Language Switcher

V2025

කොවිඩ් ජය ගනිමු : ජාතික ජන බලවේගයේ යෝජනා මෙන්න !

මේ වන විට සීග්‍ර  ව්‍යාප්තියක් පෙන්වන කොරෝනා වසංගතය මැඩලීම වෙනුවෙන් වන ජාතික ජනබලවේගයේ යෝජනා මාලාවක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඊට අදාළ නිවේදනය පහත දැක්වෙයි. 

ශ්‍රී ලංකාව තුළ තෙවැනි වරටත් කොවිඩ් 19 වසංගතය පැතිරීම උත්සන්න වී තිබේ. අප්‍රේල් 19 දින සිට මේ දක්වා ආසාදිතයින් 5000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ආසාදිතයින් වාර්තා වී ඇති අතර ඉන් කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මහනුවර සහ මොණරාගල ප්‍රධාන වේ. සෞඛ්‍ය අමාත්‍යංශයත් රජයත් මේ පිළිබඳව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. 

ආසාදිතයින්ගේ ව්‍යාප්තිය මෙම මුළු කලාපය තුළම එනම් ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, තායිලන්තය තුළ අප්‍රේල් මුල සිටම ආරම්භ වුවත් සිංහල දෙමළ අලුත් අවුරුදු කාලසීමාව තුළ සංචරණය ඉහළ යාමත්, බොහෝ දෙනා කොවිඩ් 19 වළක්වාගැනීමට අදාළ උපදෙස් නොපිළිපැදීමත්, නොසලකා හැරීමත් අවශ්‍ය පමණට නීති රීති ක්‍රියාත්මක නොකිරීමත්, අවශ්‍ය පමණට බලධාරීන්ගේ අවධානය යොමු නොවීමත් මෙයට හේතු විය. 

ශ්‍රී ලංකාව තුළ පමණක් නොව නව ලිබරල්වාදී ප්‍රතිපත්ති අනුගමනය කරන සියලු රටවල්, විශේෂයෙන්  “ට්‍රම්ප් න්‍යාය” අනුගමනය කරමින් තම රටවල් ව්‍යාපාරික කටයුතුවලට විවෘත කර කොවිඩ් 19 වැළක්වීමට සීමිත ක්‍රියාමාර්ග ගත් ඉන්දියාව ඇතුළු සියළු රටවල් මේ වනවිට අසාර්ථක වී තිබේ. 

එසේ වුවත් ඊට වෙනස් ලෙස වසංගතය පාලනයට මුල් තැන දුන් රටවල් තවමත් දුෂ්කරතාවයන් මැද හෝ මෙම ගෝලීය වසංගතය යම් තාක් දුරට හෝ පාලනය කර ගෙන සිටී. ඒ අතර නවසීලන්තය ඔස්ටේ්‍රලියාව, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ සිංගප්පූරුව පෙරමුණේ සිටී.

එහෙත් තායිලන්තයේ සහ කාම්බෝජයේද අප්‍රේල් මාසයේ සිට ආසාදිතයින් තරමක් වැඩිවී තිබේ. පසුගිය ඔක්තෝබර් මාසයේ සිදුවූ ආකාරයටම  නැවත වරක් ආසාදිතයින්ගේ බරපතළ වැඩිවීමකට ලක් වෙමින් සිටින ශ්‍රී ලංකාවද නැවත නැවතත් මුහුණ දෙමින් සිටින්නේ එම අර්බුදයටමය.

සියල්ලන්ම 2020 වසර අවසානයේ එන්නත් භාවිතයට ඉඩ ලැබෙන බව දැන සිටිය අතර බොහෝ රටවල් තම ජනගහනය සඳහා එන්නත් මිලදී ගැනීමට පොරොත්තු ලේඛනවල සිටියේය. උදාහරණයක් ලෙස ඊශ්‍රායලය ඉක්මණින් එන්නත් ලබා ගෙන තම ජනගහනයෙන් 60% කට වඩා එන්නත් ලබා දී දැන් අවම වශයෙන් එළිමහනේ මුහුණු ආවරණ පැළඳීමට තිබු අවශ්‍යතාවය ලිහිල් කරමින් සිටී.

ශ්‍රී ලංකාවේදී විවිධ දුම් හට්ටි, පැණි සහ දේව හාස්කම් පිළිබඳ විශ්වාසය තබමින් සංචාරකයන්ගෙන් ලැබෙන අදායම එකම ජිවනෝපාය කරගනිමින් අනවශ්‍ය ලෙසට රට තුළට විවිධ වෛරස් ප්‍රභේද ගලා ඒමට ඉඩ හරිමින් “අපි තමයි හොඳටම කළේ” යැයි උද්දාමයට පත්වෙමින් සිටි හැටි දුටුවෙමු. 

