Language Switcher

V2025

බැසිල් ගැන තීන්දුවක් නැතුවම : රාජපක්ෂ ෆැමිලි මීටිම අවසන් !

අද (03) සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක බැසිල් රාජපක්ෂ ගේ පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධව රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර සාකච්ඡාවක් ගැන තොරතුරු වාර්තා කර තිබුණා.

බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධව රාජපක්ෂ පවුලේ පැවති සාකච්ඡාව කිසිදු තීරණයක් නොමැතිව අවසන්ව ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එසේම මේ සාකච්ඡාව පැවති කාලය පුරා බැසිල් රාජපක්ෂ කිසිදු අදහස් දැක්වීමක් සිදුකර නොමැති බවත් වාර්තා වනවා.

ලැබී ඇති තොරතුරු අනූව අද ජූලි 3 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ මිරිහාන නිවසේදී මේ සාකච්ඡාව පැවැත්ව තිබෙනවා.

දිවා භෝජනයත් සමග රාජපක්ෂ පවුලේ පිරිස පමණක් මීට සහභාගීව ඇති අතර වෙනත් කිසිදු පාර්ශ්වයක සහභාගීත්වයක් සිදුව නෑ.

සාකච්ඡාව ආරම්භයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ , චමල් රාජපක්ෂ , නාමල් රාජපක්ෂ , ශෂීන්ද්‍ර රාජපක්ෂ , මාලක චන්ද්‍රසේන සහ නිපුණ රණවක සිට ඇති අතර බැසිල් රාජපක්ෂ ගේ සහභාගීත්වය සිදුව ඇත්තේ පසුවයි.

පිරිස අතර සාකච්ඡාව ඇරඹීමට පෙර ජනාධිපති ආර්‍යා අයෝමා රාජපක්ෂ වෙත ගොස් තිබෙන අමාත්‍ය නාමල් රාජපක්ෂ " බාප්පට කැමති තීරණයක් ගන්න .. ඕන එකක් වෙනුවෙන් බාප්පා එක්ක ඉන්නවා " යැයි පවසා ඇති බවත් වාර්තා වනවා.

ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට බැසිල් රාජපක්ෂ පැමිනි අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය " මොකද මේ වෙන්නේ ?" කියා මදක් උස් හඬින් අසා ඇති නමුත් බැසිල් රාජපක්ෂ ඊට කිසිම ප්‍රතිචාරයක් දක්වා නෑ.

අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කතාබහ ආරම්භ කරමින් පවසා ඇත්තේ , " මෙන්න දැන් බැසිල් පාර්ලිමේන්තු එන්න ඕන කියනවා" යනුවෙන් පවසමින්.

නමුත් ඒ අවස්ථාවේ ද බැසිල් රාජපක්ෂ කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවයි වාර්තා වන්නේ.

පසුව ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ මාලක චන්ද්‍රසේන පවසා ඇත්තේ නිහඬව නොසිට මේ ගැන සාකච්ඡා කල යුතු බවයි.

ඒ අනුව ශෂීන්ද්‍ර කතාව ආරම්භ කරමින් " දැන් පාර්ලිමේන්තු ආවහම බැසිල් බාප්පට මොකක්ද ලැබෙන ඇමතිකම යනුවෙන් විමසා තිබෙනවා.

මාලක චන්ද්‍රසේන අසා ඇත්තේ බැසිල් මාමට පාර්ලිමේන්තු යන්න කවුද ඉල්ලා අස්වෙන්න යන්නේ , යනුවෙන්.

නමුත් මේ කිසිම අවස්ථාවක බැසිල් රාජපක්ෂ කිසිම ප්‍රකාශයක් සිදුකර නැති බවයි ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ .

ඒ අනුව අද රාජපක්ෂ පවුලේ මේ සාකච්ඡාව අවසන්ව ඇත්තේ කිසිදු තීන්දුවක් නොමැතිවයි.

කෙසේ වුවත් මේ සාකච්ඡාව සහ එහි සංයුතිය සම්බන්ධව මේ වන විට ආණ්ඩුව අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් මතුවෙමින් ඇති බවත් වාර්තා වෙනවා.

රටේ අනාගතය සහ ආණ්ඩුවේ ඉරණම සම්බන්ධ තීන්දු පවුලේ දෙතුන් දෙනෙකු ගන්නා 2010-2014 සමයට නැවත ගොස් ඇති බව දක්වමින්.

මේ වන විට කැබිනට් මණ්ඩලය තුළ පමණක් රාජපක්ෂ පවුලේ 4 ක් නියෝජනය කරන අතර සමස්ථ අමාත්‍ය මණ්ඩලයේ රාජපක්ෂලා 5 ක් සිටිනවා. බැසිල් රාජපක්ෂ ගේ පාර්ලිමේන්තු පැමිණීමත් සමග කැබිනට් මණ්ඩලය තුළ රාජපක්ෂලා 5 වන අතර අමාත්‍ය මණ්ඩලය තුළ 6. මේ වන විට සමස්ථ රාජ්‍ය ආයතන වලින් ද 60% ක් මේ රාජපක්ෂ පවුලට නතුව තිබෙනවා.

ආණ්ඩුව අභ්‍යන්තරයේ ව්රෝධය මතුව ඇත්තේ තනි පවුලක් රට පාලනය කිරීමේ පැරණි පුරුද්ද මතුව ඇති බව සඳහන් කරමින්.

දේශපාලන වාර්තාකරු