Language Switcher

V2025

සුදුවෑන් නැති නිසා පාතාලය හිස ඔසවලා : මාපිලෙක් හරි දාලා මහින්ද නැවත ගේනවා - ගෝඨා

මහින්ද පාර්ශවයෙන් බයිසිකලයක් දැමුවත්, නාගයෙක් දැමුවත් ජයග්‍රහණය කරන පසුබිමක් ඇති බැවින් එළඹෙන මැතිවරණයකදී මාපිලෙක් ඉදිරිපත් කර හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව නැවත බලයට ගෙනෙන බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඇවර්න්ගාර්ඩ් නඩුවට සහභාගීවීම සඳහා ඊයේ (26) අධිකරණයට පැමිණි අවස්ථාවේය.

මහින්දව බලයට ගේන්නේ මෙහෙමයි !

රනිල් වික්‍රමසිංහ අගමැති කළ ආකාරයට, ශිරාණී බණ්ඩාරනායක යළිත් අගවිනිසුරු කළ ආකාරයට මහින්ද රාජපක්ෂව නැවත බලයට ගෙන ඒමට හැකි බවද ඔහු එහිදී පැවසීය. එසේම ආණ්ඩුව මේ වන විට තමන් ඇතුළු පිරිස් ඇතුළට දමා සිවිල් අයිතිවාසිකම් නැතිකොට තම නොහැකියාව වසා ගන්නට හදන බවද ඔහු පවසයි.

සුදුවෑන් නැති නිසා පාතාලය හිස ඔසවලා

එසේම රට පුරා යළිත් පාතාලය වැඩ ආරම්භ කර මිනී මරමින් සිටින බවත් එදා සුදුවෑන් කියා තමන්ට බොරු චෝදනා කළත් අද බයිසිකල් වලින් පැමිණ වෙඩි තබා යන බවද ඔහු පැවසීය. එහිදී ඔහු සඳහන් කර සිටියේ පාතාලය මර්දනය කිරීමට තිබු ක්‍රමවේද නැතිකළ විට මෙවැනි තත්ත්වයක් ඇතිව තිබෙන බවය.

දේශාපලන අස්ථාවරත්වය ඇතිවුණේ විදෙස් බලවේග නිසා

තවද මේ වන විට රට තුළ මේ වන විට දේශපාලන අස්ථාවරත්වයක් මතුව තිබෙන්නේ විදේශීය බලවේග කියන ආකාරයට රට පාලනය කරන නිසා බවත් ඒ තුළ ආණ්ඩුව තම ප්‍රධාන කාර්යය වන ජනජීවිතය උසස් කිරීමට කටයුතු කිරීම අතපසු කර තිබෙන බවද ඔහු පැවසීය.

කොහෙවත් යන කුමාරයෙක් පැමිණ මෙහෙම රට ගෙනියන්න කී විට ආණ්ඩුව එසේ කරන බවත් තවත් කවුරුන් හෝ පැමිණ මෙහෙම කරන්න කී විට ආණ්ඩුව ඒ ලෙස කරන බවද ඔහු සඳහන් කරයි. මෙසේ විවිධ විදෙස් බලවේග කියන ලෙස රට පාලනය කිරීමෙන් රට වහලෙකු බවට පත්කර ඇති බවද ඔහු සඳහන් කරයි.