තත්වය තුළ අපි ජනතාවට ආරාධනා කරනවා, නැගෙනහිර ජැටිය බේරාගත්තා වගේ කොළඹ වරායේ බටහිර ජැටිය විතරක් නොවෙයි අනෙක් සියලු සම්පත් ආරක්ෂා කර ගැනීමේ ජාතික අරගලයට එකතු වෙන්න කියලා. ඒ වෙනුවෙන් පුළුල් මහජන ව්‍යාපාරයෙක් ගොඩනැගීමේ වුවමනාව තිබෙනවා. පක්ෂයක් ලෙස අපි අපේ උපරිම ශක්තිය ඒ වෙනුවෙන් ලබාදී තිබෙනවා. ඒ වගේම හෙටත් ලබාදෙන්න සූදානම්. 

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්

හම්බන්තොට වරාය විකිණීමේදීත් අපි මෙලෙසම උද්ඝෝෂණය කළා. ඒ මොහොතේ එයට ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ එදා ගත්ත වැරදි, අමනෝඥ තීරණය නිසා තමයි ඉන්දියාවට මේ වරාය ඉල්ලන්න හැකියාව ලැබුණේ. එදා වෘත්තීය සමිතිවල එකතුවීමත් මේ තරම් ශක්තියක් තිබුණේ නැහැ. අපි පක්ෂයක් ලෙස කොළඹත්, හම්බන්තොටත් දැවැන්ත උද්ඝෝෂණ කළා. කොළඹදී කඳුළු ගෑස් එල්ල වුණා.

හම්බන්තොට වරාය විකුණන්න ගෙනාව යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවට පස්සේ ඒකට පක්ෂව ඡන්දය දුන්නේ 07දෙනයි. ඒකාබද්ධ විපක්ෂය කියල හිටපු අය පාර්ලිමේන්තුවෙන් බැහැලා ගියා. එදා එයාලගෙ වෘත්තීය සමිති කළේත් ඒ දේම තමයි. රනිල්-මෛත්‍රී ආණ්ඩුවට හම්බන්තොට වරාය විකුණන්න අනියමින් උදව් කළා. ඉන්දියාව මේ බලපෑම් කරන තත්වයට පත්කරලා තියෙන්නේත් පාලකයෝම තමයි. එයාලා සාකච්ඡාවට ගියේ ජනතාව එක්ක නොවෙයි. ඉන්දියාව එක්ක. එයාල ඉන්දියාවේ නායකයන්ට දීපු පොරොන්දු අපි දන්නේ නැහැ. ‘අදානි’ව නම් කරලා දෙන්න තීරණය කළේ එයාල යටි එකඟතා තිබුණු නිසයි. ඒ අනුව අද ඉන්දියාවෙන් එල්ල වන බලපෑම්වල වගකීම නැගෙනහිර ජැටිය රැකගන්න කටයුතු කරපු වෘත්තීය සමිති, ප්‍රගතිශීලී ජනතාව විසින් ගන්න ඕන නැහැ. ඒකට වගකියන්න ඕනෙ මේ හොර සාකච්ඡා කරපු නායකයෝ. 

මානව හිමිකම් කොමිසම රැස්වන කාලය වන විට රට තුළ ඒ පිළිබඳ සාකච්ඡාවක් මතුවෙනවා. මේ මානව හිමිකම් කොමිසමේ පිළිබඳ ඇති වන සාකච්ඡාවලින් වාසි ගන්නේ දෙතුන් පැත්තේම ජාතිවාදීන් විසිනුයි. මානව හිමිකම් යෝජනාවලට අනුව ජාතිවාදීන්ට මතුවෙන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. පීඩාවට පත් ජනතාවට කිසිම දෙයක් මේ සංවාදයෙන් ලැබී නැහැ. උතුරේ ජනතාවගේ දුක්ගැනවිල්ල උතුරේ ජාතිවාදයටත් මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කළ දෙයක් දකුණේ ජාතිවාදයටත් පාවිච්චි වෙමින් තිබෙනවා. ණය ගැන, බඩු මිල ගැන, රටේ ප්‍රශ්න ගැන කොරෝනා ප්‍රශ්න ගැන, රටේ මිනිසුන්ට වෙන පීඩාව ගැන, අලි ගහලා මැරෙන මිනිස්සු ගැන, හාල් මිල වැඩිවීම ගැන, පොල් 120/- වුණු එක ගැන ප්‍රශ්නේ පැත්තකට ගොස් තිබෙනවා. මේක කිසිම වියදමක් වෙන්නැති සාකච්ඡාවක්. විදුලි පුටුවට ගෙනියනවා කියන සාකච්ඡාවේ ඉඳලා හැමදාම වෙලා තිබෙන්නේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව අරගෙන ආණ්ඩුව ජාතිවාදය අවුස්සනවා. එතකොට රටේ ප්‍රශ්න ටික ජනමාධ්‍යවලින් යට යනවා. ජගත් මානව හිමිකම් කොමිසමේ අයයි ආණ්ඩුවයි අතරේ එකඟතාවයක් තියෙනවා කියලා හිතෙන තරමට මෙය  ප්‍රබලයි. මාර්තු මාසෙ කිට්ටු වෙනකොට වාර්තාව එනවා. ආණ්ඩුව ඒ වාර්තාවෙන් යැපෙනවා. මේ නාට්‍යය අපි අවුරුදු කීයක් බලලා තියෙනවාද? ආණ්ඩුවේ රට පාලනය කිරීමට තියෙන නොහැකියාව ජාතිවාදයෙනුයි ආගම්වාදයෙනුයි වහගන්නවා. වෙන මොකුත් වෙන්නේ නෑ.