දැන් එහි ඵල විපාක අප සියලු දෙනාටම භුක්ති විඳීමට සිදුව තිබේ. අපි තවමත් සිටින්නේ සීමිත රෝහල් ගණනක් ආසාදිතයින් සඳහා වෙන්කර, දිවයිනේ විවිධ ප්‍රදේශවලට රෝගීන් ගෙනයමින්, තවමත් එදිනෙදා ආසාදිතයින් වාර්තා වීම පිළිබඳ නිවැරදි දත්ත මහජනතාවට ලබා දීමට අපොහොසත් වෙමින්, වෛරස් ප්‍රභේද හඳුනාගැනීමට එකම රසායනාගාරය මත යැපෙමින්, ලෝක බලවතුන් නොමිලේ ලබාදෙන එන්නත් මත යැපෙමින් සහ විවිධ උත්සව අවස්ථාවල වගකීමෙන් තොරව හැසිරෙමින් විවෘත ආර්ථිකයේ ආර්ථික න්‍යායන්ට අනුව කටයුතු කරමිනි.

අවම වශයෙන් නොමිලේ ලැබූ එන්නත්වලින් සෞඛ්‍ය සේවකයින්ට පවා දෙවන මාත්‍රාව තවමත්  ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වී ඇත.මෙබඳු බරපතළ ගෝලීය වසංගතයකට මුහුණ දීමේදී “අපට රට වහන්න පුළුවන්ද? අපි සංවර්ධනය වෙමින් තිබෙන රටක්. අපි අපේ ව්‍යාපාර කඩා වැටීමට ඉඩ දෙන්නේ කෙසේද? “ කියමින් සිටීම කෙතරම් ආඥාන ක්‍රියාවක්දැයි අප තවමත් තේරුම් ගෙන නොමැත. වසංගතයකට මුහුණ දීමේදී කලින් සැලසුම් කළ ක්‍රියාමාර්ගවලට අනුගත වීමේ හැකියාවක් නැත.

එහිදී කළ යුත්තේ වසංගත මැඩලීමට පුහුණුව ලැබූ පිරිසක් දිනපතා සහ සතිපතා ලැබෙන දත්ත තොරතුරු විශ්ලේෂණය කරමින්, අවශ්‍ය ක්‍රියාමාර්ග කලට වේලාවට ගනිමින්, තමන් යෝජනා කරන ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කරමින්, එම තීරණ ගනු ලැබූ පදනම ඔවුන්ට අවබෝධ කරවා දෙමින් ඔවුන් ඊට අනුගත කරවා ගැනීමය. රටක ජනතාව වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ සහ ඒවා ගනු ලැබූ විද්‍යානුකුල පදනම ජනතාවට පැහැදිලි කිරීම ජනතාවගෙන් වැටුප් ලබන තාක්ෂණික නිලධාරින්ගේ හා ආණ්ඩුවේ වගකීමය. යෝජිත ක්‍රියාමාර්ගවලට ජනතාවගේ සහයෝගය ලබා ගත හැක්කේ එවිටය.

සියලු දෙනාගේ සහයෝගය නොමැතිව වසංගතයට මුහුණ දිය නොහැකි බව තේරුම් ගන්නා විට අප බොහෝ ප්‍රමාදවී තිබිය හැකිය. ව්‍යාපාර ආරක්ෂා කරගැනීමට මෙන්ම එම ව්‍යාපාරවලට දායක වන ජනතාව ආරක්ෂා කරගැනීමටද වගබලා ගැනීම රජයේ ප්‍රමුඛ වගකීමය; යුතුකමය. ව්‍යාපාර පමණක් ආරක්ෂා කිරීමට නම් රජයක් අවශ්‍ය නැත. ව්‍යපාරිකයින් විසින්ම එය කරනු ඇත.

වෛරසය පැතිරීම මෙතෙක් වුවා සේම  ඉදිරියේදීද තව තවත් වෙනස්කම්වලට භාජනය විය හැකි අතර ඒ පිළිබඳව නිවැරදි පුරෝකථන කිරීමට එතරම් පහසු නැත. එන්නත් පිළිබඳව පවා වුවමනාවට වඩා බලාපොරොත්තු තැබීම එතරම් සුභ නැත.ඒ නිසා කළ යුත්තේ ආරක්ෂිත සහ ප්‍රමාණවත් සඵලතාවයකින් යුත් එන්නතක් හෝ එන්නත් කිහිපයක් අවශ්‍ය කරන ප්‍රමාණයට ලබා ගෙන නිවැරදි ලෙස අවදානම් කාණ්ඩවලට ප්‍රමුඛතාවය ලැබෙන සේ එන්නත් ලබා දීමත්, වසංගතය ගෝලීය ලෙස පාලනය කර ගන්නාතුරු අනතුරුදායක ලෙස විදේශ සංචාරකයින් විදේශවලින් පැමිණීම වළක්වා රට තුළ කොවිඩ් 19 පාලනය කිරීම වේ.

