Language Switcher

V2025

ආණ්ඩුවේ කසල වැඩ ගොඩයි : චම්පික හෙළිකරයි !

2017 වර්ෂයේ අප්‍රේල් මාසයේ මීතොටමුල්ල අවිධිමත් කසළ බැහැර කිරීමේ ස්ථානය ජීවිත 33 ක් බිලි ගනිමින් නාය යෑමත් සමඟ පැවති තත්ත්වය සමනය කරගැනීම වෙනුවෙන් කොළඹ නගරයේ කසල අපහරණය සහ කසළ කළමණාකරණය පිළිබඳව විධිමත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුවත් කර සිටි බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඒ අනුව පළමුව සිදුකළේ කොළඹ මහනගර සභා පාලන සීමාව තුළ සියලුම කැලි කසල වෙන්කර ලබාගැනීමේ ක්‍රමවේදයක් කොළඹ නගර සභාවත්, ඊට අනුබද්ධව සේවා සපයන ආයතනත් සමඟ සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීමයි. අඛණ්ඩව මාස 03 ක කාලයක් සෑම දිනකම උදෑසන 06 ටත් නැවතත් සවස 06 ටත් නිලධාරීන් සහ අනුබද්ධ දේශපාලන අධිකාරිය සහ සම්බන්ධව එම වැඩපිළිවෙල සෘජු අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කිරීමට එවකට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් පාඨලී චම්පික රණවක මහතා ක්‍රියා කළේය.

එම ක්‍රියාවලියේදී වෙන්කරන ලද කසළ ආශ්‍රයෙන් දිරාපත්වන කසල, වෙනමම බැහැර කොට ඒ ආශ්‍රිතව කොම්පෝස්ට්කරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක්ද ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරිණ.

එමෙන්ම නොදිරන කසල පරිසර පද්ධතියට හානි නොවී විධිමත්ව බැහැරකිරීමට පවතින තත්ත්වයන් හඳුනාගෙන ඒ අනුව ක්‍රමානුකූලව කෙරවලපිටිය තවකාලික කසල අංගනයට බැහැර කිරීමට ද එම සංස්ථාව අදාල කාලසීමාවේදී පියවර ගත්තේය.මේ අතරතුර කාලයේදී අමාත්‍යාංශය සමගාමී කටයුතු තුනක් සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකකොට තිබිණ.

ඒ නායයෑමට ලක් වූ මීතොටමුල්ල කුණු කන්ද විධිමත් තාක්ෂණික දායකත්වය යටතේ ස්ථායීකොට එය නාගරික උද්‍යානයක් බවට පත්කිරීමත්, එයින් අවතැන් වූ පවුල් සඳහා නව නිවාස ලබාදීම සහ ඉදිරියේදී ඇතිවන තත්ත්වයට මුහුණ දිය හැකිවන පරිද්දෙන් අරුවක්කාලු කසල අංගනයේ කටයුතු කඩිනමින් සම්පූර්ණ කිරීමයි.2019 පෙබරවාරි මස වන විට අරුවක්කාලු කසල අංගනයේ ඉදිකිරීම් ප්‍රගතියට අනුව එය සම්පූර්ණ කර භාවිතයට ගැනීමට 2020 මාර්තු මස සැලසුම් කර තිබිණ.

ඒ අතරතුර අරුවක්කාලු කසල රඳවනයේ 1/3ක වැඩ අවසන් කර තිබූ හෙයින් 2019 අප්‍රේල් මස සිට එම කොටසට කොළඹ ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීම සිදුකරන ලෙසත්, කෙරවලපිටිය කසල අංගනයට කැලි කසල බැහැරකිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවන ලෙසත් කොළඹ මහනගර සභාවට ලිඛිතව දැනුවත් කෙරිණ. එය 2019 වසරේ ජනාධිපතිවරණය පවත්නා කාලය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කළේය.ඒ සඳහා වන විශේෂ කැබිනට් පත්‍රිකාවක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අත්සනින් 2019 පෙබරවාරි 17 වන දින ඉදිරිපත් කර ඇත.

එහි පැහැදිළිව සඳහන් කර ඇත්තේ කොළඹ පැවති කසල අර්බුදයට තාවකාලික පිළියමක් ලෙස යොදාගත් කෙරවලපිටිය කසල බැහැර කිරීමේ ස්ථානය 2019 අප්‍රේල් මස සිට නවතා දමන බවත්, ඒ වෙනුවෙන් අරුවක්කාලු කසල අංගනයේ කොටසක් කඩිනමින් ක්‍රියාත්මක කරන බවයි.  (අදාල කැබිනට් පත්‍රිකාව මේ සමඟ අමුණා ඇත - ඇමුණුම 1, ඇමුණුම 1 A, ඇමුණුම 1 B)

