Language Switcher

V2025

ජනතාව අනාථයි : බස් දුම්රිය, ගෑස් යළිත් ඉහළට !

ඉදිරි මාස තුන ඇතුළත දී බස් ගාස්තුව යලි 25%කින් වැඩි කිරීම‌ට නියමිතව ඇත.

ඊට අනුව අවම බස් ගාස්තුව රුපියල් 25ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති අතර එය සිදුවන බව සඳහන් වන්නේ වාර්ෂික ගාස්තු වැඩි කිරීමේ එකඟතාවයට අනුවය.

මේ බව මාර්තු 20 ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර ඇති අතර ලබන සඳුදා වනවිට ටයරයක මිල 15%කින් ඉහළ යන බවද වාර්තා වී ඇතැයි පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න පවසන බවත් වාර්තා කර ඇත.

පසුගිය සතියේ දී බස්ගාස්තුව වැඩි වූයේ ඉන්ධන මිලට සමගාමීව වෙන අතර ඒ මිල ඉහළයාමට අනෙකුත් කරුණු බලපෑවේ නැතැයිද ඔහු එහිදී සඳහන් කර ඇත.

ජාතික ප්‍රතිපත්තියට අනුව වාර්ෂිකව සිදුවන ගාස්තු ඉහළ දැමීමේ ක්‍රියාවලියට අනෙකුත් වියදම්ද එක්වීමෙන් බස් ගාස්තුව යළි වැඩිවෙන බව ඔහු එහිදී පෙන්වා දී තිබේ.

අද රටේ පවතින ආරිථික අර්බුදකාරී තත්වය හා ‌ඩොලර් මිල මේ ආකාරයටම පැවතුනහොත් ලබන ජූනි – ජූලි මාසය වනවිට බස් ගස්තුව තවත් 25%කින් වැඩි වනු ඇතැයිද ඔහු අවධාරණය කර ඇත.

මේ අතර පසුගියදා ප්‍රසිද්ධ ජන හමුවකදී අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසා සිටියේ දුම්රිය ගාස්තු ද ඉහළ දැමීමට සිදුව ඇති බවයි.

ලිට්‍රෝ ගෑස් මිල තවත් ඉහළට !

එසේම ලිට්‍රෝ සමාගම ගෑස් සින්ඩරයකින් රුපියල් 2000ක පාඩුවක් ලබන නිසා ගෑස් මිල කළමනාකරණය කර ලිට්‍රෝ ගෑස් සමාගම රැකගැනීමට කටයුතු කරන්නැයි ලිට්‍රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.

ලිට්‍රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානය සමාගමේ අංශ ප්‍රධානින් ඇතුළු පිරිසකගෙන් සමන්විත බව ප්‍රසිද්ධ කරුණකි.

ඒ බව තහවුරු කරමින් ලිට්‍රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානය වෙනුවෙන් ලිට්‍රෝ සමාගමේ ප්‍රචාරණ කළමනාකරු පියල් කොළඹහෙට්ටිගේ පවසන්නේ පාඩු ලබමින් තව දුරටත් ගෑස් සැපයුව හොත් ලිට්‍රෝ සමාගම තවත් මාස තුනකින් වසා දැමීමට සිදුවන බවය.

රටට ඉතුරුව තිබෙන එකම ගෑස් සමාගම බේරාගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවද ඔහු පවසයි.

මේ වනවිට ගෑස් බාමින් තිබෙන නෞකාවෙන් පමණක් ලිට්‍රෝ සමාගම රුපියල් මිලියන 200ක පාඩුවක් ලැබීම හේතුවෙන් ඉදිරියේදී ආනයනය කරන නෞකාවලින් වන පාඩුව රුපියල් මිලියන 200ක් ඉක්මවීම අනිවාර්ය බව කියන ලිට්‍රෝ ප්‍රචාරණ කළමනාකරු පියල් කොළඹහෙට්ටිගේ, කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක වර්තමාන පිරිවැය රුපියල් 4,462.25ක් වුවද එය රුපියල් 2,675කට අළෙවි කරන බවද සඳහන් කරයි.

ලිට්‍රෝ සමාගම 2021 වසරේ සිට ජනතාවට සහන සැළසීම සඳහා පාඩු ලබමින් ගෑස් ලබාදීම හේතුවෙන් 2021 වසරේ පමණක් රුපියල් කෝටි 1,100ක් අහිමිකරගත් අතරම මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් කෝටි 100ක් අහිමිකරගෙන ඇති බවත් වර්තමානය වනවිට ආයතනයේ මූල්‍ය තත්වය ඉතාමත් දුර්වල වී ඇති බවත් ඒ ඔහු අවධාරණය කරයි.