උද්ගත කොරෝනා වසංගතය හේතුවෙන් දිවයින පුරා දැඩි සංචරණ සීමා ජුනි මස 07වනදා තෙක් දීර්ඝ කළේ මැයි 30 සහ ජුනි 04යන දින දෙකේ සංචරණ සීමා ලිහිල් කිරීමද අත් හිටුවමිනි.
රටේ මහජනතාවට එක් නීතියක් ප්‍රභූන් හා දේශපාලකයන්ට තවත් එකක්ද?
සංචරණ සීමාවන්ට යටත්ව දැඩි දුෂ්කරතා වලට මුහුණ දෙමින් විටක අත්‍යාවශ්‍ය ආහාරද්‍රව්‍ය නොමැතිවීම මෙන්ම තුන් වේලෙන් එක වේලක් හෝ සරිකර ගැනීමට හෝ නොහැකිව ජනතාව අසරණව කැපකිරීම් කරන අල්ලපනල්ලේ කුරුණෑගල නගරසභා සභාපති විසින් නිරෝධායන නීති අළුයම ලූ කෙල පිඬක් සේ ඉවත දමමින් මෙසේ හැසිරෙන්නේ කාගේ කුමන බලයක් ආරෝපණය කරගෙනද යන්න සමස්ථ රටවැසියන් හා සමාජ මාධ්‍ය හරහා ප්‍රශ්න කරමින් සිටී.
එමෙන්ම පසුගිය සමයේ ඓතිහාසික ප්‍රෞඩත්වයකින් යුතු ඉපැරැණි රාජසභා මණ්ඩපයද ඩෝසර් කිරීම වෙනුවෙන් චෝදනා ලැබ තිබූ නගරාධිපති වරයා අත්තනෝමතික ලෙස ක්‍රියා කරමින් ජනජීවිත අණතුරේ හෙළමින් නිරෝධායන නීති උල්ලංඝනය කළද ඔහුට හා එම පිරිසට නීතිය ක්‍රියාත්මක වීමක් නම් තවම සිදුවී නැත..
සාමාන්‍යය පුරවැසියා මුව ආවරණයක් නොමැති වූ විටද කුදලාගෙන යන පොලීසිය කුමක් කරන්නේද…?
පසුගිය දිනවල මුහුණු ආවරණය නිසිලෙස නොපැලඳ සිටි ජනතාව කුදලාගෙන නිරෝධායනට රැගෙන ගිය අයුරු මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා දැකගත හැකිවිය….. එහෙත් එම ස්ථානයට ජේෂ්ඨ පොලිස් නිලධාරීයකුද සම්බන්ධ වී තිබීම සුවිශේෂී කාරණයකි. තත්වය එසේ තිබියදී තවමත් නීතිය ක්‍රියාත්මක නොවන්නේ පොලීසියට යම් දේශපාලන බලපෑමක් නිසා නොවන්නේද..?
නිරෝධායන නීති ප්‍රකාරව එසේ යම් පුද්ගලයකු නිරෝධායන නීති උල්ලංඝනය කළේද, වහාම ඔහු හෝ ඇය අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළයුතු අතර ඊට කොමිසම් හෝ කමිටු පත්කිරීමට අවැසි නැත…
සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ සාක්ෂි මෙතරම් තිබියදී නිරෝධායන නීති කඩකළ නගරාධිපති වරයා ඇතුලු පිරිස තවමත් නිදැල්ලේ සිටින්නේ දේශපාලන බලයේ අනුහසින් නොවන්නේ නම් ඔවුන් වහාම අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කොට පෙන්වන ලෙස ජනතාව පොලිසියට අවධාරණය කරයි.
සුමුදු මද්දුමආරච්චි.
මිලානෝ,
ඉතාලිය.





