ගිය සතියේ රුපියල් බිලියන 55.95 ක් අච්චු ගහලා : ඇමති බන්දුලගේත් ඉවසීම පනියි !

ගිය සතියේ  රුපියල් බිලියන 55.95 ක් අච්චු ගහලා : ඇමති බන්දුලගේත් ඉවසීම පනියි !

මුදල් මුද්‍රණය කිරීම වහාම සීමා කළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත.

ඒ ආණ්ඩුව හිතවාදී පෞද්ගලික මාධ්‍ය ජාලයක් වන දෙරණ මාධ්‍ය ජාලයේ ද මෝනිං පුවත්පත සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ය.

රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ ආර්ථික විද්‍යාව පිළිබද අවබෝධය මේ තරමට දුර්වල වූ වෙනත් කිසිදු පාර්ලිමේන්තුවක් තමන් දැක නැති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

මුදල් අච්චු ගසා දුප්පතුන්ට සහ අඩු වරප‍්‍රසාද ලත් පිරිස් අතර බෙදා දීමට බැරි ඇයි කියා අසන පිරිස් ද සිටින බවටත් අමාත්‍යවරයා එහිදී චෝදනා කර ඇත.

එසේ කළහොත් එය සමස්ත ආර්ථිකයටම අහිතකර ලෙස බලපාන බව ඔවුන්ට නොතේරෙන බවද අමාත්‍යවරයා පවසයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ තත්ත්වය තේරුම් ගෙන මුදල් මුද්‍රණය සීමා කිරීම සදහා පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බවය.

ගිය සතියෙත් රුපියල් බිලියන 55.95ක් අච්චු ගහලා !

මේ අතර මූල්‍ය වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ මහ බැංකුව පසුගිය සතියේ තවත් රුපියල් බිලියන 55.95ක් මුද්‍රණය කොට ඇති බවයි.

ඒ සමගම මේ මාසයේ මේ දක්වා මුද්‍රණය කර ඇති මුළු මුදල රු. බිලියන 172.34ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මූල්‍ය වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පවසන්නේ ආණ්ඩුවේ මේ අසීමිත මුදල් අච්චු ගැහීම හේතුවෙන් දැඩි උද්ධමනකාරී ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට ජනතාවට සිදුවනු ඇති බවය.

සල්ලි අච්චු ගැහීම උද්ධමනයට හේතුවක් නොවේ කී කබ්‍රාල් නිහඬයි !

කෙසේ වුවත් අසීමිත ලෙස මුදල් අච්චු ගැසීමේ ප්‍රතිපත්තිය ආරම්භයේ සිටම ආර්ථික සහ මූල්‍ය වෙළෙඳ පොළ විශේෂඥයන් වෙතින් විවේචනය වූ අතර එහිදී ඔවුන් අවධාරණය කර සිටියේ මේ හේතුවෙන් අධික උද්ධමනයක් රට තුළ ඇතිවන බවයි.

එහෙත් ඒ අවස්ථාවේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ප්‍රසිද්ධියේ කියා සිටියේ මුදල් අච්චු ගැසීම උද්ධමනයට බලපෑමක් නොවන බවයි.

නමුත් මේ වන විට රට තුළ සියලු පරිභෝජන භාණ්ඩ මිල අධික ලෙස මිල ඉහළ යමින් ඇති අතර මිල පාලනය ආණ්ඩුව විසින් ප්‍රතිපත්තියක් ලෙස අත්හැර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න