කෙසේ වෙතත් එම තීන්දුව වත්මන් රජය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් කෙරවලපිටිය ප්‍රදේශයේම නැවතත් කසල බැහැර කිරීම හේතුවෙන් දරාගත නොහැකි මට්ටමේ කසල කන්දක් දක්වා මෙම කසල අංගනය අදවන විට ව්‍යාප්ත වී ඇත. එහි එක් ප්‍රතිඵලයක් සහ අවිධිමත්  කසල බැහැරකිරීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ඊයේ(18) දිනයේ කසල අංගනයේ ඇතිවූ ගින්න පෙන්වා දිය හැකිය.තව ද, මෙම ආණ්ඩුව බලයට පැමිණ මාස 15 ක් ඉක්මවූවත් අරුවක්කාලු කසල අංගනය සම්පූර්ණකොට භාවිතයට ගැනීමට කිසිදු විධිමත් වැඩපිළිවෙලක් දියත් කර නැත. කසල රැගෙනයාම වෙනුවෙන් මෙරටට ආනයනය කළ කෝච්චි පෙට්ටි දුම්රිය දොපාර්තමේන්තවේ පසෙක තබා ඇත. ඒ සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් කිසිවක් මේ වන තෙක් ඉටු වී ඇති බවක් දක්නට නොලැබේ.

මෙම ව්‍යාපෘතියේදී අදාල කාර්යයන් නියමිත වේලාවට නොකිරීම හේතුවෙන් වැඩ ප්‍රමාද ගාස්තුවක් ලෙස රුපියල් මිලියන 650 ක මුදලක් ව්‍යාපෘති සමාගම වන චයිනා හාර්බර් ආයතනයෙන්  ලබාගත යුතු බවට තීන්දුවක් පැවතියත් එය නොලසකා ඔවුන් වෙත ලැබිය යුතු අනෙකුත් මුදල් ගෙවීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන තිබේ. තවද, පෙර සිට පැවති උපදේශන සේවාව සම්පූර්ණයෙන්ම ඉවත් කර චයිනා හාර්බර් අවශ්‍යතාවයන්ට අනුව අරුවක්කාලු ව්‍යාපෘතිය පවත්වාගෙන යෑමට මේ වනවිට අවස්ථාව සලසා දී ඇත.

තවද, පසුගිය 17 වන දා විවෘත කරන්නට යෙදුණු කසලින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය සිදුනොවන තැනට වැඩ සලස්වා තිබූ අවධියක, එය ක්‍රියාත්මක කළ යුතු සාධනීය වැඩපිළිවෙල හඳුනාගෙන ඒ සඳහා වන කැබිනට් අනුමැතිය වෙනුවෙන් 2016 අගෝස්තු 15 වන දින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත. මේවන විට එය වර්තමාන ආණ්ඩුවේ ජයග්‍රහණයක් ලෙස ඇතැමුන් උදම් ඇනුව ද 2012 වසරේදී නාගරික සංවර්ධන අධිකාරිය ඒ සඳහා වන රුපියල් මිලියන 134.8 ක මුදලක් එකී සමාගමකින් අයකර ගෙන ලබාදීමට යෝජිතව තිබූ ඉඩම හෝ වෙනත් විකල්ප ඉඩමක් ලබානොදී 2015 වන විට අවසන් වීමට නියමිතව තිබූ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවන තැනට පත්කර තිබිණ. එය 2015 වර්ෂයෙන් පසු නිර්මාණය කළ මහානගර සැලසුමට අනුව බස්නාහිර පළාතේ ඝණ අපද්‍රව්‍ය ගැටළුවට දීර්ඝ කාලීන විසඳුමක් වශයෙන් නැවතත් සක්‍රීය කර එ් සඳහා විශේෂ කොන්දේසි 10 කට යටත්ව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අවසරය ලබාදී එය පූර්ණ කාලීනව අධීක්ෂණය සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට බලය පවරා ඇත. (ඒ සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල සංදේශ හා ලිපි ලේඛන අමුණා ඇත - ඇමුණුම 2, ඇමුණුම 3)

කසලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු එය භාරව කටයුතු කළ යුතුව ඇත්තේ බස්නාහිර පළාතේ කසළ බැහැර කිරීම හා විධිමත් කළමණාකරණයේ වගකීම දරන ආයතනය වන බස්නාහිර කසළ කළමණාකරන අධිකාරිය බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක  පෙන්වා දෙයි.

අදාළ ඇමුණුම් පහත දැක්වෙයි.

අදාළ ඇමුණුම් පහත දැක්වෙයි.

අදාළ ඇමුණුම් පහත දැක්වෙයි.

අදාළ ඇමුණුම් පහත දැක්වෙයි.

අදාළ ඇමුණුම් පහත දැක්වෙයි.