බලය ගන්න කියපුවා දැන් අමතක වෙලා - ඇල්ලේ හිමි

බලය ගන්න කියපුවා දැන් අමතක වෙලා - ඇල්ලේ හිමි

වත්මන් ආණ්ඩුවේ ඇමතිවරු ආණ්ඩුව ආරක්ෂා කිරීමට ‘බොරු බේගල්’ කියන බවත් ජනතාවට වග නොකියන බව දැන් සක්සුදක් සේ පැහැදිලි වී ඇති බවත් ඇල්ලේ ගුණවංශ හිමි සඳහන් කරති.

ඇෆ්ලටොක්සින් නමැති පිළිකාකාරක පොල්තෙල් ගෙන්වීමේ සිට මෙරට ජනතාව එදිනදා භාවිත කරන එළවළු, පලතුරු, කුළුබඩු ඇතුළු සෑම දෙයකම වස විෂ අන්තර්ගතව ඇති බවට සනාථව තිබුණත් රජයේ ඇමැතිවරුන් එම වගකීම භාර නොගනිමින් බෝලය පාස් කරන න්‍යාය අනුගමනය කිරීම තුළ මෙරට ජනතාවට මරණය අතින් ගෙන ජීවත්වීමට සිදුවීම කිව නොහැකි ‘සසර කලකිරීමක්’ වී ඇතැයිද හිමි පවසති.

මෙරට වකුගඩු රෝගයට බලපෑ ග්ලයිෆෝසෙට් ඇතුළු කෘෂි රසායන භාවිතය තහනම් කරනවා වෙනුවට රෝගීන් වෙනුවෙන් රෝහල් ඉදිකිරීමට කටයුතු කරන ආණ්ඩු ඇෆ්ලටොක්සින් අඩංගු පොල්තෙල් ජනතාවට බෙදාහැර ඇත්නම් ඒ තුළින් බලාපොරොත්තු වෙන්නේ තවත් පිළිකා රෝහල් තැනීමක් දැයි උන්වහන්සේ ප‍්‍රශ්න කර සිටිති.

සෞඛ්‍ය අංශ, ප‍්‍රමිති ආයතන, තත්ත්ව පරීක්ෂාවන් සිදු කරන ආයතන ඇතුළු රජයේ ආයතන රැසක් ජනතා මුදලින් නඩත්තු වන්නේ නම් ඔවුන් සිය වගකීම් පැහැර හරිමින් ජනතාවට වස විෂ බෙදා හරින්නේ කුමන හේතුවක් නිසා දැයි සෙවීමට රජය දැන්වත් කටයුතු කළ යුතුව ඇතැයිද ගුණවංශ හිමි කියති.

සෑම අතකින්ම අසාධාරණයට ලක්ව ඇති ජනතාව අද ඉතාමත් අමාරුවෙන් ජීවිකාව ගෙන ගියත් කිිසිදු පාලකයෙකු ඔවුන් වෙනුවෙන් කතා නොකරන බවත් ඔවුන් කතා කරන්නේ නම් එය ද බොරුව වැපිරවීම වෙනුවෙන්ම පමණක් බවත් යැයි කී උන්වහන්සේ බලය ලබා ගැනීම වෙනුවෙන් කළ කතා අද අමතක කර තිබීම ගුණමකු කමක් නොවන්නේ දැයි විමසා සිටීමට කැමති බව ද පැවසූහ.

මේ තුළ පවතින කප්පරක් වූ ප‍්‍රශ්න ජනතාවට අමතක කරවීමට ප‍්‍රශ්නවලින් ප‍්‍රශ්න යටපත් කිරීමේ ක‍්‍රමවේදයක් ආරම්භ කර ඇති වත්මන් ආණ්ඩුව බොරු මවාපෑම් සිදු කරමින් සිටින බව ජනතාව හොඳින් අවබෝධ කරගෙන ඇතැයිද ඇල්ලේ ගුණවංශ හිමි වැඩිදුරටත් කියා සිටිති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න