කුණු කතා අදින් අවසන් ....කසල අකුසලයෙන් රට මුදා ගනිමින් ඇමති ඩලස් කියයි.

කුණු කතා අදින් අවසන් ....කසල අකුසලයෙන් රට මුදා ගනිමින් ඇමති ඩලස් කියයි.

"ශ්‍රී ලාංකීය විදුලිබල ක්ෂේත්‍රයේ තවත් එක් වර්තනීය ලකුණක් ඉදිරියේ, ඇසින් දුටු සාක්ෂිකරුවන් බවට අද අපි පත්වෙලා. පළමු වතාවට ශ්‍රී ලාංකීය බලශක්ති ක්ෂේත්‍රයට ඝන අපද්‍රව්‍ය දහනයෙන් බලශක්තිය ලබාගැනීම අද ආරම්භ වෙනවා. මෙය බලශක්ති විප්ලවයේ තීරණාත්මක අවස්ථාවක්. ඒවගේම අද දවසේ අපි ‍මේ සිදුකරන්නේ, ජාතික බල පද්ධතිය පණගැන්වීමම පමණක් නොවෙයි. ඊට අමතරව පරිසරයට ආදරය කරන, ලස්සන රටක හීනය සදහා තබන යෝධ පියවරක් වශයෙන් මේ අවස්ථාව ඉතිහාසගත වේවි. මෙය මෙගාවොට් 10 ක විදුලි බලාගාරයක් ලෙස පමණක් ලඝු කරන්නෙපා. කසල අකුසලයෙන් රට මුදා ගැනීමේ යෝධ පියවරක් තමයි අද මේ අපි තබන්නේ" යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

කෙරවලපිටිය ඉදිවූ ඝන අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීමේ පළමු බලාගාරය විවෘත කිරීමට අවස්ථාවට එක්වෙමින්, අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව කෙරවළපිටියේ ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සුරතින් අද (17) පෙරවරුවේ විවෘත විය.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 10ක විදුලියක් ජනනය කරන කෙරවළපිටිය ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය (Colombo Waste to Energy Power Plant) දිනකට නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් 600-800ත් අතර ප්‍රමාණයක් දහනය කිරීමට නියමිතය.

විදුලිබලාගාරය විවෘත කිරීමේ සමරු ඵලකය නිරාවරණය කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහි පැමිණ සිටි පිරිස සමඟ සුහඳ කතාබහක නිරත වූයේය.

කොළඹ නගරයේ නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මෙමඟින් ස්ථිරසාර විසඳුමක් නිර්මාණය වේ.

එසේම පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය සඳහා මෙම ව්‍යාපෘතිය තිරසර විසඳුමකි. කොළඹ නගර සභාව, එයිට්කන් ස්පෙන්ස් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතියට දායක වී තිබේ.

එයිට්කන් ස්පෙන්ස් සමාගම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කළ මුදල රුපියල් බිලියන 15කි.

වඩා සුන්දර මෙන්ම පිරිසිදු නාගරික පරිසරයක් නිර්මාණය කිරීමටත් පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමටත් මෙමඟින් හැකියාව උදා වේ.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන ඩලස් අලහප්පෙරුම, සී.බී රත්නායක, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන්වන දුමින්ද දිසානායක, නාලක ගොඩහේවා, සීතා අරඹේපොළ, නිමල් ලන්සා, මහත්වරු සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, එයිට්කන් ස්පෙන්ස් සභාපති හැරී ජයවර්ධන, කොළඹ මහ නගරාධිපතිනි රෝසි සේනානායක, විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න