පොඩි දරුවෙකුට රාජ්‍ය හයිය පෙන්වීම : නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකියි !

පොඩි දරුවෙකුට රාජ්‍ය හයිය පෙන්වීම : නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකියි !

සිංහරාජය ආසන්නයේ වනාන්තරය විනාශ කිරීම සම්බන්ධයෙන් රක්වානේ භාග්‍යා අබේරත්න නම් තරුණිය විසින් පළ කරන ලද අදහසට එරෙහිව ආණ්ඩුවේ බලධාරින් දක්වන ලද ප්‍රතිචාර හා පොලීසියේ ක්‍රියාකාරිත්වය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීමක් සේ සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එය දැඩිසේ හෙළාදකියි.

නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

සිරස රූපවාහිනියේ ''ලක්ෂපති" වැඩසටහනකට සහභාගි වූ භාග්‍යා අබේරත්න තරුණිය සිය ගම් ප්‍රදේශයේ සිදුවන වනාන්තර එළිපෙහෙළි කිරීමක් පිළිබඳ සිය කනස්සල්ල හා නොසතුට ප්‍රකාශ කර ඇත. ඇයගේ මෙම ප්‍රකාශය කරුණු වශයෙන් සාවද්‍ය යැයි ඊ‌ට පසු දින වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදී. රක්වාන පොලිසියේ ''පිරිමි'' පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇයගේ නිවසට ගොස් ඇයට එම අදහස් ප්‍රකාශ කරන්නට කිව්වේ කවුරුන්දැයි ප්‍රශ්න කොට ප්‍රකාශයක් සටහන් කොට ගෙන ඇත. සිදු විය යුත්තේ, ඇය කළ එම පරිසර විනාශය සම්බන්ධයෙන් සොයා බලා බලධාරීන් විසින් සුදුසු පියවර ගැනීම මිස එය පෙන්වා දුන් පුද්ගලයෙකුට එරෙහිව මෙවැනි ක්‍රියා සිදු කිරීම‌ නොවේ. එසේම ඇයට දැඩි දඬුවම් දිය යුතු බවට කරන ලද ඉල්ලීම් මෙන්ම තර්ජනාත්මක ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වීම, නිදහස් අදහස් පළ කිරීම් අධෛර්යමත් කරන හා අදහස් පළ කළ පුද්ගලයාගේ ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාකාරකම්ය.

ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක් තුළ ජනසමාජයට බලපාන සිදුවීමක් සම්බන්ධයෙන් අදහස් දැක්වීම සමාජ වගකීමකි. විසම්මුතික මතයක් ඉදිරිපත් කරන විට එය සියයට සියයක්ම කරුණු වශයෙන් නිවැරදි වීම අනිවාර්ය නොවේ යැයි දේශීය මෙන්ම විදේශීය අධිකරණයන් විසින්ද, මෙවැනි අදහස් පළකිරීම් සම්බන්ධ පැමිණිලි විභාග කොට ලබා දී තිබෙන තීන්දුවලදි අවධාරණය කොට ඇත. රාජ්‍ය ප්‍රතිපත්තියක් හා ක්‍රියාකලාපයක් විවේචනය කිරීමට, ප්‍රශ්න කිරීමට තිබෙන පුරවැසි අයිතිය තරුණ පරපුර විසින් නිර්භයව භාවිත කිරීම අගය කළ යුත්තකි. ලොව පුරා ශිෂ්ට සමාජය විසින් විශේෂයෙන් ළමයින්ගේ හා යෞවනයන්ගේ එවැනි අදහස් පළ කිරීම් දිරිගන්වනු ලැබේ.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ විසම්මුතිය සමාජ වගකීමක් සහිතව භාවිත කිරීම හා එහි නිම්වළලු හා විෂය පථය පුළුල් කර ගැනීම පුරවැසි අයිතියකි. රාජ්‍ය පාලන තන්ත්‍රයේ සෑම තරාතිරමකම බලධාරීන් අදහස් ප්‍රකාශ කිරීම ඇතුළු මාධ්‍ය නිදහසට ගරු කිරීමටත්, ආරක්ෂා කොට පෝෂණය කිරීමටත් ව්‍යවස්ථානුකූල මෙන්ම සදාචාරමය වගකීමකින්ද බැඳි සිටින බව සිහිපත් කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අධෛර්යමත් කරන මෙවැනි ක්‍රියා වැළැක්වීමට කටයුතු කරන ලෙස රජයට අවධාරණය කර සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න