Language Switcher

V2025

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය බරපතල ලෙස ගර්හාවට ලක්වීම : රටේ ප්‍රතිරූපයට බලවත් හානියක් - චම්පික

 
ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ඉතාමත්ම අයහපත් ලෙස ගර්හාවකට ලක්වෙමින් පවතින තත්ත්වයකට පරිවර්ථනය වෙමින් තිබෙන බවත්, එය රටේ ප්‍රතිරූපයට ඉතාමත් බලවත් බලපෑමක් ඇතිකර තිබෙන බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක  පවසයි. 
 
අධිකරණයට අපහාසය පිළිබඳව පරිපූර්ණ බලය අධිකරණය සතුයැයි ව්‍යවස්ථාවේ සඳහන් වුවත්, එය කවර පටිපාටියකට සිදු කරන්නේද යන්න පිළිබඳව අණ පනත් නොවීම නිසා බරපතල සමාජ ගැටළුවක් මතුව ඇති බවත්, එය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ සිදුවීම ඇතුළු පසුගිය කාලයේ අපේ රටේ සිදුවූ සිදුවීම් වලින් පැහැදිළි වන බවද චම්පික රණවක මන්ත්‍රීවරයා  පවසයි.
 
මීට අදාළව නීති ප්‍රතිසංස්කරණය සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් සම්පාදනය කරන ලද අධිකරණ අපහාස පනත, නීතියක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම වෙනුවෙන් අද(23) චම්පික රණවක මන්ත්‍රීවරයා  විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදෙන ලදි.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළකළ හිටපු අමාත්‍යවරයා,
 
අධිකරණයට අපහාසය පිළිබඳව පරිපූර්ණ බලය  අධිකරණය සතුයැයි ව්‍යවස්ථාවේ සඳහන් වුවත්, එය කවර පටිපාටියකට සිදු කරන්නේද යන්න පිළිබඳව අණ පනත් නොවීම නිසා බරපතල සමාජ ගැටළුවක් බව පසුගිය කාලයේ අපේ රටේ සිදුවූ සිදුවීම් වලින් පැහැදිළි විය. අවසාන වශයෙන් රංජන් රාමනායක මහතාගේ සිදුවීමත් සමඟ. ඉන්දියාවේ මේ සම්බන්ධයෙන් වන නීති සම්මත කර තිබේ. අධිකරණය තමන්ගේ නඩුවක් තමන් අහද්දි යම්කිසි විශේෂ යුක්තිගරුක භාවයක්, විශේෂයෙන්ම පවත්වාගත යුතුය. එහෙයින් ඇතැම් අවස්ථාවල ඉන්දියාවේ විනිසුරුවරුන් මෙවැනි අපහාස කාරණා සම්බන්ධයෙන් යම්කිසි ආකාරයකට පාලනය කරමින්, සංයමයකින් කටයුතු කළ බව පසුගිය කාලයේ ඔවුන් ලබාදුන් ඇතැම් නඩුතීන්දු වලින් පැහැදිළි වේ. 
 
ප්‍රසිද්ධ ලේඛිකාවක් වූ අරුන්දතී රෝයි විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්, එතුමියට ලබාදෙනු ලැබුවේ එක් දිනක සිර දඬුවමක් පමණි. එහිදී ඉන්දියානු අධිකරණයත් ප්‍රවේශම් වුණා, මේ දඬුවම් ලබාදීමේ අයිතිය ලබාදීල තියෙන ඒ ක්‍රියාවලිය, තමන්ට ලබාදීල තියෙන ඒ හය මසක සිර දඬුවම පවා ප්‍රවේශමෙන් භාවිත කරන්න ඔවුන් එය යොදාගත්හ.
 
අපේ අධිකරණයටත් මේ අඩුපාඩුව තිබේ. ඇතැම් අවස්ථාවල ඒ සඳහා චෝදනා එල්ල විය. රංජන් රාමනායක සිද්ධියට පෙර ඇතිවූ සිදුවීම්, විශේෂයෙන්ම ටෝනි එමානුවෙල් සිද්ධිය වැනි සිදුවීම්,  අධිකරණයේ ඇතැම් විනිසුරුවරු ඉතා අත්තනෝමතිකව බලතල භාවිත කළා ය යන චෝදනාව එල්ල විය. රංජන් රාමනායක සිද්ධියත් මේ රටේ ප්‍රකම්පනයට හේතු භූත වී තිබේ. 
 
