චමුදිත වෙනුවෙන් : නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිට ලියයි

චමුදිත වෙනුවෙන් : නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිට ලියයි

ප්‍රකට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ඇති ජීවිත තර්ජන සම්බන්ධව සොයාබලා ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයා වෙත දැනුම්දී ඇත.

ලිඛිතව සිදුකර ඇති මෙම දැනුම්දීම සඳහා ආසන්න සිදුවීම හරීන්ද්‍ර ජයලාල් යූටියුබ් චැනලයත් සමග චමුදිත තමන්ට මරණ තර්ජනයක් ඇති බව පැවසීමය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පති වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

07.06.2021.

පොලිස්පතිතුමා,

පොලිස් මූලිස්ථානය,

කොළඹ.

පොලිස්පතිතුමනි,

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට ඇති තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණයක් කොට ඔහුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලීම. 

හිරු රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදියකු හා  යූටියුබ් නාලිකාවක ප්‍රධානියා ලෙස සේවය කරන, ප්‍රකට මාධ්‍ය‌වේදියෙකු  වන චමුදිත සමරවික්‍රම මහතා තමන්ට එල්ල වී ඇති බරපතල ජීවිත තර්ජනයක් පිළිබඳ කළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයකට හේතු වී තිබේ.

‘හරීන්ද්‍ර ජයලාල්‘ යූ ටියුබ් නාලිකාව සමඟ ජුනි 05වැනිදා කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කරන්නේ තමන් මරා දමන බවට කිසියම් පිරිසක් විසින් තර්ජනය කර ඇති බවයි.

තර්ජනය පිළිබඳ සියලු තොරතුරු ලිපියක ලියා තබා, එක් අයකුට පමණක් එය තිබෙන තැන හෙළි කරන බවත්, තම ජීවිතයට හානියක් සිදු වුවහොත් එම ලිපියේ සඳහන් පාර්ශ්ව ඊට වගකිවයුතු බවත් එම සාකච්ඡාවේදී ඔහු කියා සිටී.

එමෙන්ම, ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳව තමන්ට විශ්වාසයක් නොමැති ප්‍රකාශ කළ ද, ජූනි 6 වැනි දින ඊමේල් මඟින් ඔබතුමා වෙත පැමිණිලිලක් ද කර ඇත.

ඉකුත් වසර 25ක පමණ කාලයක් රාජ්‍ය නායකයින් ඇතුළු දේශපාලනඥයින් හා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සම්මුඛ සාකච්ඡාවලට ලක් කර ඇති, එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇති වෘත්තීය මාධ්‍යවේදියකු වන චමුදිත සමරවික්‍රම මහතා කළ මෙම ප්‍රකාශය බැරෑරුම් ලෙස සැලකිය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි.

මාධ්‍යවේදියකුට ජීවිත තර්ජනයක් එල්ල වූ අවස්ථාවක රාජ්‍යයේ රැකවරණ ලැබීම ගැන විශ්වාසයක් නොමැති වාතාවරණයක් උද්ගත වී ඇත්නම් එය අතිශය බිහිසුණු තත්ත්වයකි.

මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදු කර සත්‍යය හෙළිදරව් කරන ලෙසත්, චමුදිත සමරවික්‍රම මහතාට ජීවිත තර්ජනයකින් තොරව සිය වෘත්තියේ නිරත වීමට ඇති අයිතිය සහතික කරන ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඔබතුමාගෙන් දැඩි ඕනෑකමෙන් යුතුව ඉල්ලා සිටී.

– නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න