Language Switcher

V2025

එකාබද්ධයේ ගැටුම දුරදිග යයි : බැසිල් පාර්ශවයට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ පැවති මත ගැටුම මේ වන විට දුරදිග ගොස් තිබෙන බව එම පාර්ශවයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට අදාළ විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට එරෙහිව ආරම්භයේ පටන් ඒකාබද්ධ විපක්ෂයේ කුප්‍රකට බැසිල් පාර්ශවය ඊට එරෙහිව කරුණු දක්වා අවසන් මොහොතේ පවා එය පාර්ලිමේන්තුවට ගෙන ඒම වලක්වන්නට උත්සාහ ගෙන ඇත.

එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ කුප්‍රකට ගෝඨාභය පාර්ශවය ඊට එරෙහිව යමින් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කර ඇත.

උපාය උපක්‍රම ගැන මත දෙකක් !

විශ්වාසභංග යෝජනාවට විරෝධය පළකරමින් බැසිල් පාර්ශවය කරුණු දක්වා ඇත්තේ මේ අවස්ථාව බලය ගැනීමට අවස්ථාව නොවන බවත් මාස 18ක් තුළ මැතිවරණයක් එන බැවින් එතෙක් ආණ්ඩුව අර්බුදයට පත්කරමින් ශ්‍රී ලංකා පොදුජන ශක්තිමත් කළයුතු බවය. එසේම බැසිල් පාර්ශවය ජනාධිපතිවරයාට කිසිම සහයක් නොදිය යුතුය යන දැඩි ස්ථාවරයක සිටින බවද වාර්තා වෙයි.

එහෙත් ඊට විරුද්ධ මතයක සිට ගෝඨාභය පාර්ශවයේ අදහසවී ඇත්තේ මේ අවස්ථාවේ ආණ්ඩුව අර්බුදයට යැවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පරාජය කර එහි වාසිය ජාතික මට්ටමින් ගතයුතු බවය. එසේම ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප පාර්ශවයද ඊට සම්බන්ධ කරගත යුතු බවය.

විමල් - ප්‍රසන්න ගැටුමක්

මේ මත ගැටුම දුරදිග ගිය ආසන්න සිදුවීමක් වන්නේ බැසිල් පාර්ශවයේ ප්‍රසන්න රණතුංග සහ විමල් වීරවංශ මන්ත්‍රීවරුන් අතර දරුණු වචන හුවමාරුවක් සිදුවීමය.

කෙසේ වුවත් මෙම මත ගැටුම විශ්වාසභංගය විවාදයට ගැනෙන දිනය ආසන්න වෙත්ම ඔඩුදුවන්නට ගෙන ඇති අතර මේ වන විට බැසිල් පාර්ශවය විශ්වාසභංග යෝජනාවෙන් අග්‍රාමාත්‍යවරයා බේරාගැනීමට කටයුතු කරන බවට චෝදනා කරමින් ගෝඨාභය පාර්ශවය ප්‍රචාරයක් දියත් කොට ඇත.

විමල්ගේ වෙබ් බැසිල් විරෝධය අවුලවයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට සම්බන්ධ වෙබ් අඩවියක මේ බව පළමුව අනාවරණය කර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට බාර දීමට යද්දී විවිධ හේතු කියමින් එය වලකාලීමට උත්සාහ දැරු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු මෙම මෙහෙයුම පිටුපස සිටින බවය.

එසේම විශ්වාස භංග යෝජනාවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැඩි අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති නිසා එම තත්ත් වය අවුල් කිරීම සදහා මෙම පිරිස උත්සාහ ගනිමින් සිටින බවත් ඒ වෙනුවෙන් විශ්වාසභංග යෝජනාවෙන් පසු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නේ යයි එම මන්ත‍්‍රී පිරිසෙන් කිහිප දෙනෙකු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරමින් සිටින බවද එම වෙබ් අඩවිය අනාවරණය කර සිටියි.

ජනාධිපතිට විරුද්ධව කිසිම සාකච්ඡාවක් නෑ

මේ ආකාරයට ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමේ පුවත වඩාත් බැරෑරුම් ලෙස භාරගෙන ඊට එරෙහි ප්‍රචාරය දියත් කරන අදාළ වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ගැන ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම තුළ හෝ පක්‍ෂ නායක හමුව තුළ කිසිදු සාකච්ඡාවක් මෙතෙක් සිදුව නොමැති බවය.

එසේම බැසිල් පාර්ශවය විසින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ලවා ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ගැන වන ප්‍රචාරය දියත් කිරීමේ අරමුණ ජනාධිපතිවරයා සමග සිටින ශ‍්‍රිලනිප මන්ත‍්‍රීවරුන් ආරක්‍ෂණවාදී පිළිවෙතකට යවා විශ්වාසභංගයට පක්ෂව ජන්දය දීමෙන් වළක්වාලීම බවත් එම පුවතේ සඳහන්ව තිබේ.

මහින්ද මධ්‍යස්ථ වෙයි !

ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටින ආකාරයට මේ වන විට විශ්වාසභංග යෝජනාව දුර්වල කිරීම සහ පරාජයට පත්කරවීමට බැසිල් පාර්ශවය උත්සාහ කරන බවට බරපතල සැකයක් අනෙක් පාර්ශවයට මතුව තිබෙන අතර අදාළ මාධ්‍ය මෙහෙයුම දියත්ව ඇත්තේද එම පාර්ශවයේ කටයුතු අඩපණ කිරීම සඳහාය.

එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම ගැටුමේදී මධ්‍යස්ථව සිටින බවත් විශ්වාසභංග යෝජනාවට අත්සන් නොතබා එය කතානායකවරයාට භාරදීමට පමණක් පැමිණියේද දෙපාර්ශවයට සමව දායකත්වය දීමට බවද එම ආරංචිමාර්ග අනාවරණය කර සිටියි.