Language Switcher

V2025

ජනාධිපති අපේක්ෂක බැසිල් : විමල් - ගම්මන්පිළ එළියට ? (වීඩියෝ)

පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂක බැසිල් රාජපක්ෂ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ජවිපෙ සංවිධානය කළ ජනහමුවක් අමතමින් වන අතර බැසිල් සම්බන්ධ තහවුරුව  ජනාධිපති ගෝඨාභය සහ විමල් පාර්ශවය අතර පැවති සාකච්ඡාවකදී ලැබී ඇති බවත් එහිදී සඳහන් විණ.

ඒ සම්බන්ධ ජවිපෙ නායක අනුර දිසානායකගේ අදහස් දැක්වීම මෙසේය.

"ආර්ථික ගැටලුව සමාජ අර්බුද නිර්මාණය කරනවා. එය දේශපාලන පෙරළී සඳහා මග පෙන්වනවා, දේශපාලන අර්බුද ඇති කරනවා. එවැනි අර්බුදයක් ආණ්ඩුවේ කණ්ඩායමක් PB සහ බැසිල් එළවන්න ඕන කියලා ෆයිට් එකක ඉන්නවා. ආර්ථිකය හොඳට තිබුණා නම් ඔක්කොම ඔය බෝට්ටුවේ නැගලා කට්ටියම යනවා. දැන් අමාරුයි කට්ටියට. දැන් කියනවා, PB එලෙව්වේ නැත්නම් හරියන්නේ නෑ, බැසිල් එලෙව්වේ නැත්නම් හරියන්නේ නෑ කියලා. මේ ප්‍රශ්නයට PB - බැසිල් එළවලා හරියනවද ? මේ ප්‍රශ්නයට PB - බැසිල් එළවලා හරියන්නේ නෑ. බලන්න ප්‍රශ්නය දේශපාලනයට කාන්දු වෙන විදිය. 

දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  කියනවා, "මම මම අසමත්  නෑ. මම පාස්" කියනවා. ඒ ඔහුට එය කාන්දු වෙන විදිය. 

වීරවංශ ඇතුළු කණ්ඩායම ගිහින් තියනවා ගෝඨාභය මහත්තයා හම්බෙන්න. ගිහින් යෝජනා කරලා තියෙන්නේ මොකක්ද දන්නවද ? මහින්ද මහත්තයා පොහොට්ටුව පක්ෂයේ නායකයා වෙන්න. ඔබතුමා පොහොට්ටුව එක්ක පක්ෂ එකතුවෙලා හදන සන්ධානයේ නායකත්වය ගන්න කියලා. ඔබතුමා මේ සන්ධානයේ පක්ෂ වලට දුරයි. ඒ නිසා ඔබතුමා සන්ධානයේ නායකයා වුණහම අපි පක්ෂ වලින් එක එක අවස්ථා හදනවා, ඒ අවස්ථා වලට ඔබතුමා සහභාගී වුණහම අපේ පක්ෂ සහ ඔබතුමා අතර සමීප භාවයක් හැදෙනවා" කියලා.

දැන් මේ අර්බුදයට උත්තරය හොයන්න හදන්නේ කොහොමද ? පොහොට්ටුවේ නායකයා මහින්ද කරලා සන්ධානයේ නායකයා ගෝඨාභය කරන්න. අර්බුදයට උත්තරයක් හම්බවෙනවද ? අර්බුදයට උත්තර නෑ. ඒගොල්ලන්ට උත්තර හම්බෙනවා.

ගෝඨාභය මොකද කියලා තියෙන්නේ, "අනේ මට දේශපාලනය බෑ, ඔයාලා දේශපාලනය කරගන්න. කොහොමත් මම ඊළඟ ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නෑ." කියලා. ඔතනදි එක මන්ත්‍රීවරයෙක් කියලා "ඕක නම් දැන්ම එළියට කියන්න එපා, කිව්වොත් අපි ඉවරයි" කියලා. 

"ඊට පස්සේ ජනාධිපති කියලා, ඊළඟ ජන්දයේදී මුස්ලීම් දෙමළ ජන්ද ගන්න පුළුවන් අපේක්ෂකයෙක් හොයාගන්න" කියලා. මම එක මිත්‍රයෙක්ගෙන් කෝල් එකක් දාලා ඇහුවා දෙමළ -මුස්ලීම් ජන්ද ගන්න පුළුවන් අපේක්ෂකයෙක් හොයාගත්තද කියලා. එයා මගෙන් අහනවා ඔයාලටත් ඒ පණිවිඩය ආවද කියලා. "

දැන් මේ අර්බුදයට උත්තර හොයන්න යන හැටි කොහොමද ? ගෝඨාභය රාජපක්ෂ හිතනවා අපි දිනුවේ සිංහල ජන්ද වලින්. නමුත් මේ අර්බුදය විසින් සිංහල ජන්ද වලින් දිනන්න බෑ. මුස්ලීම් - දෙමළ ජන්ද ගන්න පුළුවන් අපේක්ෂකයෙක් හොයා ගන්න ඕන කියලා. ඒ කියන්නේ බැසිල්. රනිල් වික්‍රමසිංහ නැවත කල්පනා කරමින් සිටිනවා, ආ දැන් එයාට අවස්ථාව ලැබෙමින් තියනවා කියලා, වෙන යාන්ත්‍රණයකින් එන්න හදනවා. එතකොට සජිත් ප්‍රේමදාස? එයා ඔය වගේ බැරෑරුම් දේවල් කල්පනා කරන්නේ නෑ." 

 

12647980 1307824652562845 1759961755 n

විමල් - ගම්මන්පිළ ගැන තීන්දුවක් ගන්න : යෝජනාව මහින්දට !

මේ අතර පොදුජන පෙරමුණු ආණ්ඩුවේ උග්‍ර බැසිල් විරෝධී හැසිරීමක සිටින කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ දෙදෙනා සම්බන්ධව කඩිනම් තීන්දුවක් ගන්නා ලෙස පැමිණිල්ලක් අගමැති මහින්ද රාජපක්ෂ වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පසුගියදා පොදුජන පෙරමුණේ බැසිල් පාර්ශවය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 46 ක කණ්ඩායමක් අගමැති මහින්ද රාජපක්ෂ හමුවූ අවස්ථාවේ මේ පැමිණිල්ල සිදුකර ඇත.

එහිදී විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ දෙදෙනාව 2006 දී  මංගල සමරවීර ඇතුළු පිරිස ඉවත්කළ ආකාරයට අමාත්‍ය ධූර පවරා ගැනීමක් වැනි කටයුත්තක් හරහා  ඉවත් කරන ලෙසත් ඒ තුළ ආණ්ඩුවේ බෙදීමක් ඇති බවට පාක්ෂිකයන් තුළ පවා ඇති අදහස ඉවත්කර එක ගමනක් යාම පහසු බවත් මෙම මන්ත්‍රී කණ්ඩායම අගමැති මහින්දට යෝජනා කර ඇත.

එහිදී විමල් - උදය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට හේතු ලෙස වීරවංශ අමාත්‍යවරයා එකදිගට සිදුකරන බැසිල් රාජපක්ෂ ඉලක්ක කරගත් ප්‍රකාශ, ආණ්ඩුව අපහසුතාවට ලක්කරන උදයගේ ප්‍රකාශ ඇතුළත් වීඩියෝ හඬපට පවා අගමැතිවරයා වෙත ඉදිරිපත් කළ බවත් වාර්තා වෙයි.