අලුත් ප්‍රතිකාර මධ්‍යස්ථාන හදන්න හමුදාව මුල්වෙයි !

අලුත් ප්‍රතිකාර මධ්‍යස්ථාන හදන්න හමුදාව මුල්වෙයි !

රටේ පවතින වාතාවරණය අනුව ඉදිරියේදී රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියහොත් අවශ්‍ය පරිදි කොවිඩ් වෛරසයට ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස තවත් ස්ථාන සූදානම් කිරීමට යුද්ධ හමුදාව සූදානම් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

එහිදී යුද හමුදාධිපති මෙසේද කීය.

අද (28) වෙනකොට ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 1111ක් වාර්තාවුණා. ඊට අමතරව තවත් කොවිඩ් මරණ 08 ක් සමඟින් සමස්ත කෙවිඩ් මරණ සංඛ්‍යාව 655 දක්වා ඉහළ ගියා. එක්ලක්ෂ තුන්දහස් හාරසිය අසූ හයක් වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවෙන් මේවන විට කොඩිඩ් ආසාදිතයින් හත්දහස් නවසිය හැත්තෑ පස් දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් ඉන්නවා. 

අපි ඊයේ දිනයේත් සාකච්ඡා කළා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා දෙන ස්ථාන සම්බන්ධයෙන්. ඉදිරියේ දී රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ ගියහොත් අවශ්‍ය පරිදි කොවිඩ් වෛරසයට ප්‍රතිකාර මධ්‍යස්ථාන තවත් ස්ථාන සූදානම් කරන්න යුද්ධ හමුදාව සූදානම්.

හමුවන සියලුම ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් පහසුකම් සැලසීමට අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිතුමන් උපදෙස් ලබා දී තිබෙනවා. දැඩිසත්කාර ඇඳන් සහ අනෙකුත් ඇඳන් සංඛ්‍යාව ධාරිතාව ඉහළ නැංවීම ගැනත් ඒ සඳහා යොදාගන්නා රෝහල් මොනවාද කියන කාරණයත් අපි කතිකා කළා.

රෝගීන් දවසට දහසක් නෙවේ දෙදහසක් වාර්තා වුණත් ඔවුන් රැකබලා ගන්නා ආකාරය පිළිබඳව අපි සෞඛ්‍ය ප්‍රවීණයින් සමඟ සාකච්ඡා කළා. පහුගිය දවසක වැල්ලවායේ රෝගීන් හමුවුණු අවස්ථාවේ අපි හමුදාවේ ස්ථානයක් දියතලාවේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කළා.

අපිට මොන අභියෝග ආවත් මොන රැලි ආවත් අපි පරදින ජාතියක් නෙවේ. අපි අනිවාර්යෙන්ම ජාතියක් විදිහට නැඟිටිනවා. මම සෞඛ්‍ය අංශවලට දැනුම් දුන්නා රෝහල්වලට අවශ්‍ය නම් තවත් ඇඳන් දසදහසක් හරි ලබා දෙන්න යුද්ධ හමුදාව සූදානම් කියන කාරණාව. ඒ විතරක් නෙවෙයි ලංකාවේ සුවිශේෂීම වෛද්‍ය අංශයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ත්‍රිවිධ හමුදාව සතුයි. අපි සූදානම් ඕනෑම හදිසි අවස්ථාවකදී පුහුණුව ලැබූ විනයගරුක මානව සම්පත මේ කටයුතු වෙනුවෙන් යොදවන්න‍. මේ වාතාවරණයේ දී රටේ ජනතාව ආරක්ෂා කිරීම උදෙසා කළ යුතු සෑම දෙයක්ම කරන්න යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සූදානම්.

රටේ ජනතාවගෙන් අපි ඉතාම කාරුණිකව ඉල්ලනවා මේ රටේ නිල ආයතනවලින් නිකුත් කරනු ලබන තොරුතුරුවලට පමණක් අවධානය යොමු කරන්න කියලා. මොකද මේ වෙනකොට විවිධ පිරිස් ආයෙත් තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර ජයග්‍රහණය කරන්න විවිධ අසත්‍යය තොරතුරු පතුරවා හරිනවා. 

අපේ රටේ රෝගීන් සඳහා වන ඔක්සිජන් අවශ්‍යතාවය පිළිබඳ මම පුද්ගලිකව පැය 12කට සැරයක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන් අහනවා තොරතුරු ලබා ගන්නවා. ලංකාවට රෝගීන් සඳහා ලබා දෙන ඔක්සිජන් සපයන ආයතන අපිට කියනවා දැනට අවශ්‍ය පරිදි ඔක්සිජන් සංචිත තියෙනවා කියලා.

රටේ තිබෙන තත්ත්වය හැටියට කොයි ප්‍රදේශය හුදෙකලා කරන්න වෙයිද කියන දේ අපි කවුරුත්ම දන්නේ නෑ. ඒක තීරණය වෙන්නේ හඳුනා ගන්නා රෝගීන් සහ ආශ්‍රිතයින් ප්‍රමාණය අනුවයි. ඒ නිසා අපි ඕනම දේකට සූදානමින් සිටීම ඉතා වැදගත්. ඒ නිසා මම කියනවා ඔබට හැකි විදිහට හැම වෙලාවකදිම දිනකීපයකට සරිලන දෑ රැස්කරගෙන සූදානමින් සිටීම හොඳයි කියන දේ. අපිට රටේ ජනතාව බොරුවට බියට පත් කරන්නවත් තිබෙන තත්ත්වය සඟවන්නවත් අවශ්‍යය නැහැ. 

ඒ වගේම මේ වෙද්දි රාජ්‍ය ආයතනවල ප්‍රධානියාට වගකීම භාර දීලා තියෙනවා සැම ආයතනයකම සේවකයින් උපරිම ධාරිතාවෙන් සේවයට කැඳවන්නේ නැතිව කාර්යාලය තුළ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූළව පත්වාගත හැකි පරිදි සේවකයින් කැඳවන්න කියලා. හමුදාවේ අපි කරන්නේ තුනෙන් එකක් සේවයට කැඳවලා ඉතිරි තුනෙන් දෙක නිවාඩු සහ නිරෝධායනයට යොමු කිරීමයි. යැයි යුද්ධ හමුදාධිපතිතුමන් කීය‍ .

දිලංක ගුණතිලක

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න