මෙහිදී ජනතාව ආසාදනය වීම වළක්වා ගැනීමට අවශ්‍ය සංචරණ සීමා පනවමින්, ඒවා ක්‍රියාවට නගමින් ජනතාව එක් රැස්විය හැකි අවස්ථා මඟහරිමින්, අත්‍යවශ්‍ය සෞඛ්‍ය ක්‍රියා පිළිවෙත්වලට අනුගතවීමට අවශ්‍ය පහසුකම් සැපයීම මගින් සියලු දෙනා එකතුව රටක් ලෙස සහ ශ්‍රී ලාංකිකයින් ලෙස මෙම අභියෝගය ජය ගැනීමය.මෙහිදී ආණ්ඩුව කළ යුත්තේ කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාමාර්ග තමන් මුහුණ දෙන ආර්ථික අර්බුදය නිසා හෝ දේශපාලන හේතු නිසා අඩු වැඩි නොකොට, දුබල නොකොට පැහැදිලි ප්‍රතිපත්තියක් හා උපායමාර්ගයක් මත පිහිටා වගකීමෙන් කටයුතු කිරීම බව අපි විශ්වාස කරමු.

ජාතික ජන බලවේගයේ යෝජනා (ගත යුතු ක්ෂණික ක්‍රියාමාර්ග)

  1. සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉක්මණින් නියමිත පරිදි දෙවැනි එන්නත ලබා දී ඔවුන්ට අවශ්‍ය ආරක්ෂිත උපකරණ, උපාංග සහ අවශ්‍ය අනෙකුත් පහසුකම් සපයමින් ඔවුන් ලවා ආසාදනයට ගොදුරුවන්නන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සහ ආසාදනය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය කටයුතු යෙදීම,
  2. සෞඛ්‍ය සේවකයින්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමෙන් පසු රෝග ලක්ෂණ පහළවන සහ පීසීආර් මගින් හඳුනාගන්නා රෝග ලක්ෂණ සහිත කොවිඩ් 19 රෝගීන්ට සාමාන්‍ය තත්වයන් යටතේ සියලු රෝගීන්ට සිදුකලා මෙන්, මුලික ප්‍රතිකාර කිරීම ප්‍රාථමික රෝහල්වලින් සපයා වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය අය ද්විතීයික සහ තෘතියික රෝහල්වලට යොමු කිරීම. මෙමගින් පුද්ගලයින් පීසීආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත්වීමට ඇති මැලිකම මඟහරවා ගත හැකි අතර කොවිඩ් 19 සඳහා ප්‍රතිකාර කිරීම වඩාත් කාර්යක්ෂම කළ හැක. රෝග ලක්ෂණ නොමැති අය තවදුරටත් ප්‍රතිකාර මධ්‍යස්ථානවලදී හෝ පහසුකම් ඇතිවිට නිවෙස් තුළ රැක බලා ගැනීම සිදු කළ හැක.
  3. රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සියලු ඖෂධ, උපකරණ, ඔක්සිජන් සහ සේවා සැපයීම මගින් ප්‍රතිකාර සේවාවන් ප්‍රශස්ත ලෙස පවත්වා ගැනීම,
  4. අවශ්‍ය පරීක්ෂණ කටයුතු කිරීමට අදාළ පීසීආර් කට්ටල සහ අනෙකුත් උපකරණ උපාංග සපයා දීමෙන් පරීක්ෂණ ක්‍රියාවලිය තව තවත් ශක්තිමත් කිරීම. නව වෛරස හඳුනා ගැනීම සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල රසායනාගාර පහසුකම් වැඩි දියුණු කර ඉන් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට කටයුතු කිරීම, 5. රට පුරා සිටින සියලු මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩල යොදවා අවේක්ෂණ ක්‍රියාවලිය සහ පීසීආර් පරීක්ෂණ කිරීම ක්‍රමවත් කිරීම සහ එමගින් අවදානම් කාණ්ඩ හඳුනාගෙන රෝග වැළැක්වීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම,
  5. රට පුරා එකතු කරනු ලබන ආසාදනය පැතිරීමට අදාළ දත්ත සහ තොරතුරු ඒ ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් විශ්ලේෂණය කර ඒ ඒ ප්‍රදේශයට අදාළ ක්‍රියාමාර්ග ගැනීම අදාළ සෞඛ්‍ය බලධාරීන්ට බලය පවරා වසංගත රෝග විද්‍යා අංශය මගින් නියාමනය කරවීම