විමල් ඇතුළු 10 අලුත් වැලකින් ආණ්ඩුවේ එල්ලෙයි !

විමල් ඇතුළු 10 අලුත් වැලකින් ආණ්ඩුවේ එල්ලෙයි !

රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් නොහොත් ආණ්ඩුවේ බැසිල් විරෝධී පාර්ශ්වය තීරණය කර ඇත.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී පසුගිය (25) රාත්‍රියේ රැස්වී කල සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත.

අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අද හෙටම භාරදීමෙන් අනතුරුව ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට ද පක්ෂ නායකයින් තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

රට මුහුණ දී ඇති බරපතළ අර්බුදය ජනතාවගෙන් වසන් නොකර සත්‍ය තත්ත්වය ගැන ජනතාව දැනුවත් කළ යුතු බව ද එහිදී පක්ෂ නායකයින් අවධානය යොමුකර ඇති බවත් වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ,ඇමැතිවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,වාසුදේව නානයක්කාර ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ ,ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගි ව තිබේ.

විමල් - ජනාධිපති දවල් හම්බෙලා !

මේ අතර ආන්දෝලනාත්මක යුගදනවි ගිවිසුම මුල්කරගෙන කැබිනට් මණ්ඩලයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමෙන් පසු අමාත්‍ය විමල් වීරවංශ හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රසිද්ධියේ පළමුවරට පසුගිය 25 එක වේදිකාවක මුණගැසීම ගැනත් දේශපාලන ක්ශේත්‍රයේ අවධානය යොමුව ඇත.

ඒ දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණ ජාතික මට්ටමේ ඇගයෙන “ශිල්ප අභිමානී – 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල සදහාය.

ඊට පැමිණි ජනාධිපති සහ අමාත්‍ය විමල් අතර සිදුවූ කතා බහ ගැන වැඩි විස්තර තවමත් ප්‍රසිද්ධියට පත්ව නැත.

කෙසේ වුවත් මේ අයුරින් වීරවංශ අමාත්‍යවරයා ඇතුලු කණ්ඩායම අධිකරණය ඉදිරියට යාම සම්බන්ධයෙන් ‌ඉකුත් දා පැවැති කර්තෘවරුන්ගේ රැස්වීමකදී පවා, ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම කියා තිබුණේ වීරවංශ අමාත්‍යවරයා කළෙ වැරදි වැඩක් බවත්, හෙතෙම සාමූහික වගකිම කඩකොට ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ආණ්ඩුවේ බැසිල් විරෝධී පාර්ශ්වය මේ අලුතින්ම නටන්න යන පදය ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය පුපුරා යාම කල්දමා ගැනීමේ උත්සාහයක් වියහැක බවයි.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න