Language Switcher

V2025

විහාර දේවාලගම් පනත අහෝසි කරන්න හිතන්නේවත් නෑ - අලිසබ්‍රි

විහාර දේවාලගම් පනත සම්බන්ධව අධිකරණ අමාත්‍ය අලිසබ්‍රි පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ජාතික සංවිධාන ඇතුළු පාර්ශ්ව ගණනාවක විරෝධය පළවූ අතර ඒ සම්බන්ධව අධිකරණ අමාත්‍ය විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර ඇත.

අධිකරණ අමාත්‍යවරයා වෙනුවෙන් ඔහුගේ මාධ්‍ය ලේකම් නිකුත්කළ අදාළ නිවේදනය පහත දැක්වෙයි.

තමන් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් සිටින තාක් කල් කිසිසේත්ම වසර 2500 කට වඩා ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාර දේවාලගම් පනත අහෝසි කරන්න හෝ ඊට සංශෝධන ගෙන කිසිදු හෝ බලාපොරොත්තුවක් නොමැති බවත් එවැනි දෙයක් සිදු කිරීමට සිහිනෙන්වත් හෝ කල්පනා කර නොමැති බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසයි.

ආරක්ෂාවට තර්ජනයක් වන ලෙසින් පොදු ස්ථානවල මුහුණු ආවරණ (බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ) තහනම් කිරීමට කැබ්නට් මණ්ඩලය වෙත යොමු කර ඇත.අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ (2021.02.25) අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සජකච්ඡාවකට එක්වෙමිනි.

එහිදි තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද සදහන් කළේය.

පුජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ විසින් පාර්ලිමේන්තුවේදී 27/2 යටතේ කරන ලද ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් පසුගිය දිනක පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශයක් පදනම් කර ගෙන වැරදි මතයක් සමාජ ගත වෙමින් පවතින බැවින් අධිකරණ අමාත්‍යතුමා පැවසුවේ  පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ යොමු කරන ලද ප්‍රශ්නයේ  පරිදි 16 වගන්තිය ඉවත් කළහොත් ඒ යටතේ ඇති නීති සියල්ල කඩා වැටීමට ඉඩ කඩ පවතින බවත් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නා හැර වෙනත්  කිසිදු අදහසක් එම ප්‍රකාශය තුළ නොතිබු බවත් අමාත්‍යතුමා පැවසීය.

තමන් පාර්ලිමේන්තුවේදී කළ කථාවේ හරය වුයේ 16 වගන්තිය එක් වරම ඉවත් කළ නොහැකි බව හා එය එසේ කරන්නේ නම් 16 හි අඩංගු එක් එක් වගන්ති පිළිබදව වෙන වෙනම අධ්‍යයනය කර යම් නුසුදුසු දේ පිළිබදව කතිකාවතක් ඇති කර අවශ්‍ය පියවර ගැනීම පිළිබදව පමණක් බවත් අමාත්‍යතුමා පැවසීය.

අවුරුදු 2500 කට වඩා ඉතිහාසයක් ඇති බෞද්ධ ශිෂ්ටාචාරයක් පවතින මෙරට තුළ සිංහල බෞද්ධ ජනතාවගේ පාරම්පරික අයිතිවාසිකම් වලට විරුද්ධව නීති ගෙන ඒමට කිසිදු හැකියාවක් නොමැති බවත් වත්මන් රජයට එසේ කිරීමේ කිසිදු උවමනාවක් නොමැති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කර සිටින බවත් අමාත්‍යතුමා පැවසීය.

පසුගිය වසරේ නොවැම්බර් මාසය වන විට මුස්ලිම් විවාහ දික්කසාද නීතිය සංශෝධනය කිරීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් ඒ තුළින් විවාහ වීමේ අවම වයස අවුරුදු 18 ක් බවට යෝජනා කර ඇති බවත් විවාහ වීමේදී කාන්තාව විසින් අත්සන් කළ යුතු බවට ද එහි යෝජනා කර ඇති බවත් තවද ආරක්ෂාවට තර්ජන වන ලෙසින් ෙපාදු  ස්ථානවල මුහුණු ආවරණ කිරීම (බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ) තහනම් කිරීමට අදාළ නීති ගෙන ඒම සදහා ද අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර ඇති බවත් අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේය.