Language Switcher

V2025

පොහොට්ටු භීෂණය ඇරඹේ - ගෙදරටම ඇවිත් පහරදෙයි

දැන් මෙහේ රජකරන්නේ පොහොට්ටුවයි සමන්ලාල්ගේ අණයි කියමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැරයින් පිරිසක් මොරටුව නාගරික මන්ත්‍රී සජිත් දුමින්ද පීරිස් වෙත ඔහුගේ නිවසට පැමිණ පහරදී ඇති බව ජාතික හෙළ උරුමය සඳහන් කරයි.

මේ සම්බන්ධව එම පක්ෂය විසින් ඊයේ (27) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරනු ලැබීය.

මැරයා සමන්ලාල්ගේ ළඟම හිතවතෙක්

එහිදී අනාවරණය වූ ආකාරයට අදාළ මන්ත්‍රීවරයාට පහරදීමට පැමිණ තිබෙන්නේ මොරටුව නගර සභාවේ සුළු සේවකයෙකු වන වසන්ත නම් පුද්ගලයකු සහ ඔහුගේ මැර පිරිසකි. එසේම වසන්ත නම් පුද්ගලයා ප්‍රදේශයේ දාමරික ක්‍රියා සඳහා ප්‍රසිද්ධියක් උසුලන්නෙකු බවත් මොරටුව නගරාධිපතිධූරය හෙබවූ සමන්ලාල්ගේ ළඟම හිතවතෙකු බවද ජාතික හෙළ උරුමය සඳහන් කරයි.

මෙම සිදුවීමේ වැඩිදුර තොරතුරු වලට අනුව නාගරික මන්ත්‍රී සජිත් දුමින්ද පීරිස් 2018-03-26 වන දින මොරටුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් එක්සත් ජාතික පෙරමුණෙන් දිවුරුම්දී ඇත.

ගුටි කෑවේ සුභ පතන්න ගිහින්

දිවුරුම් දීමෙන් පසු සජිත් දුමින්ද මහතා මොරටුව නගර සභාවේ බලය ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට සුභ පතමින් අතට අත දී ඇති අතර ඒ අනුව යමින් එක්සත් ජනතා නිදහස් සංධානයේ (මෛත්‍රී පිල) කටුකුරුන්ද කොට්ඨාශයට තරඟ කල සුරේන්ද්‍ර ප්‍රනාන්දු(සජිත්ගේ ලොකු අක්කාගේ මහත්තයා) පොහොට්ටුවේ පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට අතට අත දී සුභ පතන්න ගොස් තිබේ.

අතට අත දෙන්න නෙවෙයි, උඹලාගේ අතපය කඩන්න තියෙන්නේ

 එම අවස්ථාවේ දී මොරටුව නගර සභාවේ සුළු සේවකයෙකු වන පොහොට්ටු පක්ෂයේ උග්‍ර පාක්ෂිකයෙකු වන වසන්ත එම ස්ථානයට පැමිණ උඹලාට අතට අත දෙන්න නොවේ උඹලාගේ අතපය කඩන්න ඕනෑ යැයි කියමින් වසන්ත නැමැති සුළු සේවකයා ගැටුමට පැමිණ ඇත. වසන්ත තම මස්සිනා වන සුරේන්ද්‍ර සමඟ ගැටුමට අර අදින බව දැන සජිත් මන්ත්‍රීතුමා එයට මැදිහත් වී සුරේන්ද්‍ර ප්‍රනාන්දු එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කළ අවස්ථාවේ දී වසන්ත විසින් උඹටත් අපි සවසට පාඩමක් උගන්වන බවට තර්ජනය කර ඇත.

සවස නිවසට පැමිණ ඇති සජිත් දුමින්ද පීරිස් මහතා සුපුරුදු පරිදි බුදු පහන දැල්වීමට මල් පහන් සුදානම් කරද්දී වසන්ත සහ ඔහුගේ පුතා ඇතුළු කණ්ඩායමක් ත්‍රිවිල් කිහිපයකින් නිවස අසළට පැමිණ ගේට්ටුවට ගසා සජිත් මන්ත්‍රීතුමාට කථාකර ඇත.

උඹලට වඳින්න වෙන්නේ බුදුන්ට නොවේ මහින්ද මහත්තයාටයි

එහිදී සජිත් මන්ත්‍රීතුමා කියා ඇත්තේ බුදුපහන දල්වා එනකන් පොඩ්ඩක් ඉන්න යැයි කියූ අවස්ථාවේ දී දැන් උඹලාට පහන් පත්තු කරන්න වෙන්නේ බුදුහාමුදුරුවන්ට නොවේ පොහොට්ටුවටයි කියමින්ද, උඹලට වඳින්න වෙන්නේ බුදුන්ට නොවේ මහින්ද මහත්තයාටයි කියමින් ගේට්ටුව ඇරගෙන නිවස තුළට කඩා වදින්න උත්සාහ කළ විට සජිත් නිවසින් එළියට පැමිණි අවස්ථාවේ දී ඔහුට අතින් පයින් වසන්ත ප්‍රමුඛ කණ්ඩායම පහර දී ඇත. එසේම මැර පිරිස මන්ත්‍රීවරයාගේ නිවසේ දොර ජනෙල් වලටද පහර දී අලාභ හානි කර තිබේ.

මන්ත්‍රීවරයාගේ අක්කටත් පහරදීලා

පහරකෑමට ලක්වීමේදී මන්ත්‍රීවරයාගේ කෑගැසීම ඇසී ඔහුගේ අක්කා වන අනුෂා ලක්මිණි පීරිස් තම මල්ලීව මැරයින්ගෙන් බේරා ගැනීමට උත්සාහ කරන විට ඔවුන් ඇයට ද දරුණු ලෙස පහර දී ඇත. පසුව මැර පිරිස ත්‍රිවිල් රථවලින් පළාගොස් ඇති අතර අදාළ සිදුවීම සම්බන්ධව පොලිසියට වාර්තා කළත් පොලිසිය පැමිණ ඇත්තේ සිදුවීමෙන් පැය එකහාමාරකටත් වඩා ගතවූ පසුව බවද හෙළ උරුමය සඳහන් කරයි.

මේ වන විට සජිත් දුමින්ද පීරිස් මන්ත්‍රීවරයා පානදුර රෝහලේ පළමු වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ අක්කා වන අනුෂා ලක්මිණි පීරිස් පානදුර රෝහලේ 03වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් ඇත. එගොඩ උයන කොට්ඨාශයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයා විදිහට කටයුතු කරන්නේ ජයමාල් ශ්‍රීයාරත්න වන අතර ඔහුගේ ද සහය මෙම පහරදීමට ලැබී ඇති බවද හෙළ උරුමය චෝදනා කර සිටියි

මේ වන විට වසන්ත සහ තවත් පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් ගතකර ඇත.