Language Switcher

V2025

මෛත්‍රී - රනිල් දෙන්නාටම අබ සරණයි : නිදහසේ වේදිකාව කියයි

ජනවාරි 08 ජනවරමට පිටුපා කටයුතු කිරීමට තවදුරටත් සිතනවා නම් ජනාධිපතිවරයාට මෙන්ම අග්‍රාමාත්‍යවරයාටත් අබ සරණයි කියන්න සිදුවන බව නිදහසේ වේදිකාව සඳහන් කරයි.

ජනවරමට පිටුපා නායකයින් දෙදෙනා වෙන වෙනම ගමනක් යාම ජනතා අපේක්ෂාව නොවූ බවත් ජනවාරි 08 පොරොන්දු ඉටුනොකර එවැනි කටයුත්තක් සඳහා උත්සාහ කළොත් ජනතා ශාපයෙන් ගැළවීමක් නොමැති බව දෙදෙනාම සිහිතබා ගත යුතු බවද නිදහසේ වේදිකාවේ නියෝජිතයන් සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් එහි නියෝජිතයන් මේ බව අවධාරණය කළ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අන්ත දුෂිත සහ ජාතිවාදී බලවේග නැවත බලය අල්ලා ගැනීමට යොදා ඇති උපක්‍රමයක් බවත් ඒ වැළක්වීම අරමුණු කරගෙන මේ මොහොතේ අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කිරීමට තමන් පෙනී සිටින බව ද "නිදහසේ වේදිකාව" සඳහන් කරයි.

රනිල් වැරදි නම් නීතිය හමුවට ගේන්න

මෙහිදී අදහස්නි දැක්වූ නිදහසේ වේදිකාවේ නියෝජිත, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු සඳහන් කර සිටියේ මහ බැංකු සිදුවීම සම්බන්ධව රනිල් වික්‍රමසිංහට එරෙහි චෝදනාවක් තිබේනම් නීතිය ක්‍රියාත්මක කර දඬුවම් කිරීම ගැන ගැටළුවක් නොමැති බවත් නමුත් පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාවේ සැඟවුණු වෙනත් අරමුණක් ඇති බවය.

කොයි කවුරුත් බැංකු කැඩුවා : මහින්ද මහ බැංකුව සුද්දකළේ මහ දවාලේ

එහෙයින් එම කාරණය වඩාත් අවධාරණයට ගතයුතු බවත් පසුගිය කාලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කළෙම මහ බැංකුවේ දොරවල් විවෘත කරගෙන උවමනා උවමනා ආකාරයට මුදල් මුදල් අදිමින් මහ දවාලේ හොරකම් කල බවද අමතක නොකළ යුතු බවත් ඔහු පවසයි.

බැංකු ගැන කතා කිරීමේදී ලංකාවේ දේශපාලනය කරන සියළුම දෙනා පාහේ බැංකු කඩා තිබෙන බවත් ලංකාවේ බහුතරයක් දේශපාලකයින් මෙන්ම එල්ටීටීඊ, ජනතා විමුක්ති පෙරමුණ, බොහෝ වාමාංශික පක්ෂ පවා ඒ තුළ සිටින බවද ඔහු පැවසීය.

ජාති ආලය ගැන කතා කරන සේරම කළු සල්ලිකාරයින්

මේ විශ්වාසභංගය පිටුපස තියෙන්නේ මොකක්ද කියන එක හරියට කල්පනා කර බලන විට ජාති ආලයක්, රට බේරා ගැනීමක් ගැන කියමින් සිටින උදවිය පිටුපස මිලියන 100 කට අධික කළු සල්ලි තිබෙන බවත්, විමල් වීරවංශ, එහෙමත් නැත්නම් රෝහිත අබේගුණවර්ධන, ගම්මන්පිල ඊට නිදර්ශන බවද බ්‍රිටෝ ප්‍රනාන්දු සඳහන් කරයි.

ඒ සියළු දෙනාට තමන් මිලියන ගණන් හම්බුකළ ආකාරය පවසාගත නොහැකිව අයතා ඉපයීම් සම්බන්ධව නඩු ඇති බවත් එයින් ගැළවීමක් ලබන්නට ජාති ප්‍රේමය සහ විශ්වාසභංගය වැනි දේ ඉදිරියට ගෙනවිත් තිබෙන බවද ඔහු අවධාරණය කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බ්‍රිටෝ ප්‍රනාන්දු මෙසේද පැවසීය.

අපි මෛත්‍රී ජනාධිපතිට ගරු කරන්නේ මහින්ද රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ යන නම් ඇසුණු විට තමුන්ගේ නැට්ට ගහගන්න ඕන තැන ගහගත්ත බහුතරයක් සිටිය යුගයක තමන් පරාජය වුවොත් අඩි 6ක් යට වැළලෙන බවත් දැන දැනම ඊට මුහුණදී ජයග්‍රහණය කරන්න නායකත්වය ගැනීම ගැනයි. ඒ වගේම ඉතිහාසයේ කිසිම දවසක නොවෙච්ච ආකාරයට ප්‍රධාන පක්ෂ දෙක මුලිකත්වයෙන් කොමිෂන් සභා ගෙනෙම අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් කතාබහක් ඇරඹීම ගැන ගරු කරනවා.

 නමුත් මේ දෙන්නා එකතු කලේ ජනතාවගේ උවමනාවට. බලයට ගෙනාවේ ජනතාවගේ අපේක්ෂා ඉටුකර ගන්න. ඒ වෙනුවෙන් එකට යනවා වෙනුවවට එකිනෙකාට විරුද්ධව ඇනකොටා ගන්නවා නම් දෙන්නටම අබ සරණයි. විවේචන කරගත් නමුත් දෙදෙනා එකට ජනතාව වෙත දුන් පොරොන්දු ඉටුකළ යුතුව තිබෙනවා.

රනිල් කියන්නේ ගාන්ධි නෙවෙයි : ඒත් ජාතිවාදියෙක්ද නෙවෙයි

මෙහිදී සමාජ ක්‍රියාධර සංගීතවේදී ජයතිලක බණ්ඩාරද අදහස් දැක්වූ අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ රනිල් වික්‍රමසිංහ සම්බන්ධව තමන්ට විවේචන ඇතත් විශ්වාසභංගයට මුවාවී අන්ත ජාතිවාදීන් කොටස් බලයට ඒමට උත්සාහ ගන්නා බවත් ඒ පරාජය කිරීම වෙනුවෙන් තමන් මේ මොහොතේ අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින බවය.

එහිදී අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

"රනිල් කියන්නේ මැන්ඩෙලා නෙවෙයි, අම්බෙක්කාර්ද නොවෙයි, ගාන්ධිත් නොවන බව අපි දන්නවා. නමුත් ඔහු ජාතිවාදය ප්‍රතික්ෂේප කරන ඊට එරෙහි නායකයෙක්. ජාතිවාදය පෝෂණය කිරීම තුළ රට පත්වෙන අවධානම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අන්න ඒ පදනමින් අග්‍රාමාත්‍යවරයා මේ මොහොතේ ආරක්ෂා කරන්න ඕන.