දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ගබඩාවක් තුළට කන්ටේනර් රථයකින් බාමින් සිටියදී පෙරේදා (01) රාත්‍රියේ සොයා ගත් පොල්තෙල් තොගය හා කන්ටේනර් රථය මෙන්ම ගබඩාවට මුද්‍රා තබා ඇත.
පෙරේදා රාත්‍රියේම පොලිස් අත්අඩංගුවට ගත් මේ පොල්තෙල් කන්ටේනරය ඊයේ (02) දහවල් දඹුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් නිලූකා විජේතිලක වෙත ඉදිරිපත් කරන ලද අතර, එහි පොල්තෙල් සාම්පල ගෙන අයි.ටී.අයි ආයතනය වෙත යවා වාර්තාවක් ගන්නා ලෙස ඇය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත නියෝග කළාය.
ඒ අනුව දඹුල්ල මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්තද සිල්වා මෙන්ම මාතලේ දිස්ත්‍රික් ආහාර ඖෂධ පරීක්ෂක එම්. එල්. ජයවීර ඇතුළු කණ්ඩායමක් දඹුල්ල පොලිසියට පැමිණ පොලිස් භූමියේ නවතා තබා තිබූ පොල්තෙල් පිරවූ කන්ටේනර් රථයට මුද්‍රා තබනු ලැබූහ.
පසුව මේ කණ්ඩායම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටු පස පිහිටා ඇති විදේශ රටවලින් ගෙන්වා තිබූ පොල්තෙල් ගබඩාව පරීක්ෂා කොට එහි ගබඩාවේ කරාම දෙකකට මුද්‍රා තබනු ලැබීය.
මහජන සෞඛ්‍යය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා කියා සිටියේ අධිකරණ නියෝගය පරිදි පොල්තෙල්වල කොටස් ගෙන කොළඹට යැවීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති බවය. නිවාඩු දින දෙකක් පවතින නිසා ලබන සඳුදා උදෑසන මෙහි පොල්තෙල්වල කොටස් නැවත ගන්නා බවද සඳහන් කළේය. එතෙක් එම පොල්තෙල්වල ආරක්ෂාව සඳහා මෙයාකාරයෙන් මුද්‍රා තැබූ බවද හෙතෙම පැවසීය.
මෙහිදී මතලේ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පාලන පරීක්ෂක එම්. එල්. ජයවීර කියා සිටියේ මේ පොල්තෙල් තොග ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ පිලිපීන රටෙන් බවත් කන්ටේනර් තුනක පොල්තෙල් කිලෝ දෙලක්ෂ එකළොස් දහසක් පමණ ගෙවා තිබෙන බව සඳහන් කළේය. මේ කන්ටේනර් රථයේ පොල්තෙල් කිලෝ පනස් දහසකට අධික ප්‍රමාණයක් පැවතිය හැකි බව අනුමාන කරන්නේ යැයිද ඒ මහතා කීවේය.
පොල්තෙල් තොග වරායෙන් එළියට ගනිද්දී එහි තත්ත්ව වාර්තාවක් තිබිය යුතු බවත් මේ ගෙන්වූ සමාගම සතුව එම වාර්තාව පවතින බව ඔවුන් දැනුම්දී තිබුණද මෙතෙක් තමන් වෙත එම තත්ත්ව වාර්තාව ලැබී නැති බවද ඔහු පැවසීය.
දිනම්ණ

