‘‘අඩක් භාවිත කළ සහ සැක සහිත ගෘහස්ථ L.P ගෑස් සිලින්ඩර නැවත භාරදිය හැකියි‘‘

‘‘අඩක් භාවිත කළ සහ සැක සහිත ගෘහස්ථ L.P ගෑස් සිලින්ඩර නැවත භාරදිය හැකියි‘‘

අඩක් භාවිත කළ හා සැක සහිත ගෘහස්ත ගෑස් සිලින්ඩර අදාළ සමාගම්වලට ආපසු භාර දීමේ හැකියාව ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දෙයි .
ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ නිවේදන හෙට(27) දින විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරන බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය අද (26) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.

මේ සම්බන්ධව මුද්‍රිත නිවේදන භාෂා තුනෙන්ම අද(26) දින ජාතික පුවත්පත්වල පළ කර ඇති බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝහාර ජයසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ ය.

අඩක් භාවිත කළ සහ සැක සහිත ගෘහස්ථ L.P ගෑස් සිලින්ඩර නැවත භාර ගන්නා ලෙස අධිකරණය මීට පෙර දුන් නියෝගය අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ගෑස් සමාගම් කටයුතු කර නැති බවට විනිවිද පෙරමුණේ මහ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා පැමිණිලි කළ අවස්ථාවේදී රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥවරයා මේ බව සඳහන් කළේ ය.

අනතුරුදායක ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වලට එරෙහිව ගොනු කළ රීට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර කොඩිතුවක්කු මහතා මෙම පැමිණිල්ල සිදු කළේ ය.

රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම මෝසම අද කැඳවීය.

එහිදී ලාෆ් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර මහතාට මේ වන විට කොවිඩ් රෝගය වැළඳී ඇති බැවින් පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතීඥවරයා ඉල්ලා සිටියේ ය.

මෙම පෙත්සම පෙබරවාරි මස 08 වැනිදා යළි කැඳවීමට නියමිත ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න