Language Switcher

V2025

බැසිල් - කබ්‍රාල් ගැටුම කරළියට : වැඩ ලක්ෂයට සහ IMF යාමට බාල්දියක් !

පවතින බරපතළ ආර්ථික අර්බුදය දෛනිකව වර්ධනය වීම හමුවේ මුදල් අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර ඇති සීතල යුද්ධයත් එළිපිට ගැටුමක් බවට පත්ව ඇති බව දේශපාලන විචාරකයන් පවසයි.

දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් විචාරකයන් පවසන්නේ මුදල් අමාත්‍යවරයා විසින් දියත්කර ඇති , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට සහ වැඩ ලක්ෂයේ වැඩපිළිවෙළට මහ බැංකුවේ විරෝධයක් ඇති බව නිරීක්ෂණය වන බවයි.

ලබන සඳුදා (14) දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් දෙදෙනකු ලංකාවට පැමිණීමට නියමිතව ඇති අතර මෙම නිලධාරීන් දෙදෙනා සඳුදා දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ජා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි. එසේම ඔවුන් අඟහරුවාදා (15) ජනාධිපතිවරයා මුණගැසීමට සැලසුම් කර ඇති බවත් සඳහන් වෙයි.

වාර්තා වන ආකාරයට ලංකා රජය කළ ඉල්ලීමකට අනුව ඉදිරියේදී ණය ආධාර ලබාදීම සඳහා වූ කොන්දේසි ඇතුළත් යෝජනාවලියක්ද මෙහිදී මූල්‍ය අරමුදලේ නිලධාරීන් ආණ්ඩුවට ලබාදීමට නියමිතව ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පුවත් පළකොට ඇති ‌ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කොට ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුල්කරගෙන මෙසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ලංකාවට පැමිණෙන බවකි.

එසේ තිබියදී මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය ට්විටර් ගිණුමේ සදහන් කොට ඇත්තේ ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ජා නොවන බවකි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් තැබූ ට්වීටර් සටහන පහත දැක්වෙයි.

ajith c

වැඩ ලක්ෂයටත් කබ්රාල්ගෙන් බාල්දියක් !

මේ අතර ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති වසරක පමණ කාලයකට තාවකාලිකව නවත්වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇති බවත් වාර්තා වෙයි.

ඊට අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියද තවකාලිකව නවත්වන ලෙස රජයට නිර්දේශ කර ඇති බවත් දැනගන්නට ඇත.

රටේ පවතින මූල්‍යමය තත්වය සැලකිල්ලට ගෙන මෙම නිර්දේශය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

රටේ රුපියල් ප්‍රමාණයේද බරපතළ පහත වැටීමක් පවතින හෙයින් මෙවැනි ක්‍රියාමාර්ගවලට අනිවාර්යෙන්ම යොමුවිය යුතු බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන ව්‍යාපෘති කෙටි කාලයකට තාවකාලිකව නතර කිරීමෙන් රටේ ආර්ථිකයට ලොකු ගැටළුවක් ඇති නොවනු ඇතැයිද සඳහන් කර තිබෙන බවත් දැනගන්නට ඇත.

බැසිල්ගේ ජනාධිපති සිහිනය ?

මේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ වැඩ ලක්ෂය ව්‍යාපෘතිය නැවැත්වීමක් සිදුවුවහොත් එය 2024 ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා දියත්කර ඇති මෙහෙයුමට හානියක් සිදුවන බවයි.

වැඩ ලක්ෂය ව්‍යාපෘතිය පළාත් පාලන ආයතන මැතිවරණයක් ඉලක්ක කර දියත්කර ලැබූවක් බවත් , ඒ හරහා ජාතික මැතිවරණයක් වෙත ගොස් බලය තහවුරු කර ගැනීම මුදල් අමාත්‍යවරයා ගේ බල අපේක්ෂාව වූ බවත් දේශපාලන විචාරකයන් විශ්ලේෂණය කර සිටියි.