එහෙයින් මෙම නීති ප්‍රතිසංස්කරණය ගෙන එ්මට අප කටයුතු කරන්නෙමු. මෙම පනත පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා හරහා පාර්ලිමේන්තු න්‍යාය පුස්ථකයට ඇතුල් කළවිට අධිකරණ ඇමතිවරයාට හා පාර්ලිමේන්තුවේ පණත් කෙටුම්පත් අංශයට මෙහි තිබෙන යම් යම් අඩුපාඩු, පරිවර්ථන අඩුපාඩු හා සිංහල, දෙමළ ඉංග්‍රීසි භාෂා අඩුපාඩු නිවැරදි කර නිසි පනතක් ලෙස සකස් කළ හැකිය. අනතුරුව අධිකරණ අමාත්‍යවරයාට මෙය කැබිනට් මණ්ඩලයට යොමු කර  එතැනින් නීති කෙටුම්පත් අංශයට නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකළ හැකිය.
 
අනතුරුව නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවට ගෙන එ්මට හැකිය. එතුමා ඒ ක්‍රියාවලිය හය මසක් තුළ සිදුනොකලේ නම්, නැවත වතාවක් පාර්ලිමේන්තුවේ අදාළ කමිටුවලට ඉදිරිපත් කර මෙය පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමු කිරීමට අපට හැකියාව ඇත. අධිකරණ ඇමතිවරයා, උසාවියට අපහාස කිරීමට දඬුවම් දෙන ක්‍රියාවලියට තමන් කැමති නැති බව ද ප්‍රකාශ කර තිබේ. එහෙයින් අධිකරණ ඇමතිවරයා නීතීඥයෙක් හැටියට මේ අවස්ථාව ලබාගෙන මේ පනත නීතියක් හැටියට කඩිනමින් පත්කිරීමට ඔහුට අවස්ථාව තිබේ. 
 
කෙසේ නමුත්, මේ පිළිබඳව සංවාදයක් දැන් රටට අත්‍යාවශ්‍ය වී ඇත. මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව, නීති විශාරදයින් සහ අනෙකුත් අය අතර ද සංවාදයක් අවශ්‍යය. ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ඉතාම නරක ආකාරයට ගර්හාවකට ලක්වෙමින් පවතින තත්ත්වයකට පරිවර්ථනය වෙමින් තිබෙන අතර එය රටේ ප්‍රතිරූපයට ඉතාමත් බලවත් බලපෑමක් ඇතකරන බවද අප මතක තබාගත යුතුය.
 
අය ඇතැම් අය දේශපාලන ප්‍රශ්නයක් පමණක් ලෙස දකිති. නමුත් ඒ තුල ආර්ථික ප්‍රශ්නයක් ද පවතී. අපට ලැබෙන ආයෝජන, අපෙන් සිදුවන අපනයන මිලදී ගන්නා රටවල්, එමෙන්ම අපට ලැබෙන විදේශ ණය, අපි යම්කිසි ආකාරයකට විදේශ වෙළෙඳපොළවල්වලින් ණය සොයාගන්න දරණ උත්සාහය යන කාරණා එකට ගැට ගැසී පවතින බවද අප මතකයේ තබාගත යුතුය.
 
ඉදිරි කාලයේදී මේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට සිදුකළ යුතු නව වෙනස්කම් හා එකතු කළ යුතු නව නීති ගෙනඒම වෙනුවෙන් අප කටයුතු කරන්නෙමු. ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ ගෙනා මධ්‍යසාර පාලනය කිරීම සම්බන්ධයෙන් වූ පනත පාර්ලිමේන්තුවේ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස සම්මත විය. කරූ ජයසූරිය මැතිතුමා ගෙනා තොරතුරු දැනගැනීමේ පනත,  එතුමාට සම්මත කරගැනීමට බැරි වුවද එම පනත රජයක් හැටියට යහපාලන ආණ්ඩුවෙන් සම්මත කළේය. 
එහෙයින් මෙම පනතත් පාර්ලිමේන්තුවේ සියලුම දෙනාගේ එකඟතාවයෙන් අනාගතයේදී සම්මත කරගැනීමට පක්ෂ විපක්ෂ සියලුම දෙනාට අපි ආරාධනා කරන්නෙමු. විශේෂයෙන්ම අධිකරණ ඇමතිතුමාට මේ සම්බන්ධයෙන් සෘජු වගකීමක් පවතින අතර සෘජු මැදිහත්වීමකින්  කටයුතු කරනු ඇතැයි අපි බලාපෙරොත්තු වන්නෙමු.